Monday, September 12, 2016

සඳේ කැලුම් වඩිණු මැනවි













කොඳ කුසුමන් පිපී සුවඳ
බෙදන නිසල රාත්‍රියක
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
කිරි පැණි ඉල්ලන්න නොවේ,
සාවිය ඉල්ලන්න නොවේ
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

මනාලියක් වී පෙර දා
කැදලි තනා ඉගිලුනාට
ඒ නිවසේ උණුසුම මට
සිහි වන වා හැම මොහොතෙම
සිත ඉගිලෙන මුත් නිවසට
යා නො හැකිය හනික එලෙස
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

දුවේ කියා අමතන හඬ
ඇහෙනව මට හැම මොහොතෙම
පුරුද්දකට මෙන් හැමතැන
හොයනවා ඇති මාව තාම
එහි රජයන පාලු ගතිය
මකා දමණු හැකිය නුඹට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

 සමන් පිච්ච කඩොපුල් මල්
 පිපිලා ඇති මේ වෙනකොට
මා එනතුරු ඉන්නව ඇති
බුදු පාමුල සැනහෙන්නට
ලඟදිම එන බව පවසා
පනිවිඩයක් ගිහින් දෙන්න
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

අම්ම තාත්තාගෙ දෑසෙ
සතුටු සිනා පුබුදුවන්න
සිතේ තියන  පාලු ගතිය
ගිහින් දමණු දුර ඈතක
සෙනෙහස උතුරණ කැදැල්ලෙ
මා සතුටින් බව කියන්න
ඒ ගැන දුක් නො වී තුටින්
 ඉදිණු මැනවි කියා දෙන්න
සමන් පිච්ච මල් සුවඳක
මා ඔතනා හාදු පේලි
ගිහින් දෙන්න මා වෙනුවට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික


ප-ලි. තුශානි අක්කගෙයි, ඉයන්ගෙයි අභියෝගයක් අත්තැරල බෑනේ.. කවදහරි කියන්න වෙන දෙයක්  දුකෙන් උනත් දැම්ම කියල දැම්මා. මේක සමහරවිට ගීතයකට නොගැලපෙන්නත් පුලුවන්. එහෙමයි කියල මේක අතාරින්නෙ කොහොමද? හිතුවට වඩා මේක දිග උනා එහෙන් මෙහෙන් කැපුවම මෙහෙමයි ඉතුරු උනේ. තව කපන්න හිත දෙන්නෙත් නෑ. ඒක නිසා මෙහෙම ම දැම්ම.

