Wednesday, April 27, 2016

නූතන යශෝදරාවක්

තුරුණු වියේ දඟ දෙන හැඟුමන් යායේ
සොඳුරු පෙමක් පිදුවා නුඹ පෙර දිනයේ.
පවුරු බිඳ දමා ජයගත් ආදරයේ
මියුරු රසක් වින්දා අපි පෙර දිනයේ

මගේ ලොවට නුඹ හිරු ලෙස පෑවූවා
නුඹේ ලොවට මා සඳ බව නුඹ කීවා
අපේ ලොවට අරුන්දතිය එක්වූවා
මගේ ලොවේ හසරැල් මල් සිනාසුනා

සෙනෙහස පිරුණු තැන කඳුලැල් සුසුම් නැතී.
හසකැන් නගන්නට මා සිත ලෝබ නැතී.
මේ හැම දේම අතීතයට උරුම වෙතී
කඳුල සුසුම දැන් මා ලඟ තනි රකිතී.

සිදුහත් කුමරු ගිහි ගේ හැර දමා ගියේ
දුකින් මුදන්නට ලෝ සත ඇතිව සිතේ
නුඹ මේ රැයේ මා හැරපියා ගියේ
මේ සසරේ මා තනි කර හිමි සඳුනේ.

රුව ගුණ කිසිත් මාගේ අඩුවූ වාද
 මාගේ සෙනෙහසේ අඩුවක් වූවාද
හිතේ සතුට පෑල දොරින්  පිට උණිද
 නුඹේ සතුට තව සෙවණක  සැගවුණිද

පහන් කන්ඳ සේ බැබළුණු සොඳුරු විය
 ගිනි කන්ඳක් සේ  දවනා ජීවිතය
හිම කන්ඳක් සේ දිය වී යන අරුම
මන්ද හිමියනේ නුඹ මේ ලෙස අරුම

අව්වෙ තියන රැස් මාලා අඩු වෙන්න
ගව්වෙන් ගව්වදිව මාලිග සෑදෙන්න
කුසුම් කැකුලු මේ ලොව තනි නොකරන්න
 තවත් හදක් මේ ලෙස ඔබ නොපෙලන්න

Sunday, April 24, 2016

අප අතරට පැමිනි දේවතාවිය 1: එක වසරෙන් දවසක්.


උදේම නැගිට්ට. කලින් පෝස්ටුවක කියපු විදිහට පුරුදු දවස පටන් ගත්තා. 7 ට පන්සිල් එහෙම අරගෙන කෑමට ඉඳගත්තා. කන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳලා කිසිම නිදහසක් නෑ. එහෙම කාපං, මෙහෙම කාපං, ඔහොමද කන්නේ, මුන්ට ගෙවල්වලින් මේව කිසිම දෙයක් පුරුදු කරල නෑ. වගේ ඒව කන දෙපැත්තෙන්ම ඇහෙනව. 

“ඒයි මොකද කරන්නෙ කන්නැතුව? කනව ඔක්කොම."

  වගේ ඒව නිතරම ඇහෙනව. බඩගින්න නිසාවත් කන්න ආස නිසාවත් නෙවෙයි බයට ම බත්, පාං නිකංම බඩ ට යනව.

ඔහොම කාල ඉවර උනා කියමුකො. දැන් තව ටිකකින් පන්තිය ට යන්න ඕනෙ. බෙල් එක ගැහුවම ටීචර් එන්නෙ 

“මගෙ ලමයි එන්න"

  කියාගෙන. යන්තං ඇති වගේ කල්පනාවකින් අපි පිනා යනව. ටීචගෙ පස්සෙන් කියව කියව යනව. ඔය අතරේ අපේ දුක් ගැනවිලි ටීචටත් කියනව. 

“හා මං එයාට කියන්නම්කො පැටියො. ඔයා දැං පන්තියට යංකො"

  කියල චාටුවෙන් පන්තියට එක්කං යනව. දවසේ සතුටු ම පැය හතරහමාරක් විතර පටන්ගන්නෙ ඔහොමයි.

ඔය විදිහට පන්තියට යන අපි බොහොම උද්‍යෝගෙන් වැඩ කරනව. මදිපාඩුවට සින්දුවකුත් කියනව. ටීචගේ ආරාධනාවක් නැතුවම මං මගේ ඒ දවස්වල ජනප්‍රිය ම සින්දුව කියනව.


“දෑසේ මල් විලේ
ආෂා රොන් සැලේ"

“මොනවද ලමයො ඔය කියන සින්දු? හා අපි එහෙනම් සින්දුවක් කියමු බලන්න ලමයි."
 
“පුංචි පුංචි තිත් වැටිච්ච පුන්චි මුවෙක් මං
කොල විතරයි කන්නෙ බබෝ අහින්සකයි මං
කාටත් කිසි කරදරයක් කරන්නෙ නෑ මං
අල්ලගන්න එපා බබෝ අම්ම සොයයි මං."
“හා දැන් අපි අකුරු ලියමු නේද ලමයි?" 

“හා ටීච."

