Friday, June 15, 2018

තොරතුරු දැනගැනීමේ නාඩගම සහ රටේ නාඩගම්


 අපේ රට ගැන කතා කරන විට කතා කිරීමට නම් බොහෝ දෑ ඇත. ඒවා කතා කර හෝ ලියා පලක් ඇති ද යන්න ගැටළුවකි. රටේ ඕනෑතරම් ප්‍රශ්න ඇත. එක් අතකින් බලන විට රටේප්‍රශ්න හැර වෙන දෙයක් නැත. ඒ බොහෝමයක් ප්‍රශ්නවල නිර්මාතෘ වන්නේ රටේ දේශපාලනය හා දේශපාලකයෝවෙති. ඒ වගේම රට තුළ කථිකාවක් ගොඩනැගීමට අවශ්‍ය සෑම දෙයක්ම මේ දේශපාලනය සහ දේශපාලුවන් නිසා යට ගොස් ඇත. එක් අතකින් ඊට මාධ්‍ය ද වැරදිකාරයෝ ලෙස මා හට හැඟේ. මන්ද දේශපාලකයන් නටනා නාඩගං, බහුරූ කෝලම්වලට විශාල ප්‍රසිද්ධියක් දෙන්නේ මාධ්‍ය විසිනි. ඒවා කතා නො කර, පල නො කර මග හරිනවා නම් මේ ගොන් ජෝක් ඔවුනටම එපාවනු ඇත. ඒවා දිනෙන් දින ප්‍රවෘත්ථි ඇතුලු වෙනත් වැඩසටහන් මගින් ප්‍රචාරය කිරීම තුළින් ඔවුන් පිළිබඳව හා ඒ ඒ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා වනවා මිස අනෙක් සියලු දෑ යට යයි.
දකුනේ පැතිරී ගිය ඉන්ප්ලුවෙන්සා වයිරසය අද වන විට රටේ සෙසු ප්‍ර‍දේශවලට ද පැතිර ගොස් ඇත. දකුනේ පමණක් ළමුන් 15කටත් වඩා මේ වන විට මිය ගොස් ඇත. ඒ වගේම ඊයේ දින කිරි ගොවින් උද්ගෝශනයක නිරතවුනේ ඔවුනට වන අසාධාරණකම්වලට එරෙහිව  ය. රට තුළ වතුර ලීටරයකටත් වඩා අඩු මිලකට කිරි ලීටරයක් අළවි වේ. වතුර ස්වභාවික සම්පතක් ලෙස අපට ලැබුනද කිරි එසේ නොවේ. ඒ වගේම රට තුළ දිනෙන් දින අපරාධ වර්ධනය වේ. මතට තිත කියා කොතරම් කයිවාරු ගැසුවද එහි වර්ධනයක් මිස දෂමයකවත් අඩුවක් දකින්නට නැත.
එහෙවු ප්‍රශ්න රැසක් තිබියදී අද රටේ ප්‍රශ්න ඇත්තේ කිහිපයකි. ප්‍රවෘත්ථි මගින් ද පෙන්වන්නේ එපමණකි.
·         ඇලෝශියස්ගෙන් මුදල් ගත් 118 හෝ 166 කවුරුන්ද?
·         2020 ජනාධිපති අපේක්ෂක කවුරුන්ද?
·         ගෝඨාභයගේ ඇමරිකාණු පුරවැසිභාවය.
·         ඒ ඒ පක්ෂවල ප්‍රතිසංස්කරණ.
ඒ හැර වෙනත් ප්‍රශ්න නැති ලෙස ක්‍රියා කරන මාධ්‍ය පිළිබඳවද ඇත්තේ පිළිකුලකි. රටේ ගොන් ජෝක් වැඩි වේලාවක් පෙන්වීම නිසා දැන් බොහෝ නාලිකා විදේශ පුවත් සහ ක්‍රීඩා පුවත් ද ප්‍රචාරය කරන්නේ නැත. කාලගුණ වාර්ථාව ලබා දෙන්නේ විශේෂ හධිසි අවස්ථාවන්හී පමණි. නමුත් මීට පෙර නම් කාලගුණ වාර්ථාව, විදේශ පුවත් හා ක්‍රීඩා පුවත් ප්‍රවෘත්ථිවල අනිවාර්ය කොටසකි.
ඇමරිකාණු සහ උතුරු කොරියාණු ජනාධිපතිවරුන්ගේ හමුව පමණක් මේ දිනවල විකාෂය වූ අතර එය ලෝකයම කතා කළ හා අප රටේද අවධානය ඒ වෙත යොමු විම ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත. නමුත් එම සිද්ධියෙන් අපේ නායකයන් ඉගෙණ ගත යුතු පාඩමක් ඇත. එනම්, ඉතා දිගු කලක් විරසකව සිටි රාජ්‍යන් දෙකක් මෙන්ම මෑත කාලීනව තුන්වන ලෝක යුද්ධය මට්ටමට වාධ කර ගත් නායකයන් දෙදෙනෙක් අත්වැල් බැද ගත් බව මීට දින කිහිපයකට පෙර අපි දුටුවෙමු. නමුත් වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් පිළිබඳව සහ බෞද්දකම පිළිබඳව උදේ හවා කතා කරන මේ නායකයන්ට වෛරයෙන් වෛරය නොසන් සිදේ යන්න වටහාගෙන එලෙස අත්වැල් බැද ගැනීමට බැරි ඇයිද?