Monday, September 5, 2016

ලොව නොදකින දෑසක්, ලොව දැකීම


ඔබ, මම ජීවත් වන මේ ලෝතලය වරෙක සුන්දර ය.... තවත් විටක අසුන්දර ය... කෙසේ වුව ද ලෝකයේ සුන්දර හෝ අසුන්දර බව නිර්මාණය වී ඇත්තේ සුන්දර වර්ණ එක්වීමෙනි... ඒ වගේම විවිධ හැඩතල එක්වීමෙනි.... සෑම දේකටම පාටක් ඇත, හැඩයක් ඇත... ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වර්ණ හා හැඩ වල එකතුවකිනි.... එබැවින් මේ ලෝතලය සුන්දර නිර්මාණයකි... ඉතා සුන්දර යමක් දකින විට “අනේ මේව දකින්න අපි පින් කළානේ” ලෙස ඇතමුන්ගේ මුවෙන් පිට වන්නේ නිරායාසයෙනි.... අසුන්දර යමක් දුටු විට ඒ මුවින්ම පිට වන්නේ මීට වඩා හාත්පසින් වෙනස් දෙයකි.... “අනේ මේව බලන්න අපි පවු කළානේ”
පිනට හෝ වේවා පවට හෝ වේවා, මේ ලෝකය දෑසින් නො දැක මනසින් දකින පිරිසක් සිටින බව ඔබ දන්නවා ඇති... ඒ අය ලෝකය දකින්නේ කෙසේ ද යන්න ඔබට කුමන හෝ මොහොතක ගැටලුවක් වීමට පුලුවන. එසේ නැති නම් වී ඇතුවා විය හැකිය... ඒ අනුව  දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වර්ණ හඳුනා ගන්නේ කෙසේද? හැඩතල, ඇසට හසු වන දෑ ඔවුන් හඳුනා ගන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඇති වීමට පුලුවන. ඒ පිළිබඳව විමසුමක් කිරීමට අපේක්ෂා කරමි... ඒ සෑම දේකටම පෙර දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පිළිබඳව කෙටි විවරණයක් කරන්න කැමතී....
ප්‍රධාන වශයෙන් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ නොපෙනීමේ මට්ටම අනුව වර්ග කෙරේ.
1. B-3. පෙනීමේ සුලු අඩුපාඩුවක් ඇති විට මෙසේ හැඳින් වේ. වර්ණ. වස්තු හඳුනාගැනීමේ අපහසුතාවක් නැත. සමහරක් පුද්ගලයන්ට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
2. B-2. “puver Lowvision” සම්පූර්ණ පෙනීමෙන් අඩක් හෝ ඊට  අඩු ප්‍රමාණයක් පෙනෙණ පුද්ගලයන් මේ කොටසට අයත් වේ. වැඩි දුරක් නොපෙනීමට, අඩු පරාසයක් දැකීමට හැකි ය. මොවුන් තුළ ද ඇතැම්විට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
3. B-1. පූර්ණ අන්ධ පිරිස මේ කොටසට අයත් වේ.මෙහි දී පූර්ණ දෘෂ්‍යාබාධිත බව කොටස් දෙකකට බෙදා හඳුනාගැනීම පසු පැහැදිලි කිරීම් සඳහා පහසු වේ. පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ද ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදිය හැකි ය
උපතින් දෘෂ්‍යාබාධිත නො වී පසු කාලීනව දෘෂ්‍යාබාධිත වූ.
වයස අවුරුදු 3 4 වැනි කාලය පසු කර යමෙකු දෘෂ්යාබාධිත වේ නම් ඔව්නට වර්ණ, හැඩ හා වස්තු පිළිබඳව මතකයක් ඇති නම් එවන් දේ අවබෝධ කර ගැනීම අපහසු නො වේ. සරලවම කිවහොත් ඇසූ දුටු දෑ මතකයේ ඇති කාලයේ දී දෘෂ්‍යාබාධිත වීම තුළ වර්ණ හා වස්තු පිළිබඳව අද්දැකීමෙන් ලබා ගත් දැනුමක් පවතී.. රතු, කොළ, නිල්, තැබිලි කී විට එකිනෙකට වෙනස් වර්ණ සිතේ මැවේ. අහස, ගංගාවක් කී විට තමා පෙර දුටු දෑ සමග චිත්ත රූපයක් ඇද ගත හැකි ය. එසේම පෙර නො දුටු, නමුත් පසුව හඳුනාගත් වස්තුවක් වේ නම් එය පිළිබඳව ද චිත්ත රූපයක් ඇද ගැනීම පහසු උදාහරණයක් විදිහට වයස 2000 දී දෘෂ්‍යාබාධිත වූ අයෙකුගේ   එවිට වයස 12 කි..  ඔහු නෙලුම් පොකුණ රංග ශාලාව දැක නැත... නමුත් එය මෙසේ යැයි විස්තරයක් කී විට එය මෙබඳු යැයි සිතා ගත හැකි ය. එසේම මිනිස් රූප සම්බන්ධයෙන්  කතා කරන විට එය මෙසේ කිව හැකි ය... ඔබ හදුනන කෙනෙකු ගැන කතා කරයි නම් හෝ ඔබට යමෙකු සිහි වේ  නම් ඒ මොහොතේ ඔබ අසල ඔහු හෝ ඇය නැතත් ඒ පුද්ගලයාගේ රූපයක් සිතේ මැවෙනු ඇත.. පසු දෘෂ්‍යාබාධිත කෙනෙකුට ද තමා පෙර දුටු කෙනෙකු පිළිබඳව තම මතකය අනුව චිත්තරූපයක් මවා ගත හැකි ය. එසේම ඔබ පෙර ඡායා රූපයකින් හෝ නොදුටු කෙනෙකු ගැන කතා කරන විට හෝ සිහි කරන විට යම් රූපයක් සිතේ මැවෙනු ඇත. දෘෂ්යාබාධිත කෙනෙකු ද නොදුටු කෙනෙකු දකින්නේ එසේ ය. එසේම ඔබ නො දැක සිතේ ඇඳි රූපයක් ඇති කෙනෙකු ඔබට යම් දිනක හමු වූ විට තමා සිතා සිටි ආකාරය හා එම පුද්ගලයාගේ වෙනස්කම් හඳුනා ගත හැකිය.. ඒ අනුව දෘෂයාබාධිත අයෙකු පෙර නොදුටු පුද්ගලයෙකු හඳුනාගන්නේ එම පුද්ගලයාම හෝ තව කෙනෙකු ලබා දෙන විස්තරය අනුවය... සිතේ ඇඳි රූපය වෙනස් කර ගැනීමට දෘෂ්‍යාබාධිත පුද්ගලයාට ද හැකි ය.. එසේම අහස මුහුද, ක්ෂිතිජය වැනි ස්ථාන දැක ඇති නම් එවන් ඡායාරූපයක් පිළිබඳව වුව ද කී විට එහි චිත්‍රයක් සිතේ ඇඳ ගැනීම අපහසු නැත.
උපතින්ම හෝ ඉතා කුඩා කල දෘෂ්‍යාබාධිත වූ.
මෙවන් පුද්ගලයන් පිළිබඳව කතා කිරීමේ දී ඉහත තත්ත්වයට වඩා වෙනස් ය. ඔවුන් කිසි දා, එක් මොහොතකට හෝ වර්ණ දැක නැත. හැඩතල හෝ වස්තු දැක නැත. එසේ නම් ඔවුන් ඒවා දකින්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම මා හට ද එය ගැටලුවක් විය. සෑම වස්තුවකටම හැඩයක් පවතින නිසා ඕනෑම වස්තුවක් ස්පර්ෂයෙන් හඳුනා ගත හැකි ය. නමුත් වර්ණ හා අහස, තරු, දේදුන්න වැනි දෑ හඳුනා ගන්නේ, දකින්නේ කෙසේද? එය මෙසේ ය. වර්ණ යනු අසා දැන ගත් දේ මත ගොඩනගාගත් දැනුමකි. අවබෝධ කර ගත් තත්ත්වයකි. ඔවුන් සෑම කෙනෙකුටම නොදුටුවාවූ ද ඔවුන් සෑම කෙනෙකුටම කැමතිම වර්ණයක් ඇති බව කිව හොත් ඔබ පුදුමයට පත්වනු ඇත. නමුත් එය එසේ ය. ඒ සෑම කෙනෙකුටම ඔබ වගේම කැමතිම වර්ණයක් ඇත.. තව කෙනෙකු ලස්සන, සුන්දර ලෙස පවසන වර්ණ පිළිබඳව අද්දැකීම් රහිත අවබෝධයක්, දැනුමක් පවතී. ඒ අනුව වර්ණ යනු ඔවුනට එක්තරා සංකල්පයක් වැනි ය. එසේම මා හට හමු වූ උපතින් දෘෂ්‍යාබාධිත වූ තරුණියක් වර්ණ පිළිබඳව දැක්වුයේ සෙසු අයට වඩා වෙනත් ප්‍රතිචාරයකි. ඇයට සෑම වර්ණයක් ම දැනේ. සෑම වර්ණයක් ගැනම යම් අදහසක් ඇත. ඇය සිතන ලෙස සුදු වර්ණය යනු බොහෝ මෘදු මොලොක් හැඟීමක් දැනෙන දෙයකි. නිල් පාට යනු ද සෞම්‍ය දේකි. රතු, කළු හා දුබුරු වැනි වර්ණ ගැන ඇය සිතන්නේ රලු දෙයක් ලෙසටයි. මේ ඇයගේම වචන ය.
ඒ වගේම යම් යම් හැඩ හා වස්තු පිළිබඳව කතා කරන විට ස්පර්ෂයට ඇති වස්තු ඒ ඒ හැඩ අනුව ක්ෂණයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ඔවුන් සතු ය. එහෙත් සිය ස්පර්ෂයට හසු නො වන දෑ පිළිබඳව ඇත්තේ අන්‍යයන් කියනා දේ තුළින් ලබා ගත් දැනුමක් පමණි. ඒ තුළින් ඔවුනගේ සංතානයේ යම් අදහසක් පවතී. යම් යම් දේ පිළිබඳව ඔවුනගේ දැනුම පෝෂණය වී ඇත්තේ සාහිත්‍ය හා වෙනත් විග්‍රහ තුළින් බව පෙනී ගිය දේකි. ඇතැම් දේ පිළිබඳව ඔවුන් දන්නා දේ කියන අතර ඒ තුලින් තමා අවබෝධ  කර ගත් ප්‍රමාණය අනුව පමණින් පැහැදිලි කර ගැනීමක් ද ඇති බව වැටහේ. ඒ වගේම ඔවුන් කියන ලෙස තමා නො දුටු, ස්පර්ෂයට ද හසු නොවන දෑ පිළිබඳව ඔවුන් තුළ ඇති හැඟීම වචනයෙන් විස්තර කළ නො හැකි ය. ඒ අනුව වර්ණහා ස්පර්ෂයට හසු නොවන යම් යම් දෑ පිළිබඳව ඇත්තේ සංකල්පමය දැනුමකි. එසේම ඕනෑම වස්තුවක් හඳුනා ගැනීමේ හැකියාව පුද්ගල බද්ධ වේ. ඒ ඒ පුද්ගලයාගේ ඥාණ ශක්තිය, අවබෝධ හැකියාව මත සිදු වේ.
පුද්ගලයන් හඳුනා ගැනීම මදක් විශේෂ ය. ඔබ වරක් දුටු අයෙකු තවත් වරක හඳුනා ගන්නේ රූපයෙන් ය. ඇතමෙකුට එය ද නො හැකි වීමට ද පුලුවන. දෘෂ්‍යාබාධිත කෙනෙකු එක් වරක් හඳුනා ගත් අයෙකු තවත් විටක හඳුනා ගන්නේ කට හඬින් ය. බොහෝදෙනෙකුට කෙනෙකු අද හමු වී මීලඟ හමුවීම තව වසර ගනණාවකින් වුව ද හඳුනා ගැනීමේ හැකියාව පවති. එසේම නිතර නිතර හමුවන පුද්ගලයන්ගේ හඬට අමතරව හඳුනාගැනීමේ දී උපයෝගී කර ගන්නා කරුණු කීපයක් තිබේ. ඒ අතර පා ගැටෙන නද, ඒ ඒ පුද්ගලයාට ආවේනික ගන්ඳයක් වේ නම් එය,   අත ඇල්ලූ විට ද කවුරුන්  ද කිව හැකි ය. මේවා මා දකින්නේ විශේෂ හැකියා ලෙස නොවේ. එක් අඩුවක් ඇති විට ඒ අඩුව මැකීමට ස්වභාව ධර්මයට අනුගත වීමක් ලෙස ය. පුද්ගලයන් හඳුනා ගැනිම උපතින් දෘෂ්‍යාබාධිත වූ සහ පසුව දෘෂ්යාබාධිත වූ දෙපිරිසටම පොදු ය. එසේම පුද්ගලයාගේ හඩ අනුව ද දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සිතේ රූපයක් මැවීමට ද පුලුවන. එය පුද්ගල බද්ධ සාධකයකි... එසේම ඉහත කී b-1සහ b-2 යන කාණ්ඩ දෙකට අයත් පුද්ගලයන්ගේ සවන්දීමේ හැකියාව ඉතා ඉහල ය. ඔවුනට කුඩා ශබ්ධයක් වුව ද ඇසේ. විශේෂයෙන් පූර්ණ දෘෂ්යාබාධිත පිරිසගේ ශ්‍රවනේන්ද්‍රිය ඉතා දියුනු තත්ත්වයේ පවතින අතර මතක ශක්තිය ද මේ දෙපිරිස අතර වැඩි ය.
ඒ වගේම පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සුදුසැරැටි ආධාරයෙන් මාර්ගයේ ගමන් කරනු  ඔබ දැක ඇත. එසේ නැති නම් ඒ ඒ පුද්ගලයන්ට හුරු ස්ථානයක් නම් ආධාරකයක් නොමැතිව තනිව ගමන් කරනු දැක තිබීමට ද පුලුවන. මේ කුමන ආකාරයකට වුව ද මොවුන් ගමන් කරන විට විශාල ශබ්ධ ඔවුනට බාධා ගෙන දේ. ඔවුන් පරිසරයට දැඩි ලෙස සංවේදී වේ. එවිට විශාල ශබ්ධ ඒ ගමනට බාධාවකි. නගරයක පවතින ගෝශාකාරී බව මින් අදහස් නොවේ. ගුවන් යානා නද හා එවන් දැඩි ශබ්ධ මෙහි දී දැක්විය හැකි ය.
දෘෂ්‍යාබාධිත අයෙකුගේ සිහින දැකීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
මා පෙර කී  පසු දෘෂ්යාබාධිත වූ අයෙකු නම් තමා දැක ඇති  පරිසරයක්, දුටු අයෙකු හෝ චිත්තයේ පවතින ලෙස සිහින දකී. සාමාන්‍ය ලෙස ඒ සිහිනයේ වර්ණ, වස්තු හැඩ පවතී. උපතින් දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන් ද සිහින දකී. සාමාන්‍ය පරිසරයක ඔවුන් ජීවත් වන විට හඬ හා ස්පර්ෂ ඒ සිහින තුළත් මූලිකවේ... අපි මෙසේ සිතමු.
ජනක උපතින් දෘෂ්‍යාබාධිත අයෙකි. ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග මුහුදු වෙරලේ ඇවිදිනවා සිහිනයෙන් දකී. ඔහු පහුවදා තමන් දුටු සිහිනය විස්තර කරයි. ඒ සිහිනය ඔහු දකින්නේ මෙසේ ය. මිනිස් රූ ගැන ඔහු දන්නා නිසා පවුලේ සාමාජිකයන් ඔහු අවට සිටිනා බව දැනේ. ඔවුනගේ හඬ ඇසේ. ස්පර්ශ ද දැනේ. මුහුදේ නද ඇසේ.. තවත් විදිහකට පැහැදිලි කලොත්,
සිහිනයක් දැකීම යනු ඔබ ගුවන්විදුලි නාට්‍යකට සවන් දෙනවා බඳු ය. ඔබ නොදුටු රූප සිතේ මවාගෙන නාට්‍යට සවන් දේ.. උපතින් පූර්ණ දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන්ගේ සිහින දැකීම ද එබදු ය... සිතින් මවා ගත් රූ සහිත හඬ පමණක් මුසු ජවනිකාවකි.
ඒ වගේම රූපවාහිනිය නරඹනවා, චිත්‍රපටයක් බලනවා, කියුවොත් ඔබට පුදුම සිතෙනු ඇත. නමුත් ඔවුනට එය නැරඹිය හැකි ය. ඒ කෙසේ ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත.
රූප හඳුනා ගැනීම හා වර්ණ හඳුනා ගැනීම යන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පවතින ගැටලු සඳහා මේ වන විට තාක්ෂණික මෙවලම් නිර්මාණය කර ඇත. එහෙත් ඒවා එතරම් සාර්ථක නැත. වර්ණ හඳුනාගැනීමට ඇති උපකරණය භාවිත කිරීමේ දී අවශ්‍ය යම් දේක වර්ණය දැන ගැනීමට අවශ්‍ය වුව ද එය වෙනත් දීප්තිමත් ආලෝකයට ප්‍රතික්‍රියා දැක්වීම තුළ ඉන් ඵලක් නැති වේ. ඒ වගේම මේ වන විට බහුලවම භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් තාක්සණය සහිත ජංගම දුරකථනවල ඡායාරූප ගැනීමට දෘෂ්‍යාබාධිත අයෙකුට හැකි ය. ඉන් අවට ඇති දේ කියවනු ලබයි. එසේම ඉන් වෙනත් ඡායාරූප ද කියවනු ලැබේ. නිදසුනක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු නිවසක් තුළ සිට ඡායා රූපයක් ගෙන මුහුණු පොතේ දමා ඇති නම් එය 2 people indoor ලෙස කියවයි.. එම පහසුකම ඇත්තේ ජංගම දුරකථනවල පමණි.
මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් ඇති වන්නට ඇතැයි සිතමි..

