Monday, September 28, 2015

ඔබ කැමති ද කියවන්න....?





මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න.

ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා සිටීමට, ඔබ පාඩම් කරන විට හඬ නගා පොත් කියවා ඇත. බොහෝ විට මේ කාර්ය සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් ඔබ කියවන පොත තවත් කෙනෙකු අසා සිටිනු ඇත. විශේෂය නම් ඔහු හෝ ඇය ඔබ කලින් කියවන විට අසා සිටි තැනැත්තා නොවීමයි.

ඔබ කියවන පොත තවත් ඔබ මෙන්ම පොත් කියවීමට ආසාවෙන් සිටින නමුත් කියවිය නොහැකි පාඨකයෙකුගේ කියවීමේ අයිතිය තහවුරු කිරීමක් බව ඔබ දන්නවාද? එය එසේය. නමුත් මෙය බුද්දිමය දේපල හිමිකම් පනත උල්ලංගනය කිරීමක් නොවේ. මෙය වානිජ්‍ය ක්‍රියාවලියක් ද නොවේ. නමුත් මේ වෙනුවෙන් නිෂ්පාදිත පිරිවැයක් නැතුවාම නොවේ.

මෙකී වියදම් කෙසේ හෝ සපුරා ගත්තද තවත් එක් ගැටලුවක් පවතී. එනම් මානව සම්පත් සපුරා ගැනීමේ ගැටලුවයි. මේ පෝස්ටුවෙන් මා එකී මානව සම්පත් සපුරා ගැනීම අපේක්ශා කරයි. එනම් මේ බ්ලොග් අවකාෂයේ සැරිසරන ඔබට මේ සඳහා සම්බන්ද වීමේ හැකියාව ලබා දීමයි. ඔබට හැකි වේලාවක ඔබ සිටින නිහඬ පරිසරයක සිට අදාල පොත පටිගත කොට යලි අප වෙත ලබා දීම කල යුතුය. එහිදී අනුගමනය කල යුතු තාක්ෂනික ක්‍රමවේදයන් පිලිබඳව ඔබව පූර්න දැනුවත් කිරීමක් කරනු ලැබේ.

පොතක් කියවා තවත් පොතක් කියවිය නොහැකි අයෙකුගේ කියවීමේ ආශාව සන්සිඳවන්න ඔබත් කැමති නම් කරුනාකර අප හා සම්බන්ද වන්න.ඒ සඳහා ඔබ විසින් කියවූ පොතක කුඩා කොටසක හඬපටයක් සමග ඔබේ තොරතුරු  ahasenenna@gmail.com යන ලිපිනයට එවන්න. අදාල හඬ පටය ඔබේ ප්‍රදාන සුදුසුකම ලෙස සලකනු ලැබේ. ඊට අමතරව ඔබේ පරිගනක හැකියාව ද මේ සඳහා අත්‍යවශ්‍ය වන බව ද දැන්විය යුතු ය. ඔබේ තොරතුරු සමග ඔබ පහසුවෙන් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ද ලබාදීමට කාරුනික වන්න.ඔබ විසින් යොමු කරන හඬපට පිලිබඳ සහ ඔබේ පරිගනක හැකියාව පිලිබඳ සැලකිල්ලට ගෙන මේ සඳහා ඔබව තෝරා ගැනීමෙන් පසුව තාක්ෂනික පුහුනුව සඳහා රාවතාවත්ත මොරටුව පිහිටා ඇති ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලයේ මූලස්තානය ට පැමිනිය යුතු ය. මසකට වරක් ඔබ විසින් කියවූ පොත් ලබා දිය යුතු අතර ඒ සඳහා ඉරිදා හැර සතියේ වෙනත් ඕනෑම දිනයක පැමිනිය හැකි ය.
ඉතිරි සියලු තොරතුරු ඔබව තෝරා ගැනීමෙන් පසු ලබා දෙනු ඇත.

ප.ලි.
මෙය දැන්වීමක් නොවේ. දැනුවත් කිරීමකි.
මේ ගැන කැමැත්තක් ඇති අයටත් කියන්න.

Saturday, September 19, 2015

ගෙදරින් ඇවිල්ලා....

මීලඟ පාසැල් වාරය ආරම්බ වන දවසේම මා පාසලට ගියේ පසුවදා සිට දින දෙක තුනක් යම් ප්‍රීති දායක තත්වයක් යටතේ අපට සිටිය හැකි නිසාය. ඒ මන්දයත් පාසල් ආරම්බක දින පාසැල් ප්‍රධාන දේව මෙහෙය  පැවැත්වෙන නිසා ය. මෙදිනට ඉගැන්වීම් නොකෙරුනු නිසා අප නේවාසිකාගාර තුලට වී සතුටින් විවිද දේ කතා කරමින්, ගෙදරින් ගෙනා දේ කමින් බොමින් සිටිති. ඒ සියලු ක්‍රිස්තියානි ආගමිකයන් පල්ලියට ගොස් දේව මෙහෙය සඳහා සහබාගී වන වේලාවේ අප නේවාසිකාගාර පාලිකාවන් ද නොසිටින බැවිනි.

ඔය ලෙසට දිනයත් ගෙවී තවත් දිනයක් එලඹෙන්නේ අප ඩෙස් පුටු පන්ති සෝදා පිරිසිදු කරගැනීමේ දවස ආරම්බ කරමිනි. එදින ද කිසිඳු ඉගැන්වීමක් නැත. අප පිරිසිදු කරන අතර තුර එකිනෙකා වතුර ගසාගනිමින්, කෙල්ලන්ගේ ඇඟට ඩෙස් ඇතිල්ලීමට ගත් තෙත රෙදි දමා ගසමින් සහ නොයෙකුත් උසුලු විසුලු කරමින් කාලය ගත කරන්නේ මේ සතුට දහවලට මේ සතියෙන් පසු නොලැබෙන බව දැන නොවේ. මේ වන විට සියලුම ලමුන් නේවාසිකාගාර වෙත නොපැමින සිටි නිසා අප ද යම් බුරුලක් ලැබුවෙමු.

ඔයාකාරයෙන් මේ පන්ති ටිකෙන් ටික දවසෙන් දවස ලමුන් ප්‍රමානය වැඩි වන විට බොහෝ විට හතරවන දවසේ පටන් ඉගැන්වීම ආරම්බ කරයි. දැන් අප වෙලාවට සෙල්ලම්, පාඩම්, නිදාගැනීම් කල යුතු ය. පලමු දින දෙක තුනේ මෙන් කටයුතු කල නොහැකි ය. එබැවින් මේ පාසැල් වාරයේ මුල්ම ප්‍රීතිමත් දින කිහිපය විඳ ගැනීමට මම ද ආරම්බක දිනයේ ම පාසැල් යාම පුරුද්දක් ලෙස කලෙමි.

මේ සතුට ටිකෙන් ටික නැති වී යන්නේ කෙමෙන් සති දෙක තුනක් යන විට ය. මේ වන විට මට ද ගෙදර මතක් වීමට පටන්ගෙන ය.අක්කලා, අයියා, නංගී, සෙල්ලම් කරනවා ඇති යැයි මට සිතෙයි. අම්මයි තාත්තයි මොනවා කරනව ඇතිද? මට සිතෙයි. බොහෝ විට මට මේවා මතක්වී ඇසට කඳුලු එන්නේ නිරායාසයෙනි. එය එන්න එන්න ම වැඩි වේ.ඊට ප්‍රධාන හේතුව නේවාසිකාගාරයේ පැවති වාතාවර්නය යැයි දැන් මට සිතේ.

ඔන්න දැන් සති තුනක් පමන ගත වී ඇත. ලමුන් සෙනසුරාදා, ඉරිදා වෙනකල් දින ගනිමින් සිටී. මම ද එසේ දින ගැන්නෙමි. නමුත් මට තවත් සති කිහිපයක් යනතුරුම එය එලෙසම කරන්න ට සිදු විය.අප මේ දින ගනින්නේ අපේ ගෙදරින් කවුරුන් හෝ එන තුරු ය. සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රුවන් ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා. සුරංග ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා. යනාදී වෂයෙන් අසන්නට ලැබේ. මේ වෙලාවේ මට සිතෙන්නේ කවුරුහරි ලමයෙකුම පැමින කසුන් ඔයාගෙ ගෙදරින් ඇවිල්ලා යැයි දැන් දැන් කෑගසතියි කියා ය.

නැත එසේ වූයේ නැත. මාස තුනෙන් එකහමාරක්ම මම එසේ බලා ඉන්නට ඇත. මේ වන විට සමහර ලමුන්ගේ දෙතුන් වතාවක් ම අම්මා, තාත්තා, හෝ වෙනත් නෑයෙක් පැමින ඔවුන් සමග කතාබස් කර, මොනවාහෝ කෑමට බීමට දී යති. එවිට අපිට ද ඒවා ලැබෙන්නේ අද අපේ ගෙදරින් ආවා යැයි කියන උදාරම් වචනත් සමග ය. නමුත් මා කවදා එසේ කියන්නද?

