Wednesday, March 30, 2016

දිනන මග



අපේ රටේ විවිධාකාර තරඟාවලි පවත්වනවා. එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මට්ටමින් පවත්වන තරඟාවලි සඳහා අපේ රටින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී කර වනවා. පවත්වන තරඟ අතරේ තියන එක තරඟයක් තමයි (ඉලක්කයට වෙඩි තැබීම) ඒත් මේ තරඟවලින් අපේ රටට පදක්කම් අඩුයි. මං මේ කියන්නේ ඒ ක්‍රීඩාව තරඟ අංශය දියුණු කරන්න පුලුවන් වැඩ පිළිවෙලක්.

දැන් මාසෙක විතර ඉදලා රටේ ප්‍රෙදේශ ගනණාවකම වෙඩි තැබීම් සිද්ද උනා. ගොඩාක් වෙඩි තැබීම් සිද්ද උනේ යතුරුපැදියකින් ඇවිත් වෙඩි තියලා යනවා. එහෙමත් නැත්නම් යතුරුපැදියේ යනගමන් ධාවනේ වෙන තවත් වාහනයක ඉන්න කෙනෙකුට වෙඩි තියනවා. බලන්න ධාවනේ වෙන වාහනයකට ධාවනය වෙමින් ම වෙඩි තියනවා කියන්නේ මොන තරම් හැකියාවක්ද? 

මම අර කලින් කියාපු තරඟාවලි වලට සම්බන්ධ වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා පුහුණු, හොඳ ආහාර, බේත්හේත්, ශරීර සුවතා වගේ හැම දේම ලැබෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ අනිත් කොටසට මොනවද ලැබෙන්නේ? ඒත් ඒ අය මොන තරම් දක්ශද? අර විශේෂ වරප්‍රසාධ ලැබෙන පිරිසට වඩා කොයිතරම් විශේෂ දක්ශතා පෙන්වනවාද? ධාවනේ වෙන වාහන වල පුද්ගලයන්ට වෙඩි තියනවා, වෙඩි තියලා දුවනවා. අංශ කිහිපයකටම ඒ අයගේ දක්ෂතා පෙන්වනවා. වැදගත්ම දේතමයි මං කියපු ඔබ දැනට අහලා තියන මේ යක්ෂ දක්ෂයන්ව තාමත් පොලිසියටවත් අල්ල ගන්න බැරි වෙලා තියනවා. පොලිසියෙන් සැඟවී සිටීමේ හැකියාවත් ඒ අයට හොඳට තියනවා.

මේ අය හොයාගෙන තැනකට ගන්නවා නම් ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ රන් රිදී, ලෝකඩ කියන පදක්කම් 3 ම අපේ රටට ගන්න පුලුවන්.  අනික ජාතික හා ජාත්‍යන්තර පුහුණුකරුවන් විදිහට උනත් මේ අය සහභාගී කර ගන්න පුලුවන්නම් හොඳ වෙඩික්කාරයෝ බිහි වෙයි.

පැරණි කියමනකුත් තියනවානේ (කැලේ පිපුණු මල් කැලේට ම පර වෙන්න දෙන්න හොඳ නෑ) කියලා. ඒකයි මං කියුවේ. අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෙ නේද? 

මං මේ ලියන්න පැය කීපයකට කලිනුත් අකුරැසසේ දී තවත් වෙඩි තැබීමක් වෙලා තියනවා. බලන්න අපේ රටේ තියන මාණව සම්පත් කොයිතරම් වටිනවාද? ඒවායින් ප්‍රයෝජනයක් ගන්න තාම සූදානමක් නෑනේ.


Monday, March 28, 2016

යායේ පිපුනු නෙලුම් සුවඳ






මේ දවස්වල බ්ලොග් කියවන අයට කියවන්න වෙන්නේ නෙලුම් යාය ගැන තමා. තවම උනුසුම රැඳුනු නෙලුම් යාය සම්මාන උළෙල ගැන එක එක අය තමන්ගේ ක්‍රමය ට, තමන්ගේ නිර්මාණෂීලී බව පෙන්වමින් සටහනක් තියන්න අමතක කරන්නේ නෑ. ඒ අතර තමන්ට ලැබුනු සම්මානෙ ගැන කියන්නත්, ඒ වෙනුවෙන් කෘතගුන දැක්වීමක් වශයෙන් ස්තූති කරන්නත් හැම කෙනාම අමතක කරලා නෑ. ‘‘සම්මාන ලැබුනත් නැතත් බොහෝ අය හමුවී නිදහසේ කතා කරන්න, ටිකක් විනෝද වෙන්න ලැබීම ගැනනම් ඉතින් බොහොම සතුටුයි.‘‘ මේ මගේ විතරක් නෙවෙයි එදා හිටපු හැමෝගෙම වගේ අදහස මෙය විය යුතුයි.

