Friday, April 27, 2018

කුමාරයා ඇවිත් ගිහින්



 යාලුවනේ මොකදැයි මේ
ඉස්කෝලේ මහ සැනකෙලි
සැරසිලි කරමින් හැම තැන
සිංදු කියනවා ලොකු අය
නැටුම් නටනවා ඇහුනද
මොකක්ද මේ සිද්ධ වෙන්නෙ
තේරෙන්නේ නෑමට නම්
ඒක ඇත්ත යාලුවනේ
හිතා ගන්න බෑ මා හට
ටීචර් දැන් එනවා ඇති
අහල බලමු ටීචර්ගෙන්
ඔන්න එනව අපේ ටීචර්
අඩි සද්දේ ඇහුනා මට
දැනෙනවා ටීචර්ගෙ සුවඳ
ඔව් මගෙ පොඩි පැටවුනේ
මං ආවා ‍මං ආවා
ආයුබොවන් මගෙ පැටවුන්ට
ආයුබොවන් ටීචර්
උදේම පොඩි ප්‍රශ්නයක්නෙ
ඒ මොකක්ද ඒ මොකක්ද
කියන්න මගෙ පොඩි දරුවනෙ
ඉස්කෝලේ ලොකු වෙනසක්
සැරසිලි කරනව හැම තැන
අක්කලා අය්යලා එක්ව
සිංදු පුරුදු වෙනව නිතර
නැටුම් පුරුදු වෙනව ඇහුනා
මොකක්ද සිද්ධ වෙන්නෙ ටීචර්
ඕකද ප්‍රශ්නේ දරුවනෙ
අනේ ඒක තමයි ටීචර්
අපි ඇහුවා ලොකු අයගෙන්
කුමාරෙයෙක් එනවාලු
තේරෙන්නේ නෑ කියුවට
ඔව් දරුවනෙ ඒක ඇත්ත
අද මං ඒ ගැන කියන්න
තමයි ආවෙ ඔයාලාට
එංගලන්තෙ මහ රැජිනගෙ
 පුතා ඇවිත් ලංකාවට
එයා තමයි එඩ්බඩ් කුමරු
කුමාරයා හෙට එනවා
අපේ ළමයි බලල යන්න
කුමාරෙයෙක් කියන්නෙ කවුරු
ටීචර් තේරෙන්නේ නෑ ඒ වග
සුරංගනා කතා පොතේ
 ඉන්නා කුමරුන් වාගෙද
එයා ගොඩක් ලස්සනයිද
අස්ස පිටේ නැගී එයිද
ඔවු මගෙ පොඩි දරුවනේ
කුමාරයා ලස්සනයි
හෙට ඇවිදින් කතා කරයි
හා හා හා ඒක හොඳයි
කුමාරයාගේ හඩ අහන්න හැකි
ඒක හොඳයි ඒක හොඳයි
අපි හෙට ගෙදරට යන්නේ නෑ
කුමාරයා බලන්න ඉමු
ගෙදරට යමු ලබන සතියෙ
 කුමාරයා බලන්න ඉමු

සඳුදා දිනදී
කුමාරයා ඇවිත් ගියා
අපිට කතා කලේම නෑ
හඩක් ඇහුනේම නැහැ
ඇයි ටීචර් පුංචි අපට
 කුමාරයා කතා නොකලෙ
අනේ එයා ආවා නම්
අල්ලලා බලන්න හිටියෙ
කුමාරයා ගැන කියුවට
තේරුමක්ම නෑ ටීචර්
අනේ ටීචර් කියන්නකෝ
කුමාරයා මොනවගේද
ගෙදර නොගිහින් හිටියේ
කුමාරයා බලන්නනේ
කුමාරයා ඇවිත් ගිහින්
අපිට නොකිය ඇවිත් ගිහින්


ප-ලි. ලංකාවේ 70 වන නිදහස හෙවත් (30) වන නිදහස සැමරීමට පසුගිය පෙබරවාරි මස බ්‍රතාන්‍ය මහ රැජිනගේ එඩ්බඩ් පුතු ලංකාවට පැමිණියා. ඔහු ලංකාවේ බොහෝ ස්ථානවල සංචාරයක ද නිරතවුනා. මොහු රත්මලාන අන්ධ විද්‍යාලයට ද ගියේ එය එංගලන්තය විසින් ලංකාවේ පිහිටුවන ලද ස්ථානයක් වගේම තවමත් එහි සබඳතා පවතින බැවිණි. ඒ සඳහා පාසලේ විවිදප්‍රසංගයක් ඇතුලු විවිධ අංග සංවිධානය කර තිබුණි. මෙම පාසල තුළ පෙර පාසලේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වේ. පෙර පාසල තුළ වයස අවුරුදු තුනේ සිට ළමුන් හිදී. එම ළමුන් බොහෝදෙනෙකු නේවාසිකව සිටින අතර ඇතැම් දරුවන් සිකුරාදා හවසට නිවෙස් කරා යයි. දරුවන්ගේ දෙමාපියන් අවුත් දරුවන් රැඟෙන යයි.
