Wednesday, February 17, 2016

පීල්ලක යන ආදරේ

එහෙට,
මෙහෙට.
ආයෙත්
එහෙට.
නොනවතින,
හැල්මේ දුවන.
කිසිවක් නො අසා,
ටක ටක හඬින් මුමුනන.
සෙමෙන් පැද්දෙන,
ඇරඹුමක් නැති,
නැවතුමක්ද නැති,
හැල්මේ දිව යන,
පීල්ලේ ආදරය.

Thursday, February 4, 2016

අප්පච්චී



පිය සෙනෙහස ට කව් ගී ලියවුනා මදී කියන කාලයක, ප්‍රේමයේ විරහවේ අඳෝනාවන් අහන්නට ලැබෙන කාලයක මේ වගේ ගීතයක් හෝ අහන්න ලැබෙනවානම් හොදයි නේද?
මේ හඳුන්වා දෙන්න යන ගීතයටත් මම හරි ආදරය කරනවා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. පද වැල,(සරල) සංගීතය, ගායනය යන තුනම මනාව ගැලපෙන නිසා. අනික මෙහි ගායකයා, පද රචකයා මගේ හොඳ මිතුරන් වන නිසා.
මේ ගීතයත් මං කලින් ඔබට විස්තර කියා ඇති විකසිත සිත් කියන ගී තැටියේම එන එක් ගීතයක්. මෙහි රචකයාව කුඩා කල සිට ම ආදරයෙන් රැක බලා ගන්නෙ පියා සමග වැඩිමල් සොහොයුරියො දෙන්නා. ඒ ආදරය අප්‍රමානව ඔහු විඳගන්නවා. ඒ නිසාම මේ අය තම පව්ලටත් පෙරලා ඒ වගේම සෙනෙහසක් දක්වනවා. තම මවගේ අකල් වියෝවෙන් පසු දරුවන් ව තම පනසේ රැක බලා ගනිමින් තම බාල පුතු ගුරුවරයෙකු ලෙස තම සේවාව අරඹන තුරු, තම පුතු, දියනියන්ගේ දූ පුතුන් ද දැක බලාගෙන සතුටින් මිය යන්නට වාසනාවන්ත වූ පියෙකු වෙත පිදුනු පිය ගුන උපහාරයකි මේ ගීතය.
ගායකයා ද තම පියාට සහ මවට මෙන්ම පව්ලේ සියලු දෙනාට අසීමිතව ආදරය කරන අයෙකු නිසාත්, ඔහු ද පියෙකු වන නිසාත් මේ ගීතය මේ විදිහට ගැයෙන්න ඇති කියල මට වගේම ඔයාලටත් හිතෙයි.
සරත් කුමාර මඩුගස්වත්ත ලියා අෂෝක වීරවර්දන ගයන මේ ගීතයේ සංගීත හැඩතල එකතු කලේ ඩැනිස්ටර් පෙරේරා කියන සංගීත වේදියා විසිනුයි. දැන් අටුවා ටීකා ටිප්පනි තියල මේ ගීතය අහන්න. හොඳින් අහන්න. මට වගේම ඔයාලටත් මේ ගීතයේ ප්‍රවීන බව දැනේවි.

සිරිමහ බෝ පත් මුමුනන නාදය
ඔබගේ කටහඬ අප්පච්චී
මහ දාගැබ් කොත් ඈත පෙනෙන ලෙස
නුඹ පෙනුනා මා අප්පච්චී

තිසා වැවේ නිල් දියවර පීරා
සිහිල ගෙනාවේ අප්පච්චී
විහාරයේ බෝ මලුවෙන් පිස එන
සුවඳ  වගේ මා අප්පච්චී

සිරිමහ බෝ පත්//

හිමිදිරියේ සුබ දවස රැගෙන එන
ලා හිරු මඬලයි අප්පච්චී
නිවනට යන දා  මට අඬගහපන්
පුතේ කියා මා අප්පච්චී

සිරිමහ බෝ පත්//

ප.ලි.
මේ සංයුක්ත තැටිය දොරට වැඩි දවසේ ගැයුනු ගීතයේ වීඩියෝවකි.