මේ අතරේ නෙලුම් යාය සම්මාන උත්සවයේ තිබුනු දේෂනය ගැන කට්ටිය එහෙන් මෙහෙන් කතා වෙනවත් ඇහුනා. මම හිතුවා නෙලුම්යාය ගැන මොකුත්ම නොකියා එදා තිබුනු ප්‍රධාන සංවාදය ඔබට ඉදිරිපත් කරන්න. මා මුලින් සිතා සිටියේ මෙය යතුරු ලියනය කර මෙහි පල කිරීම වුවත් ඒ අදහස අතහරින්න වුනේ තරමක් ධීර්ග බව දැනුනු නිසයි. ඒ නිසා මගේ පටිගතකිරීම් යන්ත්‍රයේ සටහන් වුනු සාකච්ඡාව ඒ විදිහට ම ඔබට අහන්න දෙන්න තීරනය කලා. මෙය එදා එන්න බැරි වුනු බ්ලොග් කියවන, ලියන හැමෝටම වැදගත් වේවි.

මේ හඬ පිටපතක් පමනයි. වීඩියෝ පිටපත් ගැනනම් මගෙන් අහන්නෙපා. අර කමිය, නෙලුම් අජිය එහෙම ඉන්නෙ ඒ අයගෙන්ම අහන්ඩලා. මේ ඒ සාකච්ඡාවේ සංස්කරනය නොකල පිටපතක්. එදා හිටපු අයටත් මේ විදිහටනෙ අහන්න ලැබුනෙ.

73MB විතර ලොකු ප්‍රමානයක් තිබීම ගැනනම් මට දොස් කියල වැඩක් නෑ. අර ඉවානය තමා ඒකට වගකියන්න ඕනේ.

හරි එහෙනම් මෙන්න ලිංක් එක.
වෙන පෝස්ට් එකකින් එනකල් මේක අහල තියාගන්නකො එහෙනම්.

ප/ලි.
එදා නෙලුම් යායේ සාර්තකත්වය පිටුපස සිටි සැමට මගේ ප්‍රනාමය. ඒ වගේම සම්මාන ලැබූ සියලු බ්ලොග්කරුවන්ට මගේ උනුසුම් සුභ පැතුම්!

