Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Wednesday, May 2, 2018

පොඩි පැටවුන්ට කතන්දරයක් කියවමුද


අපේ බ්ලොග් අඩවිය කියවන ඔබ තමුන්නාන්සේලා දන්නවානේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පොත් කියවන ආකාරය... හදිසියේවත් අදම මේ පැත්තෙ ආව, නොදන්න කෙනෙක් හිටියොත් නිසා ඒකත් පැහැදිලි කර ගෙනම කතාවට බහින්නම්කෝ.
සාමාන්‍ය ඔබ කියවන පොතක් දෘෂ්‍යාබාධිත අපට කියවීම අපහසු නිසා අද වන විට බොහෝ දුරට ඕඩියෝ තාක්ෂණයට පොත් නිර්මාණය කරනවා. Mystudiop c කියන සොෆ්ටෙයා එකෙන් තමයි අපි පොත් රෙකෝඩ් කරන්නේ... ඊට පස්සේ අඩුපාඩු හදලා m p3 ෆයිල් එකක් විදිහට හදලා දෘෂ්‍යාබාධිත අයට කියවන්න ලබා දෙනවා.. ඇත්තටම පොතක් කියන්නේ දෘෂ්‍යාබාධිත කෙනෙක්ට ඇසක්... ඒ නිසාම අපේ අය පොත්වලට හරිම ආදරෙයි.... හරිම ලෝබයි...
ඉතින් දැනට ලියවී ඇති පොත්පත් ගත්තහම බොහෝම සුලු ප්‍රමානයක් තමයි ඕඩියෝ තාක්ෂණයට නිශ්පාදනය වෙලා තියෙන්නේ.. එතකොට ඔයාලාට හිතාගන්න පුලුවන් ඇති අපිට කියවන්න තියෙන්නේ කොයිතරම් සුලු පොත් ප්‍රමානයක්ද කියලා.
මේ තත්ත්වය දෘෂ්‍යාබාධිත පුංචි ළමයිට තවත් වැඩී. පුංචි පුංචි ළමයිට අද ලස්සන පින්තූර දැම්ම පොත් කොච්චර වෙළඳ පොලේ මිලට ගන්න තියනවාද? ඒත් දෘෂ්‍යාබාධිත ළමුන්ට ඒ පොත් රසවිදීමේ ගැටලු රැසක් තියනවා.... සමහරක් පුංචි ළමයි ඉන්නේ විශේෂ පාසැල්වල. එතකොට එයාලටපොත් පරිශීලනය වෙන්නෙ නැහැ... එහෙමත් නැත්නම් සමහර දෘෂ්‍යාබාධිත දරුවන්ගේ දෙමාපියන් ද දෘෂ්‍යාබාධිත අවස්ථා තියනවා... එතකොට කොහොමත් පොත් කියවීමේ ගැටලුව ඇති වෙනවා... දෙමාපියන් එක්ක ජීවත් වෙන පුංචි ළමයින්ට මේ ගැටලුව අවම වෙන්න පුලුවන්.... ඒත් අනාබාධිත ළමයෙක් කියවන තරම් කියවන්න ඔවුනට ලැබෙන්නෙ නෑ...
ඔයාලා පුංචි කාලේ කියවන්න ඇති හත්පන, හීන්සැරේ, මගුල් කෑම, වගේ පොත්... ඒත් ඒ පොත් අපිට කියවන්න ලැබුනේ මේ ළඟදි.... එතකොට මේ ගැටලුවේ ප්‍රමාණය ඔබට තේරෙනවා ඇති නේද?
අපි අලුතෙන් පුංචි වැඩක් පටන්ගත්තා... ඒ තමයි පුංචි ළමයින්ටම විශේෂවණු පොත් ඕඩියෝ කරන්න... මොකද තරුණ වයසේ ඉදලා වැඩිහිටි පිරිසට අවශ්‍ය නවකතා, කෙටි කතා, කවි හා අද්‍යාපනික කෘති කිහිප දෙනෙකුම ඕඩියෝ කරනවා... නමුත් කුඩා ළමයින්ටම විශේෂ වූ අවශ්‍ය වූ කෘති කිසිම කෙනෙක් දැනට කරන්නේ නෑ... ඒ විදිහට පොත් කිහිපයක් ජානකී සූරියආරච්චි ලේකිකාව ඕඩියෝ කරලා තියනවා නම් දැක්කා... ඒක ඉතාම වටින වැඩක්...
ඔයාලත් කැමති නම් අපේ පුංචි පැටවුන්ට පොත් කියවන්න, එකතු වෙන්න... මේ පොත් ඕඩියෝ කරලා ඒ කතාවට අදාල විදිහට සංගීතය, ශබ්ධ එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා... හරියට ගුවන්විදුලි නාට්‍යක් වගේ... එතකොට පුංචි අයට ගොඩක් රසවත් වෙනවා... ඒ සංගීතය, ශබ්ධ එකතු කරන එක අපේ වැඩක්...
අපේ ඉලක්කය තියෙන්නේ ඒ විදිහට සිංහල, දෙමල ළමා පොත් කරන්න... අවශ්‍ය පොත්පත් අපිට වර්ශ, සිත්තමී අක්ක ලබා දුන්නා... වර්ශ හඬ දායකත්වයත් ලබා දෙනවා... නමුත් හඬ දායකත්වය ලබා දීමට තවත් එකතු වෙනවනම් අපිට ඒක ලොකු හයියක්... මොකද ළමා පොත් ඕඩියෝ තාක්ෂණයට නිර්මාණය වී නැත්තටම නැති තත්ත්වයක් තියන නිසා ලොකු පිරිසක් එකත උනොත් වැඩි පොත් ප්‍රමාණයකට යන්න පුලුවන්... ඒ වගේම දෙමල භාෂාව කියවීමේ හැකියාව ඇති අය තාමත් අපට හමුවුනේ නෑ... ඒ නිසා සිංහල හෝ දෙමල භාෂාවෙන් ලමා පොත් කියවීමට කැමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න. මේක ලොකු සමාජ සත්කාරයක් වේවි....

