Tuesday, October 10, 2017

තිත්ත ඇත්ත




සමාජයේ විශේෂ අවධානය හා විශේෂ ආරක්ෂාව කාන්තාවන්ට නිතතින්ම ලැබීම සාමාන්‍ය දේකි. අද වන විට එය සාමාන්‍ය දෙයක් බවට පරිවර්ථනය වී ඇත්තේ දිනෙන් දින සමාජය තුළ කාන්තාවන්ට වන කායික සහ මානසික පීඩනය, අපරාධ වැඩි වී ඇති බැවිනි.  එසේම කාන්තාවන් විවිධ අපරාධ, අපයෝජනවලට ලක්වීමේ ඉඩකඩ වැඩි නිසා ය. සමාජය ඒ ආකාරයට පිරිහී නැති නම් කාන්තාවන්ට ද සමාජයේ භියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි වනු ඇත. මේ නිසාම කාන්තාවන් ද තම ආරක්ෂාව උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව අපි දනිමු. නමුත් මම අද ඔබට කියන්නට යන්නේ මීට සමාන වූ, නමුත් වැඩි කතාබහට ලක් නොවන, එහෙත් කතා කළ යුතු කරුණක් පිළිබඳව ය.
මිනිසුන්ට තම ජීවිතය තුළ විවිධ අබියෝගයන්ට මුහුණ දීමට සිදු වේ. ආබාධිත පුද්ගලයන් යනු යම් යම් ආකාරයේ කායික හෝ මානසික අබියෝගතාවන්ට ලක් වූ පිරිසකි. ආබාධ තත්ත්ව විවිධ වේ. ප්‍රධාන වශෙයෙන් ආබාධිත ස්වභාවය කායික මානසික වශයෙන් ප්‍රබේධ  කළ හැකි අතර කායික ආබාධ තවත් බොහෝ ප්‍රබේධ වලට බෙදිය හැකි ය. ඒ අතර දෘෂ්‍යාබාධ, කථනාබාධ, ශ්‍රව්‍යාබාධ, අත් පා වල ආබාධ සහිතවූවන්, ඉන් කීපයකි. මෙවන් පුද්ගලයන්ට සමාජයේ විශේෂ අවධානය හිමි වේ. මොවුන්ට සහය වන පිරිස් මා දකින්නේ වන සියුපාවුන් මැද සිටිනා දෙවි දේවතාවන් ලෙස ය. එනම් ඔබ මා ජීවත් වන සමාජයේ දෙවි දේවතාවන් වැනි මිනිසුන් වගේම වන සියුපාවන්, රුදු සපුන් වැනි මිනිසුන් ද ජීවත් වන බැවිණි. මෙවන් මිනිසුන් පෙර කී ආකාරයේ විවිධ ආබාධ සහිත කාන්තාවන් ද හින්සාවට ලක් කිරීම කේදනීය තත්වයකි.
කාන්තාවන් කායික වශයෙන් බෙල හීනය. එය එසේ නම් ආබාධසහිත කාන්තාවක් ගැන සිතා බලන්න. ඔබට යමෙකු ලිංගික හිරිහැරයක් කරයි නම් ඔබට ඉන් මිදී යාමේ හැකියාව වැඩිය. ඔබට දෑස් පෙනේ නම් ඔබට පැන දිවිය හැකිය. ඔබට කෑගැසිය හැකි නම් කෑගැසීමට ද පුලුවන. ඔබට වන අපරාධය තවකෙකුට කිව හැකි නම් එය ද ගැටලුවක් නැත. ඉන් නීති ආධාර වුව ද ලබා ගත හැකි ය. නමුත් සිතා බලන්න දෘෂ්‍යාබාධිත කාන්තාවකට යමෙකු ,කුමන ආකාරයක හෝ කරදරයක්, හිරිහැරයක්, සිදු කිරීමට තැත් කරයි නම් ඈ තම ආරක්ෂාව සකසා ගන්නේ කෙසේද? කථනාබාධ සහිත තැනැත්තියක් කෑගසා හෝ තම ආරක්ෂාව ලබා ගන්නේ කෙසේද? මානසික ආබාධ සහිත තැනැත්තියක් තමාට  අපරාධයක් වූ බව විස්තර කරන්නෙ කෙසේද?