මෙහි පෙර පාසැල් දරුවන් හා 1-2 පන්තිවල ඉගෙණුම ලබන සිසුන්ට එම පන්ති බාර ගුරුවරිය එඩ්බඩ් කුමාරයාගේ පැමිණීම ගැන දැනුවත් කර ඇත. කුමාරයා පාසලට පැමිණ ඇත්තේ සෙනසුරාදා දිනක ය. එම නිසා දරුවන් නිවෙස්වලට ද නොයා කුමාරයා බැලීමට සිට ඇත. කුඩා දරුවන්ගේ අපේක්ෂාව වී ඇත්තේ කුමාරයාගේ හඬ ඇසීමටය. ඔහු අල්ලා බැලීමට ය. ඒ නොදරුවන්නේ අහින්සක සිතුවිලිය. ඔවුනට යමක් හොදින් ග්‍රහනය කරදීමට පහසුවන්නේද ඒ ලෙසය. නමුත් සිදුව ඇත්තේ වෙනම දෙයකි.
කුමාරයා පාසලට පැමිනෙන දිනයේ පාසලේ පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ කුඩා දරුවන් නේවාසිකව තැබීමට ය. මීට පන්ති බාර ගුරුතුමිය විරුද්ධ වී ආරක්ෂක නිලදාරීන්ගෙන් ඊට කරුණු විමසා ඇත. ඔවුන් කියා ඇත්තේ දරුවන් සිටියාට ගැටලුවක් නැති බව ය. නමුත් පාසල් පාලක මණ්ඩලය ඊට එරෙහි වී ඇත. නිහඬව පාසල තුළ කුමාරයා සංචාරය කොට ගොස් ඇත. දෑස් අන්ධ කුඩා දරුවන්ට මෙය ප්‍රෙහේලිකාවකි. සඳුදා පන්තියට පැමිණි ගුරුතුමියගෙන් දරුවන් අසා ඇත්තේ
කුමාරයා ඇවිත් ගියාලු. අපි දන්නෑ ටීචර්. ගෙදර නොගිහින් හිටියේ කුමාරයා බලන්න. ඒත් එයා ඇවිත් ගිහින්.””අපිට තේරෙන්නේ නෑ. එයා මොන වගෙධ?
මෙය මොන තරම් අසාදාරණයක්ද? විහිලුවක්ද? මේ සිදුවීම පිළිබඳව ඔබ මදක් සිතා බලන්න....

Wednesday, April 25, 2018

වතුර


ඉන්දු ඔය මල්වලට වතුර දානකොට හරියට හෝස් එක අල්ලන්න. කරාමෙ හොඳට අරින්න. වතුර  දාන්න ලෝබ වෙන්න එපා. අපිනෙ බිල් ගෙවන්නෙ උබ නෙවෙයිනෙ.
ඉන්දු කරාමය තවත් වැඩි කර වතුර බටය මල් ගස්වලට යොමු කරේ තම ගමේ සිතුවමක් සිත තුළ ඇඳ ගනිමින්.  මෙහි ඇති ගස් වැල් ඇයට පෙනුනේ හොඳින් කාබී වැඦබෙන තරබාරු මිනිසුන් සහ සුකොමාල ගැහැණුන් විදිහටයි. හැම ගසකම මල් පිපී ඇත. කොළ පාටින් අඩුවක් නැත. ඒ මදිවාට නෝනාගේ මල් වත්තේ නෙක නෙක පාට ගස් ද ඇත.