Monday, March 27, 2017

නෙලුම් යායට ගියෙමි, සුවඳ වින්දෙමි




නිර්මානිගේ සටහන
පහුගිය අවුරුද්ද වෙනකල් මං කලේ කොළඹ ගමය, තිලකසිත, අටම්පහුර එතකොට තව එක එක බ්ලොග් කියවන එක විතරයි.. පහුගිය අවුරුද්දේ මාර්තු 22 තමා පළවෙනි බ්ලොග් ලිපිය ලිවුවෙ.. ඔන්න එක අර අහසෙන් එන්න බ්ලොග් එකේ පලකර ගත්ත කියමුකෝ.. මගෙ ලිපියකට පළමු කොමෙන්ට් එක දාලා තිබුනේ මෙන්ඩ... ඒක අමතක කරල බෑනෙ.. එතනින් පස්සෙ දිගටම ලියුව... අන්තිමට කොමෙන්ට් දාන අය ඇහුවෙ කලින් ලියපු හාදයා කෝ කියලයි.. කොහොම උනත් අපි සහයෝගයෙන් බ්ලොග් එකේ ලියාගෙන ගියා කියමුකෝ.... නෙලුම් යාය සම්මාන උලෙළට නිර්දේශ තෝරණකොට ඒ අතරේ මගෙ නිර්මාණ තියනවා දකිනකොට මට පුදුම හිතුනා...
අන්තිමට විසි පහ දාට වෝටර්සෙජ් යන්න තීරනේ කළා... බත්තරමුල්ලට ගිහින් තරු අක්කට කතා කළා ඇවිත්ද ඉන්නේ නැත්නම් අපිට ඇතුලට යන්න කවුරුහරි එවන්න පුලුවන්ද අහන්නත් එක්ක... තරු අක්කා විසිරි අක්ක එවන්නම් කියුව නිසා අපි ගිහින් බැස්සා.. විසිරි අක්කට කියන්න ලැබුනෙ නෑ... වෙන අක්ක කෙනෙක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගිහින් පුටුවල වාඩි කලා.. ඔන්න ඉස් ඉස්සෙල්ලාම අජිත් අයියා හම්බෙලා කතා කරලා ගියා.. ඊට පස්සේ කමි අයියා ඇවිත් අපිට ස්ථාන මාරුවීමක් ලබා දුන්නා.. එතකොට තමයි කැලේ පිපුණු මල් ලියන වත්සලා අක්ක හම්බුනේ.. එයා දකිනකොටම මතක් උනේ සාලාවෙ පිපිරීම.. ඊට පස්සෙ යාංහෑල්ල ලියන සුරංග... එතනදි අපි අපේ තුන්දෙනාගෙ වයස ගැන සංවාදෙකුත් ගියා.. ආ ඊට පස්සෙ තමයි වැදගත්ම අවස්ථාව.. මං නෙලුම් යායට යන්න ප්‍රධානම හේතුව උන ප්‍රාජේව හමුවීම සිද්ධ උනේ.. ඒත් මට ප්‍රාජේ එක්ක හරියට කතා කර ගන්න බැරි උනා.. ගනුදෙනුව බේරගන්න බැරි උනා අපරාදෙ...