මෙවන් අසරණියන්ටවත් අද දූෂිත සමාජයෙන් ගැලවීමක්, බේරීමක් නැත. තම පහත් ආශාවන් උදෙසා ඕනෑම ස්ත්‍රියක් යොදා ගැනීමට අපරාධකරුවන් පෙලෙබේ.
සමාජය විසින් කළ යුතු වන්නේ විවිධ දුෂ්කරතා සහිත එවන් කාන්තාවන් ආරක්ෂා කිරීම නොවේද. නමුත් ආරක්සා කළ යුතු සමාජය ම ඇය ආඝාදයට හෙලයි නම් ඔවුන්ට කාගේ පිරිසරණක්ද.
මා සමග කතාබහ කළ දෘෂ්‍යාබාධිත කාන්තාවන්, තරුණියන් කිහිපදෙනෙකුගේ පැවතියේ එකම කතාවකි. ඔවුන් කියා සිටි කතා කිහිපයක් මෙසේ ලියා තබමි.
“බස් එකේ කෝච්චියේ යන්න බෑ තනියෙන්. මිනිස්සු ඇගට ගොඩ වෙනවා. සෙනග ගොඩක් මැද්දේ ඉන්නකොට කවුද, මොන පැත්තෙ කෙනෙක්ද කියලාවත් හිතා ගන්න බෑ.
“ඉතින් ඒ වෙලාවට බනින්නනේ තියේන්නේ. නැත්තන් කට්ටකින් අනින්න.
“ගහන්න බනින්න බයයි. අපිට කරදර කරන්නේ එක්කෙනෙක් අපිට පේන්නැති නිසා බනින්නේ වෙන කෙනෙකුට වෙන්න පුලුවන්. එතකොට ඒක හරි ප්‍රශ්නයක්. අනික අපි බැන්නහරි වෙන මොකක්හරි කළාම කියමුකෝ. වෙන දවසක අපිට උදවු කරන විදිහට ඇවිත් අපිව කොහාට හරි අරන් ගියොත්.
“සමහර මිනිස්සු අපිට උදවු කරනවා වගේ ඇවිත් අපිව එක එක තැන්වලට අරන් යන්න හැදුව අවස්ථාත් තියනවා.
මිනිසුන්ට මේ තරමට තිරිසනුන් විය හැකි ද. සමාජයට හිරිහැරයක්, කරදරයක් නොවී තම උත්සහයෙන් ජීවත් වීමට වෙරදරණ මෙවන් ස්ත්‍රීන්ට සමාජයේ ආරක්ෂාව දෙනු විනා ඇයගේ ආත්මයට හානි කිරීම මොන තරම් අපරාධයක්ද. මේ ආකාරයට බස් රථයේ, දුම්බ්‍රියේ වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය  තුළ විවිධ අකටයුතුකම් නිතර සිදු වන බව ඔවුන් කියා සිටී. එසේම විවිධ අවස්ථාවන්හී දී ලිංගික අතවරයන්ට, දූෂණයක්ට ලක් වූ විවිධ ආබාධ සහිත වූ කාන්තාවන් ද බොහෝය. ඔවුන් මෙවන් අපරාධ වලට එරෙහිව පෙනී නොසිටීමට කරුණු කීපයක් බලපා ඇති බව කිව යුතුය.
·         නොදැනුවත්කම,
·         සමාජයට ඇති බිය.
·         ඉන් තවත් අපරාධයකට ලක්වේ යැයි යන හැගීම.