තවත් ඉරිදාවක් උදා විය. මට කිහිප දෙනෙකුගේ ගෙදරින් කවුරුන් හෝ ඇවිත් ඇතැයි යන ආරන්චිය ලැබුනි. එහෙත් අපේ ගෙදරින් ආවා කියන ආරන්චිය මේ අතර නැත. මම තවත් බලා සිටිමි. දහවල් දොලහ ආසන්නයේදී මම නේවාසිකාගාරයෙන් පහලට බැස කොරිඩෝවේ ඇවිදිමින් කවුරුන් හෝ එන තුරු සිටිමි.

පුතේ මගේ අතින් අල්ලා ගත්තේ මගේ පියා ය. මගේ සතුට නිම්හිම් නැත. එවිට ම තවත් ලමයෙකු පැමින හා කසුන් ගේ ගෙදරින් ඇවිල්ලා යැයි කියමින් නික්ම යයි. මමත් පියාත් මවත් තනිවෙයි. ටික වේලාවක් කතා කරමින් සිට යාමට සූදානම් වනවිට යලි මා කඩා වැටෙයි. අනේ දැන් තව කොච්චර කාලයක් ගෙදර නොගිහිං ඉන්නද? මට හැඬුම් එයි. “අඬන්නැතුව ඉන්න. අපි ආයේ බලන්න එන්නම් කියමින් මගේ ඔලුව අතගාන මව ද හඬනා බව මට දැනෙයි. මම මේ ඉස්කෝලෙන් යනවා. මට නැවත නැවත සිතෙයි. අක්කලාට, අයියාට එකට ඉස්කෝලෙ යන්නට පුලුවන්නම් ඇයි මට ගෙදර ඉඳලා යන්න බැරි. එහෙම වුනානම් මේ කිසිවක් නැත. මා සතුටින් ගෙදර දුව පැන ඇවිදිමින් සිටිනු ඇත. අම්මා තාත්තා මෙලෙස කනගාටු වන්නේ මා ගැන සිතා විය යුතුය. ගෙනා පුන්චි බිස්කට් එකක් හෝ අම්මා අක්කා හැදූ දෙයක් මගේ අතට දී ඔවුන් නික්ම යන්නේ තව කොපමන කලෙකින් යලි එන්න ද? මම හඬමි.

යලිත් මේ විදිහට ම බලා සිටින කාලය ඇරඹේ. නමුත් කිසිවෙකු මා ඇමතුවේ නැත. මම නිදාගැනීමට ලැබෙන පැය දෙකේ පඩිපෙල අසලට වී නිදන්නෙත් එලෙස පැමින මට කොයි මොහොතේ හෝ කතා කරාවිය යන විෂ්වාශයෙනි. නමුත් නිවාඩු දෙන දවසේ දහවල් වන තුරු යලි කිසිවෙකු නොපැමිනෙනු ඇත.

Friday, September 18, 2015

මට සමා වෙන්න චූටි දුවේ...



ඉතින් දුවේ ඔයා හොඳින් ඉන්නව ද? දැන්වත් ඔයා හොඳින් ඉන්නවා කියල හිතනවා. අහසෙන් එන මාමා ඔයාට මේ ලියුම ලියන්න හිතුවෙ ගොඩක් මාමලා නැන්දලා ඔයාව දසදහස් වතාවක් මුල්ම සැරේ වගේ අපෙන් ඈත් කරපු නිසා. ඔයා ඔය ලෝකෙට ගියාට පස්සේ මෙහෙ ඉන්න ටී.වී, පත්තර, කොම්පියුටර් මාමලා නැන්දලා ඔයාව මරාගෙන කාපු නැති ටික විතරයි දුවේ. මේ මාමලා නැන්දලාට ඔයා අපිව දාල ගියාට පස්සේ සදාචාරය අමතක වෙලා ගියා. ඒ අය චූටි දුව ව විකුනුවා. ඒකෙන් එයාලා ප්‍රසිද්ද වුනා. සල්ලිත් ගොඩාක් හම්බෙන්න ඇති.