එයින් පස්සේ හැමෝම වගේ ඇවිත් කතා කළා.. නෙලුම් යායට යන්න කලින් හඳුනගෙන හිටියේ සිතු, තරු අක්කා විතරයි.. දැන් බොහෝ දෙනෙකුව මතකයි... කැලෑ මල්, යාංහෑල්ල, ඉයන්, ඉවාන්, සොභාරූ, මහේශ්, තිලකසිත, අජිත් අයියා, කමී, රොහාන්, ප්‍රාජෙ, මෙන්ඩ, රන්දිකා අක්ක, නලීන් අයිය, මං එරන්දි, කවි දුමී, සජ්ජ, සුදීක, දමිත්, සිත්තමී අක්ක, වැවා අයිය,  තව තව කස්ටිය හම්බුනා.. අටම අයියා අපිට එන්න කියපු අටම අයිය ඇවිත් හිටියෙ නෑනෙ ඉතින්...
රෝහාන් මල්ලි ඇවිත් කතා කලාම පුදුම හිතුනා.. ඇත්තටම මං මීට කලින් හිතාගෙන හිටියේ ටෙක් සයුර ලියන්නේ වයස 40ක විතර කෙනෙක් කියලයි...
විශේෂංග ගැන කියුවොත් අපි මචන්ල නම් මරු කියල වැඩක් නෑ.. සජීවීව රස වින්දනය ලබා ගැනීමට පුලුවන් වෙච්ච එකම ලොකු දෙය... ජනා ප්‍රියාත් නරකම නෑ... අමුත්තන්ගේ කතා වලින් මැතිවරණ කොමසාරිස්තුමාගෙ කතාව, කතානායක තුමාගේ කතා හරවත්... රාජිත සේනාරත්නගේ කට හඬ අකැමැතිම හඬක්.. ඒ නිසා ඒ වෙලාවේ ඒ කිසිම දෙයක් අහගෙන හිටියෙ නෑ...
කෑම කන වෙලාවෙ දේවල් වත්සලා අක්ක ලියුවනේ.. ඒව ඉතින් අයෙ කියන්න ඕනෙ නෑ... මේ වෙලාවේ වත්සලා අක්කටත්, තරු අක්කටත්, කමි අයියටත් ස්තුති කරන්න ඕනෙ.. ඒ තුන්දෙනාම වේදිකාවට යන්න මට ඒ මොහොතේ උදවු කළා... අහසෙන් එන්න බ්ලොග් අඩවිය මේ තැනට ගෙනාවේ අපිත් එක්ක හිටපු ඔයාලා.. අපේ බ්ලොග් ලිපි වලට කොමෙන්ට් කරමින් අපිව දිරිමත් කළ ඔබ හැමටත්, අඩුලුහුඬුකම් පෙන්වූ සියලු දෙනාටත් ස්තුතී.. ඒ මග පෙන්වීම, දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා...
අපි බොහොම ප්‍රිය කරන බ්ලොග් අඩවියක් තමයි නිදහස් සිතුවිලි. හොඳම බ්ලොග් එක විදිහට සම්මාන ලැබීම ගැන සතුටුයි.. රවී අයියට සුභ පතනවා.. ඒ වගේම යාංහෑල්ලටත් උණුසුම් සුභ පැතුම්.. සියලු සම්මානලාබීන්ට සුභ පැතුම්... නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුති කරනවා.. ඒ වගේම සුභපතනවා...