Tuesday, March 22, 2016

කෙලෙහි ගුණ නො දන්නා මිනිසුන් අතරේ සිටින කෙලෙහි ගුණ දන්නා සතුන්



අපි දන්නවා බුදුන් වහන්සේගේ චරිත ලක්ෂණ ගැන කතා කරනකොට බුදුන් වහන්සේ තමන්ට බුදු වීමට උපකාර කළ වෘක්ෂයට පවා කෙලෙහි ගුණ දැක්වූවා කියලා. ඒ වගේම කෙලෙහි ගුණ දැක්වීම උතුම් මිනිස් ගතියක් විදිහටත් දක්වලා තියනවා. පුරාණ මිනිසුන් අතර නම් කෙලෙහි  ගුණ දැක්වීම සාමාන්‍ය දෙයක් වගේම ඔව්න් තමන් ජීවත් වෙන පරිසරයට පවා කෙලෙහි ගුණ දැක්වුවා කියලා ඔබත් අහලා ඇති. නමුත් දැන් දැන් වෙනකොට මිනිසුන්ගේ මේ උතුම් ගුණාන්ග අනික් හැම දේම වගේ වියැකී යනවා කියන එකයි බොහෝදෙනා කියන්නේ. මිනිසුන්ට වඩා සතුන් ලඟ කෙලෙහි ගුණ දැක්වීම තියනවා කියලා අපි කටවහරටත් කියනවා. ඒකේ ඇත්තක් තියනවා නේද? බල්ලෙක්ට එක වරක් කන්න දුන්නත් ඌට ඒක උගෙ ජීවිතේටම අමතක වෙන්නෙ නෑ. කොතන දැක්කත් වලිගෙ වනනවා. සමහර වෙලාවට අහලා ඇති (ඌට උදව් කළාට වඩා හොඳයි බල්ලෙක්ට කන්න දුන්නනන්ම්. ඌ වලිගෙ හරි වනයි.) කියලා සමහර අය කියනවා.
මීට සමාන මීටත් වඩා වෙනස් දෙයක් මට අහන්න ලැබුනා. ඒ කතාව මේකයි.
ග්‍රීසියේ වෙරළබඩ ප්‍රදේශයක ඉන්නවා ජොවාබෝ කියලා වයස අවුරුදු 70 කටත් වඩා වයස් ගත මිනිසෙක්. ජොවාබෝ 2011 වසරේ දවසක වෙරළේ ඇවිදිනකොට දැක්කා බොර තෙල් නැවක් අනතුරට ලක්වෙලා මුහුදුකරේම විනාෂ වෙලා තියනවා. ඒත් එක්කම එයා දැක්කා ගල්පර අතර හිරවෙලා තෙල් වලින් නෑවිලා ඉන්න පුංචි පෙන්ගුයින් පැටියෙක්. බොර තෙල් වල විශට මේ සතාට මරණාසන්නවෙලයි හිටියේ. ඉතින් ජොවාබෝ මේ සතා ගෙදර අරන් ගිහින් තෙල් සෝදලා එයාට බෙහෙත් කළා. කෑම කැව්වා. පෙන්ගුයින්ට හොඳට ම හොඳ වෙනකල් ජොවාබෝ කෑම කවලා බේත්හේත් කළා. අන්තිමට පෙන්ගුයින්ට තමාගේ වාසස්ථානයට යන්න පුලුවන් දවස එනකොට එයාව යවන්න තීරණය කළත් ජොවාබෝන්ට ගොඩක් දුකහිතිලා. එත් පෙන්ගුයින්ගේ නිදහස් ජීවිතය තියෙන්නේ ඌට පුරුදු පරිසරේ කියලා අවබෝධ කර ගත්ත ජොවාබෝන් ඌව යැව්වා. ජොවාබෝන් කියන්නේ මහ සාගරේ පෙන්ගුයින් ඈතට ඈතට පීනලා යනකොට එයාගේ දරුවෙක් එයාගෙන් ඈත් උනා වගේ හැඟීමක් දැනුනා කියලා.
ජොවාබෝන් හිතුවේ පෙන්ගුයින් ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කියලාලු. ඔයාලාත් එහෙම හිතන්න ඇති. ඒත් ඒක එහෙම උනේ නෑ. තමාගේ ජීවිතය බේරගත්ත ඒ උතුම් මිනිසා මේ තිරිසන් සතාට කවදාවත් අමතක වෙලා නෑ.ඊට පස්සේ අවුරුද්දේ පෙන්ගුයින් ජොවාබෝන් බලන්න ඇවිත්. ඔහු කියන්නේ ඊට පස්සෙ හැම අවුරුද්දකම පෙන්ගුයින් තාමත් ජොවාබෝන් බලන්න එනවා කියලා. ඔහු විශ්වාස කරන්නේ ඉදිරියටත් මේ පෙන්ගුයින් ඒවි කියලා.
ජොවාබෝන් කියන්නේ සතෙකු වුවත් ඌ ලඟ උතුම් ගති පැවතුම් තියනවා කියලා. ඒ වගේම මේ ලෝකේ හැම කෙනෙක්ම ජීවත් කරවන බැදීමක් ඇති කරවන ආදරය අන්ඥ අවබෝධය මේ සත්වයාට හොඳින් දැනිලා තියනවා කියලා. ඒ කතාවේ සත්‍යක් තියනවා නේද?
මං මේක දැක්කේ ටීවී එකේ විදෙස් පුවත් අතරේ. ඇත්තටම මේ සත්වයා කොයි තරම් උතුම් ගුණ සහිත සත්වයෙක් ද? මිනිසුන්ට උනත් ආදර්ශයක්. අදමිනිසුන් අතර උනත් මේ ගුනධර්ම දකින්න නෑ. ඒ වගේ ලෝකෙක මේ වගේ සිද්ධි ගොඩක් විශේෂයි. 
දරුවන් රැක බලා ගන්නා දෙමව්පියන්ට අද දරුවන් තමන් ප්‍රති උපකාර කරන ආකාර අපි දැකලා තියනවා. බළු කූඩුවල දාලා, කන්නබොන්න නො දී ප්‍රති උපකාර කරන සමාජයක මේ සතුන් අර වගේ මිනිසුන්ටත් වඩා ශිෂ්ඨයි, බුද්ධිමත් කියලයි මම හිතන්නේ. කෙනෙකුට අපි උදව් කරලා අපි ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම ප්‍රති උපකාර බලාගෙන උපකාර කරන එක තේරුමකුත් නෑ. ඒත් නියම මිනිස් ගතිය වන්නේ මිනිස්කම් රැකීම ය. සතුන්ටත් මේ වගේ කෙලෙහි ගුණ දක්වන්න පුලුවන්නම් මිනිසුන් විදිහට අපි අපේ යුතුකම් මිනිස් ගුණ ධර්ම අමතක කරන එක මොනතරම් (සරලව) කැතද?



Wednesday, March 16, 2016

ඉර බැස යන හැන්දෑවක, වැව් දිය මත හාදු තියන්න!