ඉන්දු ඔය වැඩේ ඉක්මනින් ඉවර වෙලා එන්න බල්ල නාවන්නත් තියනවා. කාර් දෙක සෝදන්නත් ඕනේ.
නිල් පැහැති කොට කලිසමකින් සහ ක්‍රීම් පාට අත් කොට ටීශර්ට් එකකින් සැරසුණු මේධා කීවේ තම අත්වලට අත් ආවරණ දාගනිමින්මයි.
හොඳයි නෝනා.
මෙතෙක් තම ගම තුළ සිතින් ඇවිද ගිය ඉන්දු සපුමල් මාවතේ පිහිටි සමන් පාය නිවසට යලිත් පැමිණියේ මේධාගේ විධානය ලැබුණු පසුයි.
මීළඟට ඈ උන්නේ විශාල ජර්මන්ශපට් වර්ගයේ බල්ලෙකු නහවමින් ය. විනාඩි තිහකට ආසන්නව බල්ලා නැහැවීමෙන් කානුව දිගේ ගලා යන වතුර ප්‍රමානය දුටු ඇයට ඉබේටම සුසුමක් හෙලුනා.
මොකද බං ඔය කානුව දිහා බලන් ඉන්නේ. පිස්සුද? අර කාර් දෙක හෝදපන්.
නෑ නෝනා. මේ වතුර දකිනකොට මට මතක් උනේ අපේ ගම්වල මිනිස්සු වතුර නැතුව විදින දුඛ.”
ආ උබ දුක් වෙන්න එපා. ඊයේ අපේ කාන්තා සංවිධානෙන් බඩු එකතු කළා නියගේ තියන පැතිවල මිනිස්සුන්ට බෙදන්න. මහත්තයාගේ ඔෆිස් එකෙනුත් බඩුයි වතුර බවුසරේකුයි යවනවාලු.
එහෙමද නෝනා.
කියමින් ගලා යන වතුර දෙස ඉන්දු බලා උන්නෙ සෝකයෙන්.
 ඔව් ඔව්. දැන් ගිහින් කාර් සෝදනවා.
වතුර බවුසරයක් යැවුවාට දවසකට මේ ගෙදර වතුර බවුසර් කීයක්නම් පාවිච්චි කරනවා ඇද්දවචනයෙන් නොකීවත් ඉන්දූ එසේ සිතුවේ තම අවට වූ දෑ දෙස කලකිරීමක් මුසු බැල්මක් හෙලමින්මයි.
කිරි පාට සහ සුදු පාට මෝටර් රථ හොඳින් ඔප වැටෙන සේ සෝදා අවසන් කළ ඉන්දූ තවත් වතුර බාල්දියක් රැඟෙන නිවසට ආවේ ගෙබිම පිරිසිදු කිරිමටයි. සෝපාව මත වූ මේධා තම දෙපා ද සෝපාව මතට ගෙන ඉන්දූ වැඩ කරන දෙස කිසිදු හැඟීමකින් තොරව බලා උන්නා.
නෝනා
 ඇයි ඉන්දූ.
අවුරුද්දටත් තව සතියනේ නෝනා. මං මේ සතියේ අන්තිම ගෙදර ගිහින් එන්නද?
උබ ගිහාම මේ ගෙදර වැඩ කරන්නෙ කවුද?
මං ඔක්කොම කරලා යන්නම් නෝනා. නෝනට කරන්න දෙයක් ඉතුරු කරන්නෑ නෝනා.
හරි හරි බලමුකෝ. වැඩ ඉවර උනොත් යන්න දෙන්නම්.