කසුන්ගේ සටහන
නිර්මාණිගේ සටහනට යමක් එකතු කරන්නෙමි. අහසෙන් එන්න බ්ලොගය ඇරඹී දැනට එක් වසරකුත් මාස අටකුත් ගෙවී ඇත්තේය. ඒ අතරතුර මේ තැනට අප ඔසවා තැබීමට කියවන, කොමෙන්ට් කරන ඔබ සැමගෙන් ලැබුනු සහයෝගය අමතක නැත. කියවන්නෙකු ලෙස වසර තුනක් පමන රැඳී සිටි මට බ්ලොග් ලිවීමේ ආසාව එදවස සිට නොතිබුනාම නොවේ. එහෙත් යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ලියන්නේ 2015 07 16 වැනිදා පමන සිට ය. නෙලුම් යාය සම්මානයට ලක්වන්නට සුදුසුකම් ලැබීම ගැන යම් සතුටක් තිබුනද ඒ ගැන බලාපොරොත්තුවක් නොතිබුනි.
ඒ කොහොම වෙතත් අපට (නිර්මානිගේ නවකතාවට සහ ලිපියකට) නෙලුම් යාය සම්මාන හිමි වීම ගැන නම් සතුටු ය. ඒ වෙනුවෙන් ඔබ සැමට ස්තූතියි.
එදා දිනය ගැන ලියනවානම් විශේෂ ම ස්තුතිය ලැබිය යුත්තා වන්නේ කැලේ පිපුනු මල් ලියන වත්සලා අක්කායි. වැඩසටහන අතරතුර වේදිකාවේ සිදුවන දෑ ගැන අපෙන් යොමු වූ අටෝරාසියක් ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ බොහොම ඉවසීමෙනි. ඒ විතරක්නම් මදිය. ඇය විටින් විට තුන් හතර සැරයක්ම කැමරා කාචයන්ගෙන් බේරී එලියටත් ඇතුලටත් දුවමින් අපට කන්නටත් බොන්නටත් ගෙනවිත් දී ඒ සියලු පිඟන් කෝප්ප යලි ගෙනවිත් තැබීමට තරම් කාරුනික වූවාය. ඒ සියලු දේ වෙනුවෙන් ඔබටත් ස්තූතී. එතනට එක්ක ඇවිත් ඇය හඳුන්වා දුන් කමි අයියාටත් බොහොම ස්තූතී. එපමනක් නොව දිනය තුල කිසිඳු අඩුවක් නොදැනෙන්නට සහය දුන් අය මතක් නොකර බැරිය. වැවා අයියාටත් පසුගිය නෙලුම්යායේ මෙන් බ්ලුක්ස් තේරීමට පැමිනි සජ්ජාටත් දැන් මතකයේ නැතත් අනෙකුත් සියලු දෙනාටත් සහයෝගය දැක්වීම වෙනුවෙන් ද ස්තූතිවන්ත වෙමු.ඒ අතරේ හමු වූ, නිර්මානි නම් වශයෙන් මතක් කර  සහ නොකල සැමට ස්තූතිය සහ සියලු ජයග්‍රාහකයින්ට අපේ උනුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු..
 අවසානයේදී තවත් කාරනයක් කිව යුතු ය. ඒ ආරම්බයේ සිට අවසානය දක්වා ම පිරිස ශාලාවේ රඳවා ගැනීමට අසමත් වීමේ කනගාටුව ගැනයි. එය එසේ වූයේ සමහරවිට රෑ බෝවීම නිසා ද වන්නට ඇතිය. නමුත් ඉන් අවසාන සම්මානලාබීන් කිහිපදෙනාට සහ නාට්‍ය කන්ඩායමට යම් අසාදාරනයක් වූ බව මගේ හැඟීමයි. ඊට අමතරව යම් තාක්ශනික දුර්වලතාවක් හෝ අතපසු වීමක් නිසා හෝ සම්මාන සඳහා නිර්දේශිත නම් ප්‍රදර්ශනය පමා විය. සමහර තරඟ අන්ශ සඳහා එවැනි නිර්දේශ වූ බ්ලොග් සම්මාන ප්‍රදාන අවස්තාවේ ප්‍රදර්ශනය නොවුනු බවද දැනගන්නට ලැබිනි. එකී සුලු දෝශයන් නිවැරදිව සිදු වූවානම් තවත් ලස්සන වන්නට ඉඩ තිබුනා යැයි සිතේ.
ඊලඟ කාරනය නම් නිවේදක උන්නැහැලා පිස්සෙක්ව සේනක බිබිලේ නමින් නම් කිරීමයි. ඉන් සේනක බිබිලේ මහතාටත් අපහාසයක් සිදුවූ බව අප තරයේ විශ්වාස කරමු. අව්ශද ප්‍රතිපත්තියක් වෙනුවෙන් සේනක බිබිලේ කරපු හරියෙන් 1% හෝ මේ ගොබිලා නොකල බව අප සැම විශ්වාසයයි. එසේ හැඳින්වූයේ නිවේදකයන්ට හෝ නෙලුම් යායේ අයට උන්නැහැගේ උන බෝවී උන විකාරයෙන් විය යුතු ය.