ශ්‍රී ලංකාව අපේ දෙමාපියන්ගේ කාලයේදී දියුණු වෙමින් පවතින රටකි. අපේ කාලයෙත්, අදටත් තත්ත්වය එයයි. එසේම අනාගතය ද වෙනස් වන්නේ මේ රටේ දේශපාලනය සහ මහජනයාගේ ආකල්ප වෙනස්වුවොත් පමණි. සොරු, මංකොල්ලකාරයන්, මිනීමරුවන් ලෙස ‍කොතරම් හංවඩු ගැසුවත්, සමාජය දැනුවත් කළත් ඡන්දයකදී ඔවුන් ජනතා නියෝජිතයින් ලෙස තෝරා ගන්නේ මහජනයාම ය. පසුව ඔවුනට බැන පලක් නැත. ඡන්දය භාවිත කර ඔවුන් ඒ තැනට යැවීමේ මූලික වරද කරන්නේ රටේ ජනතාවයි. තවත් අප රටේ මිනිසුන්ගේ ඔලුවල සාම්ප්‍රධායික අදහස් මුල් බැසගෙන ඇත. ආගම, ජාතිය, කුලය හා වත් පොහොසත්කම් ඉන් ප්‍රධාන වේ. ඒ වගේම රටට හෙන ගැහිල ගියත් තමාට වාසියක් ලබාදී හෝ ලබා දෙන බවට පොරොන්දුවුවහොත් දේශපාලුවන්ගේ පෙර වැරදි සියල්ල  ඡන්දදායකයින් විසින් මකා දමයි. අප රටේ ඡන්දදායකයන් හෙවත් අප, රටේ  රටේ මෝඩයන් ලෙස ක්‍රියා කර තවත් හරකුන් පිරිසක් අපගේ නියෝජිතයන් ලෙස පත් කර ගනී. ඉන් පසුව ඊළඟ ඡන්දය එනතුරු බැන බැන හිදින අතර ඊලඟ ඡන්දයෙන් යලිත් වරක් පෙර වරද සිදු කරයි. එය චක්‍රයක් පරිදි දිගින් දිගට රට තුළ සිදුවන්නකි.
 නායකයා කතා කරනා විකාර පෙරේදා දින ඔබ ප්‍රවෘත්ථි තුළින් දකින්නට ඇත. එය එසේ නම් සෙසු දේශපාලකයන් සහ රටේ මහජනයා මොන නාඩගම් නටනවාදැයි හා නටාවිදැයි සිතා ගත හැකි ය.
 බදාදා දිනට කැබිනට් ප්‍රකාෂණ දැනුම් දේ. නමුත් හරිහැටි කැබිනට් තීරණ පිළිබදව විචාරයක් සිදුවනවාද යන්න සිතා බලන්න. මාද්‍යවේදීන් එය ආවරණය කරන්නේ නිවැරදි තතු මහජනයා වෙත ගෙන යාම සඳහා ය. නමුත් ඔවුන් ද කරන්නේ පෙර කී ආකාරයට ඒ ඒ කාලයට ස්මතුවන දේශපාලන කාරණයක් කැබිනට් ප්‍රකාසකගෙන් ප්‍රශ්න කරමින් ඒ ප්‍රශ්නයම දිගට ගෙන යාමකි. මේ සියල්ල දෙස බලා හිදින විට සිතෙන්නේ සියලු පක්සවල දේශපාලුවන් සහ මාධ්‍ය එක් වී නටනා නරි නාඩගමක්දැයි කියා ය.
මෑතකදී අපි ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍යක් බැලීමට තීරනය කෙරුවෙමු. මන්ද රජයේ නාලිකා නැරබීම අත්හැර දමා ඇති බැවින් එහි විකාසනය වන ඉතා හොඳ මට්ටමේ නිර්මාණද මගහැරෙන බව දනිමු. ඒ වේලාවේ ටෙලි නාට්‍යක් ප්‍රචාරය වූ අතර එය මද වේලාවක් බලා සිටින විට සිනා පහළ විය.
මන්ද එය හරි අපූරු නාට්‍යකි. මේ දිනවල රටවැසියාට බදු ගෙවීම පිළිබඳව සිහි කරමින් හා ඊට ස්තුති කර ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් ඔබ දකින්නට ඇත. එම නාටයද එවන්ම එකකි. තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් නිර්මාණය වූ එම නාටකය බලන්න අපූරුය. හැකි නම් ඔබද එය සොයා නරබන්න.