කියමින් මේධා ටීපෝව මත වූ පුවත්පත අතට ගත්තේ හුදෙක්ම කියවීමේ අටියෙන් නොව. ඉන්දූගේ කතාව මගහැරීමට බව ඉන්දූට වැටහුනා.  තම දෑස් තෙත් වන බව ඉන්දූට දැනුනත් ඈ එය දරා ගැනීමට උත්සහ කළා. අම්මාගේත් මහලු පියාගේත් රූ ඇයගේ දෑස් මත ඇදුනේ දෑස තව තවත් තෙත් කරමින්මයි.  ඔවුන් යන්තන් කා බී සිටින්නේ ඈ මේ නිවසේ වැඩ කර යවන පඩියෙන් බව ඈ හොඳින්ව දන්නා කාරණයක්. කන්න දෙකක් ඉඩෝරයෙන් විනාස වී ගිය බව ඈ දනී. වැවු පොකුණු සිදී ගොස් ඉරි තැලුණු පොලොව ඈ ඉදිරිපිට දිස් උනේ ඉබේටමයි. සුදු පැහැ ටයිල් ඇල්ලූ පොලොව ඇයට පෙනුනේ හතරට පහට පැලුණු පොලොව ලෙසයි. සමන්පාය මධ්‍යෙය් ඇද හැලෙන කෘතිම දිය ඇල්ලේ නඳ ඇයට ඇසුනේ තම මව සහ පියා ඇතුලු ගැමියන්ගේ දෑසින් වැටෙන කඳුලු මුසු හැඬීමක් විදිහටයි.
ක්‍රීන්.. මේ අතරේ නිවසේ විදුලි සීනුවත් නාඳ උනා.
ඉන්දූ කවුද බලන්න.
මෙධා විධාන කලේ පුවත්පතින් ඔලුව නොඔසවාමයි.
දම් පැහැ කෙටි ගවුමක් ඇද ගත් මේධාගේ යෙහෙලියක් විවර වූ ගේට්ටුවෙන් ඇතුලුවුයේ පාවහන්වල ටක් ටක් නාඳය සමගමයි.
 හෙලෝ මේධා.
හායි රෝසී.
මේධා තම යෙහෙලිය සිප වැලඳ උණුසුම් විදිහට පිළිගත්තා. ඉන්දූට නිවසට ආ මුල් දිනවල නම් මේවා අමුතු දර්ශන. ඒත්, දැන් ඇයට මේවා සාමාන්‍ය දේවෙලා ඉවරයි.
අම්මෝ හරිම රස්නෙයි නේද?
ඔවු අනේ මේ කාලෙට කොහොමත් එහෙමනේ. ඉන්දූ, ගිහින් මේ නෝනට කූල් ග්‍රිංක් එකක් ගේන්න.
තත්පරගානකින් ගැහැණුන් දෙදෙනාගේ කතාව ඉන්ග්‍රීසි භාෂාවට මාරු උනා. අනුරාධපුරේ එහා කොනේ සිට රැකියාවක් සඳහා තම මාමා කෙනෙකු හා කොළඹට පැමිණි ඉන්දූට මේ භාෂාව වැටහෙන්නේ නැත. ඈ දැන් දින කිහිපයක සිට නිවසේ සියලු වැඩ කරමින් ජීවත්වුවත් සිතින් උන්නේ ඒ හද්ද පිටිසර ගම්මානේ. හරිහැටි කෑමක් බීමක් නැති ගම්මුන් සමග. ඈගේ මේ තත්ත්වයට හේතුවූයේ අම්මා එවූ ලියමනක්. ඒ ලියමනේ අකුරක් පාසා ලියා තිබුනේ ඔවුන් විදිනා දුක් කම්කටොලු විස්තරයක්.  අවුරුදු විස්සක් පමණ එම ගමේ ජීවත් වූ ඇයට වසරක් තුළ ඒ දුක් අමතකවූයේ නැත. ඇයට ඒවා අමුතුවෙන් කීමට අවශ්‍යවූයේ ද නැත. ලියමනේ ලියා තිබුණු වේදනාව ඇයගේ ගත සහ සිත පුරා දිව යන්නට උනා.
මේ ගර්ගෙ ගෙවල් කොහෙද මේධා.
ආ මෙයාද? මෙයා අනුරාධපුර පැත්තෙ. අපි මේ දන්න කෙනෙක්ට කියලා හොයා ගත්ත අනේ.
ගැහැණුන් දෙදෙනා තොදොල් වෙමින් කතා කරමින් සිටි අතරේ ඉන්දූ අම්මාගේ ලියමනට පිළිතුරු ලිපියක් ලිවීමට පටන්ගත්තා.
අනුරාධපුර පැත්තේ නියගේලු නේද? මං ඊයේ නිවුස්වල දැක්කා.