Wednesday, July 27, 2016

මෙයාව දන්නවා ද?




වෙනදා වගේ නෙවෙයි. අද මං ආවෙ වෙනදා අටම කරන වැඩේ කරන්න කියල හිතාගෙන.

අපේ බ්ලොග් කියවන උන්ට වැඩිය අහු නොවිච්ච අපූරු පරිවර්තිකාවක් ඉන්නවා. ඇය බොහොම රසවත් නිර්මාන තමා පරිවර්තනය ට තෝරා ගන්නෙත්. ඒ වගේම ඇයගේ පරිවර්තන ෂයිලියටත් මම බොහොම ආසා කරන නිසා, ඔබත් කැමති වෙයි කියල හිතුනු නිසා මේ සටහන දාන්න හිතුනා. කතා විතරක් නෙවෙයි. ඇය මුල්ම නිර්මාණය විදිහට තෝරාගෙන ියෙන්නේත් කවියක්. එතන ඉඳලා කවි, කතන්දර, දැනුම සමග විනෝදයත් මේ බ්ලොගය හරා බෙදා හැර තිබෙනවා.

මෙන්න මේ කතා දෙක තමා ඇය මෑත කාලෙදි අපිට දුන්නෙ.

ඉතිරිව තිබූ සියලූම ශක්තිය යොදා මැගී ඔරුව නිවස අසළට ගෙන ආවාය. පළමුව ඇයට කිසිඳු හඬක් ඇසුණේ නැත: කිසිවක් සෙලවෙන බවක් දුටුවේ නැත. ඔරුව උඩු මහළේ කවුළුවක් වෙත ආසන්නව තිබුණි. ඇය හැකි උපරිම හඬින් කෑ ගැසුවාය, "අයියේ! අම්මේ! ඔයාලා කොහෙද? මම මැගී!"

ඉක්මණින්ම අට්ටාලයේ කවුළුව විවර වූ අතර ටොම්ගේ කටහඬ ඇසුණි. "කවුද ඔය? ඔරුවක් තියෙනවද?"