ප-ලි. මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් වන්නට ඇතැයි සිතමි. ඒ වගේම ඔබට මා පුංචි යෝජනාවක් ද කරන්නට කැමති... ඔබගේ බ්ලොග් අඩවියේ පලකරන පෝස්ටුවල ඡායාරූප අන්තර්ගත වේ නම් එම ඡායාරූපය කෙටියෙන් හදුන්වන්න උත්සහ කරන්න... අන්තර්ජාලය ඇසුරින් ලබා ගත් ඡායාරූප වේ නම් බොහෝ විට එම ඡායාරූපය නම් කර ඇති නිසා අනවශ්‍ය වේ.. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ අජිත් අයියා මෙය අත්හදා බලා ඇත. මෙය යෝජනාවක් ම පමණි...

ඵ/ඵ/ලි.(කසුන්)
ඔබ ඵල කරන පින්තූර සඳහා විස්තරයක් කිරීම ඔබේ සටහන සඳහා බාදාවක් නම් පින්තූරයට ඕල්ටනේටිව් ටෙක්ස්ට් ලෙස හෝ මෙහි ඇත්තේ මොනවාද යන්න ලියා තැබීමට කාරුනික වන්න. නිර්මාණි ඉහතින් කියා ඇති පරිදී ඔබටද උපතින් පූර්න දෘශ්‍යාබාධිතයෙකුගේ අද්දැකීම ලැබී ඇත. උදා- ඔබ ගුවන් විදුලිය ඇසීමේදී නිවේදකයාගේ හඪ මත පදනම්ව ඔහුගේ උස, පැහැය, ඇඳුම් පැලඳුම් ආදිය පිලිබඳව අදහසක් ඇති කර ගනී. එවැනි අදහසක් හරි හෝ වැරදි වීමේ සම්බාවිතාවක් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ බව 2016-08-07 සිහිනයකි රෑ වැඩසටහනේ එක් අවස්තාවකින් එය නැරඹූ ඔබට ද පැහැදිලි වනු ඇත.