ඔවු. මේ ඉන්දුලාගෙ ගමේ අයටත් වතුරවත් නෑලු.
හානේ ඇත්තද? පවු අනේ.
මේධාගේ යෙහෙලිය ඉන්දූ දෙස මෘදු බැල්මක් හෙලුවත් ලිපියට අවධානය යොමු කළ උන් ඉන්දූ එය දුටුවේ නැත.
ඔව් අනේ. අපි ඊයෙ කාන්තා සංගමෙනුත් බඩු එකතු කලා නියගේ තියන පැතිවලට යවන්න.
ඒක හොඳයි අනේ. ඒක නෙවෙයි, අපි නෙස්ට් වීක් නාච්චිමලේ යමුද?
මොකක්ද විශේෂෙ?
නාච්චිමලේ ශෝක් දොලක් තියනවා. වෝටර් තෙරපිවලට, එන්ජෝයි කරන්න හොඳ ප්ලේස් එක. ලස්සන තැන.
මං අහලා තියනවා. ඕකේ. එහෙනම් යමු. මං අපේ සුමේධටත් කියන්නම්. කොහොමත් නෙස්ට් වීක් නිවාඩුනේ. ප්‍රශ්නයක් නෑ. යන්න පුලුවන්.

*****
ඒ ළිඳෙනුත් තව නම් වතුර ගන්ට බැරි වෙයි.
වතුර පනිට්ටුව බිම තියනගමන් සීතා එහෙම කියුවා.
 “දැන් අවුරුද්දකටත් වැඩී. එක වැහි කඳුලක් හරියට බිමට වැටුනෙනෑනෙ හැබෑට.
නිකටේ අත ගසා ගෙන රත්නායක අහස දිහා බලාගෙන එහෙම කියුවේ සුසුමකුත් පිට කරනගමන්.
අවුරුද්දටත් තව දවස් කීයද? මේපාරත් අවුරුදු කාලා ඉවරයි වගේ.
ඉඩෝරෙට අහුවෙලා කුබුරත් පාලු උනා. මෙහෙන් බොන්න වතුර බිඳක් නෑ. යාන්තන් ඉහ ගහගෙන ඉන්නේ අර කෙල්ල කොළඹට වෙලා කඹුරණ එකෙන්.
ඒක නම් මොකට කියනවාද? මට ඒක මතක් වෙනකොට උහුලන්නෑ. ඒ කෙල්ලට කියලා හම්බ කරන් කන්ට උනානෙ හැබෑට.
ඒකි නිසා තමයි අපි මෙහෙම හරි ඉන්නේ. බලාපන් ගමේ අනිත් උන් විදින බළු දුක්.
දෙන්න දෙමහල්ලන්ගේ කතාව මදකට නැවතුනේ ගේ පැත්තට එන මුදියංසේ මාමා දුටු නිසයි.
මුදියංසෙ. මොකෝ මේ පැත්තෙ.
අමරපාලගෙ දරුවත් ඕන් ඉස්පිරිතාලෙට ඇරන් ගියා.
ඒ මොකෝ.
ඊයෙ රෑ තිස්සට දොට්ට යනවලු. මාත් ගියා දරුව බලන්ට. පොඩි එකා මලානික වෙලා.
කිරි අප්පේ. නොදරුවා.
සීතා චීත්ත පොටින් දෑස පිස ගත්තේ විස්සෝපයෙන් වගේම පහුගිය සතියෙත් පාචනය වැලදී මිය ගිය සෝමාගේ  දරුවා ද සිහි වු නිසයි. එවන් දෙයක් යලිත් අසන්න නොලැබේවායි ඈ සිතින් ගම්බාර දෙයියන්ට මිමිනුවේ වේදනාවෙන් වගේම දෙවියන් කෙරේ වූ භක්තියෙන්.
වැවේ මඩ මිරිකලා වතුර ඩිංගක් ගන්ට වෙලා තියෙන්නේ. එහෙමත් නැත්තන් ලිදක තියන අඩිය හූරන්ට වෙලා තියෙන්නේ. මේකනම් දේව කෝපයක්ද මන්ද බං.
මාත් ඕක හිතුව රත්නායක. අපි ඊළඟ හෙනහුරාදට ගලේ දේවාලෙට ගොහින් දෙයියන්ට කන්නලවු කරලා පොල් ගහලවත් බලමු.