මීට මාස කිහිපයක ට පෙර මට සරසවියේ සිසුවෙකු විසින් ගීතයක ට යැයි කියාගත් වචන ටිකක් පෙන්නුවා. නමුත් ඒ වෙලාවේ මා වෙනත් වැඩක යෙදී සිටි නිසා එය උඩින් පල්ලෙන් කියවා හොඳ නිර්මානයක් බව කියා සිටි නමුත් ඔහු එතනින් නැවතුනේ නෑ. මෙන්න තවත් ටික දවසකින් ඒ වචන ටික ට තනුවක් දාගෙන ආවා. ගයිඩ් එකකුත් එක්ක. ඒ වෙලාවේ මා එය හොඳින් අසා බැලුවා. තනුව යම් හුරු පුරුදු, සමීප බවක් දැනුනා. මෙන්න තවත් ටික දවසකින් සංයුක්ත තැටියක් මා අත තැබූ ඔහු මෙන්න මේක අහලා හොඳ නරක කියන්න කීවා. මා ඒ ගැන ඔහුට ඒ මොහොතේම කීවා. ඒ වෙනකොටත් මා නොදැන හිටි දෙයක් වුනේ මේ ගීතයේ සංගීත නිර්මාණ ෂිල්පියා ගැනයි. මා ඒ ගැන විමසුවා. ලැබුනු පිලිතුර මගේ සතුට ට හේතු වුනා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. මේ නිර්මාණ කරු මගේ සාමාන්‍ය පෙල සංගීත ගුරු තුමා නිසා.

නමින් අමිල ඉන්ද්‍රජිත් නම් ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාදිධරයෙක්. සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්. බොහෝ වාද්‍ය භාන්ඩ වාදනය සහ ඕනෑම ගායන ශයිලියක් ගැලපෙන ඔහු විසින් කළ ප්‍රතම නිර්මාණය මෙය නොවෙයි.

මේ ගීතයේ ගායන ෂිල්පිනියගෙත් ප්‍රතම ගීතය මෙය නොවුනත් ඇයගේ ගීත අතරින් මා සිත් ගත් ගීතය මෙයයි. මේ ගීතයේ ගී පද ලියූ වරුනගේ පෙම්වතිය වන සනාලි සේනානායක විසින් මෙම ගීතය ගයා තිබෙන්නේ.

ගීපද වරුන කපිල ජයසුන්දරගෙන්. ඔහු ගැන යමක් නොකියා මේ ගීතය ගැන ඔහු විසින්ම ලියූ සටහනක් ඉදිරිපත් කරන්නම්.


“මෙම ගීතය ලිවීම ට ප්‍රධානතම හේතුව වූයේ ගීත ලිවීමේ ආසාවයි. වැව් දිය යනුවෙන් මෙම ගීතය ගැමි ආරකින් ලිවීමට හේතුව වූයේ ගැමි පරිසරය ට මගේ ඇති ආසාවයි.ගැමි යුවතියක් තමාට තරුණයෙකුගේ ආදරය ලැබීමේ ප්‍රහර්ෂය මෙම ගීතයෙන් උත්කර්ෂයට නැගීම ට මා යම් උත්සහයක් ගතිමි.වර්තමානයේ බිහිවෙමින් පවතින හරසුන් ගීතය ට යම් පිලිතුරක් දීමට මා මෙයින් උත්සහ ගත්තෙමි. එය යම් දුරකට හෝ සාර්තක වූයේ යැයි මා සිතමි. අප රටේ සිටිනා දැවැන්ත කලාකරුවන් ඉදිරියේ මා දූවිල්ලක් බඳුයැයි මට සිතේ. මා සිතේ එක් වරම උපන් මෙම ගී පද දුරකතනයේ sms එකක් ලෙස ලියා මගේ පෙම්වතිය ට යැවුවෙමි. ඇය ද එය ට කැමති විය. ඇයගේ හඬින් ම ගායනා කරවීමට මා කටයුතු කලෙමි. මෙම ගී පද සංගීතයෙන් හැඩ කලේ අමිල ඉන්ද්‍රජිත් නම් අති දක්ෂ සංගීතවේදියා විසිනි. ඔහුද මෙම ගීතයට ගැමි ආරක් සහිත තනුවක් අප හට නිර්මානය කර දුන්නේය. වර්තමානයේ නිර්මානය වන ගීත වලට වඩා මෙම ගීතය යම් වෙනසකින් නිර්මානය කිරීමට අප කටයුතු කලෙමු. ගීතයක යම්කිසි හෝ සාහිත්‍යමය රසයක් තිබිය යුතුයැයි මට සිතේ. අතොරක් නැතුව බිහිවන ගීත කලාවක ට වඩා ඉදහිට හෝ යම් හොඳ නිර්මානයක් ඉදිරිපත් කිරීම වඩා යහපත් යැයි මා සිතමි. මෙම ගීතය ඔබටත් රස විඳිය හැකි වනු ඇතැයි මම සිතමි.