"මේ මම අයියේ - මැගී. අම්මා කෝ?"

"අම්මා මෙහෙ නෑ ගැරම් වලට ගියා පෙරේදා. මං එන්නං පල්ලෙහා ජනේලේ ලඟට."

"මැගී, තනියම?" ඔරුව වූ මට්ටමේ වූ කවුළුව විවර කළ ටොම් ඉමහත් පුදුමයෙන් කීවේය.

"ඔව් අයියේ. නගින්න ඉක්මණට. තව කවුරුවත් ඉන්නවද?" ටොම් ඔරුවට නගින අතරේ මැගී ඇසුවාය.

"නෑ," ටොම් කීවේය. "මෝලෙන් කොටසක් කඩන් වැටිච්ච වෙලාවේ මෝලේ හිටපු කෙනා වතුරට අහු වෙන්න ඇති මං හිතන්නේ. මං කතා කළා, කතා කළා, උත්තරයක් නෑ. හබල් මට දෙන්න මැගී." ටොම් ශක්තිමත් දෑතින් ඔරුව හැසිරුවේය. එය යළිත් ඉක්මණින්ම ගංගාවේ දිය වැල සමග එකතු වූ අතර නොපමාව ඔවුන්ට යළිත් ශාන්ත ඔග්ස් බලා යා හැකි වනු ඇත. නමුත් ඔවුන් වෙත ගංගාව ඔස්සේ අළුත් අනතුරක් ලඟා වෙමින් තිබුණි. ගං වතුරට හසු වූ ගබඩාවකින් දිය වැලට එකතු වූ විශාල ලී කොටන් පෙළක් ගංගාව ඔස්සේ පා වී එමින් තිබුණි. ජලයෙන් යට වූ කුඹුරු මත ඔරුවක නැගී සිටි මිනිසුන් කිහිප දෙනෙක් අනතුර දැක "ඔරුව දිය වැලෙන් අහකට ගන්න!" යැයි කෑ ගසා ටොම්ට පැවසූහ.

නමුත් එය එක් වරම සිදු කළ හැකි දෙයක් නොවීය. ඉදිරියට නෙත් යොමු කළ ටොම් ඔවුන් වෙත වේගයෙන් ලඟා වෙමින් තිබූ මරණය දුටුවේය. විශාල ලී කොටන් එකිනෙක ගැටී දිය පහර හරහට විශාල බාධකයක් ලෙසින් වේගයෙන් ඉදිරියට ඇදී එමින් තිබුණි.

"ඒක එනවා, මැගී!" යැයි ගැඹුරු ගොරහැඬි හඬකින් කෑ ගැසූ ටොම් හබල් අත් හැර මැගීව තුරුළු කරගත්තේය.

ඊලඟ මොහොතේ ඔවුන්ගේ ඔරුව ජල තලය මත පෙනෙන්නට නොවීය - විශාල බාධකය පමණක් ජයග‍්‍රාහී ලීලාවෙන් නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණ.

ඔරුවේ පතුල යළිත් මතු වී උදා හිරු එළියෙන් රන් වන් පැහැ ගත් ජල තලය මත කළු ලපයක් සේ දිස් විය - නමුත් සොයුරාත් සොයුරියත් කිසිදා වෙන් නොවන සේ එකට වෙලී ජල කඳ තුළ අතුරුදන්ව ගොස් සිටියෝය.

(පරිවර්තනයකි.)