හොඳා හොඳා. ඒකත් කරලා බලමු. ගමේ කට්ටියත් එකතු කරන් යමන්කො එහෙනම්.
පංසලේ හාමුදුරුවෝ කීවා මේ පෝයට වැහි පිරිත දේසනා කරනවයි කියලා.
සීතා තමන් දන්නා දේත් ඊට එකතු කළා.
අපිට හැකි හැම දේම කරලා බලමුකෝ.
කියූ මුදියන්සේ පිටත් උනේ තවත් කළ හැකි දෙයක් ඇද්දැයි සිතමින්මයි.
           අවුරුද්දක් පුරාවට පලාතටම එක වැහි පොදක් වැටුනේ නැත. කුබුරු වේලී ගොස් ඇත. හේන් දැවී ගොස් ඇත්තේ තමන්ටත් තවත් දරා ගත නොහැකි බව කියන්නාක් ලෙසයි. පොලොව පැලී ඇත්තේ තම කෝපය පෙන්වීමට වගේයි. වැවු පොකුණු පීරා දිය සොයනා ගැමියෝ මඩ, වැලි මිරිකමින් දිය සෙවීම ඉතා දුක්කදායක තත්වයක්. ගස්වැල් ද කනාටු වී ඇත්තේ ගැමියන් සමගම දුක බෙදා ගන්නට මෙනි. සතාසීපාවා පවා පිපාසයෙන් පෙලෙන අතර ගැමියෝ තමන් ලද දිය දෝතින් දිය කඳුලක් හෝ සතුන්ට ද දුන්නේ ලෝබකමකින් තොරවමයි.
හෙට වතුර බවුසරයක් කොළඹින් එවනවා කියන්නේ.
වැවේ කොනක කුඩා වළක් සාධාගෙන පොල් කට්ටට දිය බිඳ බිද එකතු කරනගමන් සීතා සෙසු ගැහැණුන්ට කීවේ ඒ අලුත් ආරන්චියෙන් සියල්ලන්ගේ සිතේ වූ පිපාසය නිවීම සඳහායි.
ආරන්චී සීතෝ. තව ඔය හාල්, පොල්, පරිප්පු වගේ වියලි සලාකත් දෙනවයි කියන්නෙ.
වතුර නම් කොච්චර ලැබුනත් මදි බං.
අපි මෙහෙ වතුර නැතුව බලු දුක් විදිනවා. අපේ කෙල්ල එවන ලියුම් කඩදහිවල තියන දේවල් දැක්කම දුකේ බෑ. මේ වගේ රටකද අපි ඉන්නෙ කියලා හිතාගන්ට බෑ.
ඇයි කෙල්ල මොකද කියන්නෙ සීතෝ?
ඒකි ඔය වැඩ කරන බංගලාවෙ මල් පැලවලට විතරක් දවසට දෙපාරක් වතුර දානවාලු. ගෙදර ඉන්න බල්ලට නාන්ට මිනිහෙක් නාන වතුර කන්දරාවට වඩා යනවලු. දවසකට සැරයක් ගේ හෝදන්ට ඕනෙලු. තව ඔය ගෙයි බඩු බාණ්ඩ හෝදන්ටම දවසකට සෑහෙන වතුර කන්දරාවක් යනවලු. ඉතින් කෙල්ලට දුකේ බෑලු ඒ විදිහට වතුර දකිනකොට. වැඩිමනක්ම අපි මෙහෙ වතුර කඳුලක් නැතුව විදින දුඛ ඒකි දන්නවානේ බං.
දෙයියොම බලාගන්ට ඕනෙ බං මේවා. ඔය මිනිස්සු ටෙලිවිසොන් එකෙන්වත් අපි මේ වතුර නැතුව විදින දුක දකින්නැද්ද බං.
දුක දැක්කට විදින දුක් දැනෙන්නෑ . වනේ වේදනාව දන්නෙ වනේ තියන මිනිහනේ.
ගැහැණු සියල්ලගෙන් සුසුමක් වාතයට මුසුවුනේ කියා ගත නොහැකි තවත් බොහෝ දෑ හදවතේ කොනක සඟවාගෙනමයි.