චූටි දුවේ, ඔයා අපිව දාලා යන්න කලින් යන්න එපා කියන්න අපිට බැරි වුනා. ඒකට ඔයා අපිට සමාව දෙන්න. කවුද හිතුවෙ ඔයා මෙහෙම ඉක්මනට ම අපිව දාලා යයි කියලා. දුවගෙ මොන්ටිසෝරියේ යාලුවොත් දුව ව හොයනවා ඇති.කමක්නෑ  දුවේ ඔයා ඒ නපුරු මාමා නැති දවසක ආයෙත් අපි ලඟට එන්න.
ඔයා ගියාට පස්සේ මෙහෙ ඉන්න අයගෙන් ඔයාව බේරගන්න අපිට බැරි වුනා. ඒකටත් ඔයා අපිට සමාව දෙනව නේද මගෙ දුවේ? ඔයාව හංගලා කියලා දැනගත්ත ගමන්ම අර රූප පෙට්ටි මාමලා නැන්දලා ඒක ඉක්මනින්ම රට ට ම කියලා සතුටක් ගන්න ඇති. ඊට පස්සෙත් මේ කට්ටිය දුව ව හොයාගන්නකල්ම පුදුම හදිසියක් තිබුනේ. දුවගෙ අම්මට, තාත්තට, ආච්චිට, සීයට නැති කැක්කුමක් මේ මාමල, නැන්දල ට තිබුනා. හොයාගෙන ඒකත් කලින්ම කිවුවා. ඔයාට මේව ඉවසන්න බැරි බව අපි දන්නව දුවේ. ඒත් මේවා ඔයත් දැනගෙන ආයේ මේ ලෝකෙට එනකොට එන්න. නැත්නම් අර නපුරු මාමා වගේ කෙනෙක් ආයේ ඔයාට මෙහෙ අපිත් එක්ක ඉන්න දෙන්නේ නැති වෙයි.
චූටි දුවේ ඔයා දන්නව ද මෙහෙ කට්ටිය ඔයා නිසා පාරවල් ගානේ රස්තියාදු වෙනවා කියලා. ඔයාව ඔය ලෝකෙට එවපු මාමවත් ආයේ ඔයා ඉන්න ලෝකෙට එවන්න කියලා කෑ ගහනවා. පාරවල් වල වැඩිපුරම නැන්දලා ඉන්නෙ. ඒවත් නතර කරන්න අපිට බෑනෙ දුවේ. ඔයා ඉන්න තැනකට ආයෙත් ඔය නපුරු මාම එනවට දූ කැමති නෑ කියලා දන්නවා. කමක් නෑ දුව ඉන්න තැනට ඒ මාමට එන්න බැරි වේවි. ඒ මාමා අපායෙ යනව ලු දුවේ. එතකොට ඔයා ආයෙත් අපි ලඟට එන්න.

ඉතින් චූටි දුවේ මට තව ඔයාට ලියලා එවන්න ගොඩක් දේ තියෙනවා. ඒවා දැනගත්තොත් ඔයා ආයේ අපිව බලන්න එන එකක් නෑ. ඒ කියන්නේ ඔයාගෙ තාත්තවත් මේ මාද්‍ය මාමලා ඔයාව ඔය ලෝකෙට එව්වා කියලා හැමෝට ම කියලා. අපේ රටේ අයට විතරක් නෙවෙයි, මුලු ලෝකෙට ම කියලා ඉවරයි. පුතාගෙ තාත්තව තවම උසාවියට යවලත් නෑ. ඊට කලින් මේ අය කියලා ඉවරයි. මෙහෙම කියන්න නම් අපිට උසාවි මොකට ද නේද දුවේ?
සේයා දුවේ අපිට සමාවෙන්න මේ එකකින්වත් ඔයාව බේරගන්න අපිට බැරි වුනා. ඔයා ආයෙ මෙහෙ එනකොටවත් මෙහෙම නොකරන්න කියලා අපි හැමෝට ම කියලා තියමු. එතකොට මෙහෙම වැඩ කරන බලු මාමලා නැති කරන්න කියලා අපි හැමෝට ම කියමු.අපිට ආයෙත් සමාව දීලා ඔයා අපි ලඟට එන්න.
ඔයාට නිවන් සුව ම ලැබේවා.
මීට අහසෙන් එන මාමා.

Tuesday, September 15, 2015

ඔබේ නිර්මාණයට බ්ලොග් වටිනාකමක්...



මා හිතවත් බ්ලොග් මිතුරනි. බ්ලොග් නොලියන බ්ලොග් පාඨකයින් වෙනුවෙන් මවිසින් නව බ්ලොග් අඩවියක් ආරම්බ කර ඇත. එය (ඔබත් මමත්) ලෙස ප්‍රසිද්ධ කර තිබේ. මෙම අඩවිය හරහා බ්ලොග් නොලියන පිරිස ට තම හැඟීම් බ්ලොග් අවකාශයට මුදා හැරීම කල හැකිය. ඒ සඳහා කල යුත්තේ තම නිර්මානය සමග නම ahasenenna@gmail.com වෙත එවීම පමනි. මේ හරහා ඔබ ලියන කවියට කෙටි කතාවට ගීතයට බ්ලොග් වටිනාකමක් ලැබෙනු ඇත. www.obathmamath.blogspot.com ලිංකුවෙන් පිවිසිය හැකිය.

ප/ලි.
මෙම පෝස්ටුව ඉතා කෙටි එකකි. ඉස්කෝලේ කතාවක් ලඟ ලඟම එනු ඇත.