ඩෙලුරියස් අගනුවර ආසන්න වන තෙක්ම දෙදෙනා අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. ජනාකීර්ණ ප්‍රදේශ වලදී ලීසල්ව ඉදිරියෙන් යවා පරතරයක් ඇතිව පසුපසින් එන්නට ජේම්ස් වග බලා ගත්තේය. අවසානයේ අගනුවර පෙනෙන මානයේදී පළතුරු බීම සලක් අසලදී ලීසල්ව පසුකර ආ ජේම්ස් අසු නතර කොට බිමට බසිනු දුටු ලීසල්ද ඔහුව අනුගමනය කළාය. නිහඬවම වෙළඳ සැල තුළට ගමන් කළ ඔහු ලීසල්ගෙන් කිසිවක් නොවිමසාම මිදි යුෂ පාන වීදුරු දෙකක් ඇණවුම් කොට කෙළවරේ වූ මේසයක් වෙත ගොස් අසුන් ගත්තේය. ලීසල්ද ඔහු පසුපසින් ගොස් ඔහු අසළින් අසුන් ගෙන ඔහු දිගු කළ වීදුරුව අතට ගත්තාය. 

"වැඩි වෙලා මෙතන රැඳෙන්න බෑ..." ජේම්ස් දෙතොල් නොසොල්වා ඇසෙන නෑසෙන හඬින් ඇයට සමීප වී කීවේය.

"මං දන්නවා. ඇයි මෙතන නතර වුනේ?" ලීසල් තම පැනය ඉදිරිපත් කළාය.

"මෙච්චර වෙලා කල්පනා කළත් මට තාම තීරණයක් ගන්න බෑ..." ඔහු සිය බඳුන දෙස නෙත් යොමාගෙනම මිමිණුවේය. ඔහු උවමනාවෙන්ම ඇයව ගෞරවාන්විතව ඇමතීම මග හරින බව ඇයට වැටහුණි. සැබැවින්ම මෙවන් තැනකදී එලෙස අමතනු කිසිවෙකුගේ හෝ කන වැකුණහොත් එය කෙතරම් භයානක වනු ඇත්දැයි ඇය දනියි.

"මොකක් ගැනද?"

ජේම්ස් වඩාත් ඇයට ආසන්න විය. "අපි දෙන්නා අතර මොන වගේ සම්බන්ධයක් තියෙන විදිහටද අපි හැසිරෙන්න ඕනේ?"

ලීසල් ඔහු දෙස බලාගෙන බීම උගුරු කිහිපයක්ම පානය කළාය. "තෝමස් මොකද්ද කිව්වේ?" ඇයද ඔහු තරමටම හඬ පහත් කොට කතා කළාය.

ජේම්ස් නැවතත් රතු වනු ඇය දුටුවාය. "ඒ කියපු එක කරන්න බෑ." ඔහු කීවේය.

"ඇයි ඒ?"

ජේම්ස් නිහඬව හිස සැලුවා පමණි.

"වැඩිය හොඳ කොහොමද?"

"මං දන් නෑ. මට තේරෙන්නෙ නෑ."

"තෝමස් මොකද්ද කිව්වේ කියන්නකෝ."

ජේම්ස් යළිත් හිස දෙපසට වැනුවේය. ලීසල්ට කාරණය වැටහුණි. ඇයද රතු විය. "එයා කිව්වේ අපි දෙන්නට යාළු වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න කියලද? කොල්ලයි කෙල්ලයි වගේ?"

ජේම්ස් වරක් ඈ දෙස බලා ඉවත බලාගත්තේය. "ඊට හපං දෙයක්."

"ඒ කිව්වේ?"

"බැඳපු දෙන්නෙක් වගේ ඉන්න කිව්වා."

ලීසල්ට බීම උගුර ඉස්මොල්ලේ යන්නට ගොස් අමාරුවෙන් වළක්වාගත්තාය. "ඒ මොකද එයා එහෙම එකක් කිව්වේ?"”
(ස්වතන්ත්‍ර නිර්මානයකි)


මේ 2012 ඉඳලා බ්ලොග් ලියන පරන බ්ලොග් රචිකාවක්. ලියන්න පටන්ගත්තම එකදිගට ම ලියාගෙන ගිහින් ටික කාලයක් විවේක අරගෙන එහෙම ආයේ එක දිගට ලියන්නියක් විදිහට මං අඳුරගෙන ඉන්නෙ. ඔබ ම කියවලා හොඳනම් එතන ම කොමෙන්ට් කරන්න.