දිනකට කාන්තාවන්ට වන අපරාධ අද බහුලය. ඇතැම් අපරාධ පිළිබඳව සමාජයේ බොහෝ කතාබහට ලක්වේ. නමුත් ආබාධිත ස්ත්‍රියකට වූ අපරාධයක් පිළිබඳව සමාජය කොතරම් දුරට අවධානය ලක් කළාද. මාද්‍ය තම අවධානය යොමු කළාද. සේයා දැරිය දූෂණය කර ඝාතනයට ලක් කිරීම පිළිබඳව එකල රටේම අවධානය යොමු විය. යාපනේ විද්‍යා සිසුවියගේ ඝාතනය පිළිබඳව සමාජය හා මාද්‍ය තවමත් අවධානයේන් සිටී. එය යහපත් තත්ත්වයකි. නමුත් අපරාධයකට ලක් වූ ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව මෙවන් අවධානයකට ලක් නොවීම කනගාටුවට කරුණකි. පසුගිය වර්ශයේ ගොලු තරුණියක් පුද්ගලයන් සත් දෙනෙකු විසින් දූෂණය කරන ලදී. නමුත් ඒ පිළිබඳව සමාජය් හා මාද්‍ය තුළ කොතරම් ඉඩක් වෙන්වූවාද. ඇයට වූ සාදාරණය කුමක්ද. මේ ආකාරයට දිනකට, වසරකට ආබාධ සහිත කාන්තාවන්, තරුණියන් කොපමණ ප්‍රමාණයක් විවිධ කායික හා මානසික අපරාධයන්ට ලක්වනවාද.
එපමණක් නොව. ඔබ මවක් නම්, සොහොයුරියක් නම් තම දියණිය තම සොයුරිය, මිතුරිය ආරක්ෂා කරන්නට වෙර දරන්නේ අපරාධකරුවන්ගේ ගොඳුරක් වීමෙන් වලකා ගැනීම සඳහා ය. ආබාධිත දෙමාපියන් තම දැරිය ආරක්ෂා කර ගැනීමට කොතරම් වෙහෙසෙනවාදැයි ඔබට වටහා ගත හැකිද. දැරියක් සිටින ආබාධිත මවක් තම දියණිය පිළිබඳව කොතරම් මානසික බරක් උසුලනවා දැයි මවක් වශයෙන් ඔබ සිතා බලන්න. ආබාධ සහිත දෙමාපියන්ගේ දරු දැරියන් අපරාධකරුවන්ගේ ගොඳුරු බවට පත් වූ  අවස්ථා ද ඇති බව මා කියා සිටින්නේ ඉතාමත් අප්‍රසාදයෙන් ය. මේ කතාව ඇතැම් විට ඔබ දන්නවා ඇත. එසේත් නැති නම් මෙතෙක් වැඩි අවධානයක් යොමු නොවූ සිදුවීමක් විය හැකිය. නමුත් හෙලි කළ යුතු, කතා කළ යුතු තිත්ත ඇත්ත මෙයයි. උදේ හවා කතා කරන මානව දයාව, මානව අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳව කතා කරන සමාජයේ එක් පැත්තකි මේ.
 ආබාධ සහිත වුව ද සමාජයේ සෙසු සෑම පුද්ගලයෙකුටම, කාන්තාවකටම ඇති අයිතීන් හිමිකම් ඒ ලෙසින්ම ඔවුනට ද පවතී. ආත්ම අබිමානයකින් යුතුව ජීවත් වීමේ අයිතිය, ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමේ අයිතිය  ඔවුනට ද පවතී.
අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙපමණකි. යම් ආබාධයක් සහිත කාන්තාවකට කායික හෝ මානසික වශයෙන් හින්සාවක්, පීඩාවක් වනු ඔබ දුටුවහොත් හෝ දන්නවා නම් ඇයගේ ආරක්ෂාව උදෙසා උපකාරවන්න.
 නිදසුනක් වශයෙන් සුදුසැරැටිය අතින් ගෙන මගට බසින ඇයට එවන් හින්සනයකට ලක්වීම තුළ ඇය තවත් අසරණ වේ. එසේ වීමට ඉඩ නොදෙන්න. ඔනෑම ආබාධ සහිත කාන්තාවක් ආරක්ෂා කිරීම ඔබේ වගකීමක් නොව. යුතුකමකි. සමාජයේ වෙසෙන වන සියුපාවන් වැනි මිනිසුන් ගෙන් ආබාධ සහිත කාන්තාවන් ආරක්ෂා කරන්න සහය වන්න.