  අපි බ්‍රේලට් කියන උපකරනයත් අරගෙන වාඩි වෙලා ටීච කියන විදිහට ලියන්න පටන්ගන්නව. වටේ ඇවිදින ටීච අපි ලියන ඒව බලල වැරදිත් හදවනව. ඔය අතරේ නිවැරදි චර්යාවලට ලමයිව හුරු කරවනව.  ඒ කියන්නේ ඔලුව වැනීම්, ඔලුව නවාගෙන හිඳීම වගේ ඒව ලමය ලඟට ම ගිහින් හුරු කරවනව.

දැන් ඉන්ටවල්. තේ බොන්න යනව. ටීච අපිව නේවාසිකාගාරයෙන් තියල ටීචත් තේ බොන්න යනව. දැන් ආයේ අපේ බැනුම් ඇහීමේ, ගුටි කෑමේ වෙලාව පටන්ගන්නව. ඇඳුමේ කුනු ගාගෙන තිබීම වගේ දේවල් නිසා බොහෝවිට මං ගුටි කනව. ඇයි? කොයි වෙලාවෙ බැලුවත් දඟලගත්ත ගමන් හිටපු නිසා. ඔය අතරේ ටීච ඇවිත් ආයේ අපිව එකතු කරගෙන යනව.

දැන් කතා කියන්න කියල අපි ටීචගෙන් ඉල්ලනව. 

“බෑ බෑ. තව ටිකක් අකුරු ලිව්වොත් මං කතාවක් කියල දෙනව. තව අලුතෙන් සින්දුවකුත් කියල දෙනව."

  “අනේ ටීච උදෙත් ලිව්වෙ." 

“බෑ බෑ ඩාලිං. ටිකක් ලියල කියවල අපි කතා කියමු." 

පැරදිච්ච අපි ආයේ ලියන්න කියවන්න පටන්ගන්නව. ඊලඟට අපේ වාරෙ. දැන් ටීච කතාවක් කියන්නකො. හා දැං අපි කතාවකුයි සින්දුවකුයි ඉගෙනගමු. අමර සල් ගස යට ට ගියපු කතාව ටීච අපිට කියනව. අපි සද්ද වහල අහං ඉන්නව. ඒ මොකෝ ආයෙ මේව වෙන කාගෙන් කියල අහගන්න ද? ගෙදර හිටියනම් ඔය හැටහුටහමාරක් ඉන්නවනෙ. මෙහෙ ඉතිං මේ ටීචගෙන් අහන කතාව විතරනෙ.

හිතේ හැටියට දඟලලා, සෙල්ලම් කරලා, දවසේ සුන්දරම කාලය ඉවර කරන්නෙ පුදුම දුකකින්. ඉස්කෝලෙ ඇරිල එනකොට නිකං එපාකරපු හැඟීමක් මොන හේතුවක් නිසාද මන්දා හැමදාම වගේ මගෙ හිතට දැනුන. මේ හැඟීම වැඩි දවස්වලට මට පන්තියෙ ඉඳල එනකොට ඇඬෙනව. හැමදාම දවල්ට කාල නිදාගන්න වෙලාවක් දෙනව. මේ වෙලාවෙත් මං හිතේ තරමට අඬනව.

රෙස්ටිං ටයිම් එක ඉවර වෙලා මූන හෙම හෝදගෙන ආවහම තේ එකක් ලැබෙනව. ඕක බිව්වම පැය එකහමාරක්, දෙකක් සෙල්ලම් කරන්න පුලුවන්. නැත්නම් සෙල්ලම් බඩුවක් අතින්වත් අල්ලන්න තහනම්. එහෙම උනොත් අම්බානක් කතහැකි.

සෙල්ලම් වෙලාව ඉවර වෙනකොට කෑම ගෙනත්. ඒ කියන්නෙ අපි හවස 5:30 විතර වෙනකොට රෑ කෑම කන්න ඕනෙ. ඔය දවල් රෑ කෑම ගැන තව තව දේ කියන්න තියෙයි. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කො. දැන් අපි කාල හෙම පන්සිල් අරගෙන තමතමන්ගෙ ඇඳන්වලට යන්න ඕනෙ. තමන්ගේ ඇඳේ ඉඳගෙන පැත්තකින් ඇහෙන රේඩියෝවෙ යන වැඩසටහන්වලට කන්දීගෙන ඉන්න ඕනෙ. මෙතනදිනම් අපි ඒතරම් ආසාවෙන් අහපු වැඩසටහන් හැර අනිත් වෙලාවට  පොඩි කයියක් ගහනව. එක එක සෙල්ලම් කරනව. උදාහරනයක් විදිහට සෙල්ලම් ගෙවල් දානව. අම්මල, තාත්තල, සීයල, ආච්චිල, දුවල, පුතාල තමා මේ ගෙදර චරිත.

සෙල්ලම් ගේ ඉවර වෙනකොට නිදාගන්න වෙලාව හරි. ඒ කියන්නෙ අපි රෑ 8 වෙනකොට ඇඳේ නිදියගෙන ඉන්න ඕනෙ.

ඔන්න ඔහොමයි මගේ එකවසරෙ දවසක් ගෙවුනෙ. මීටවඩා වෙනස් දවස් එහෙමත් තිබුන. ඒ ගැනත් ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. ඒ විතරක් නෙවෙයි. අර දේවතාවියගෙ කතාවත් තියෙයිනෙ.  එහෙනම් දෙවනි කොටසින් ඒ ටිකත් කියවමු

Thursday, April 21, 2016

අමුතු කතාවක් 2: ටිකිරිබන්ඩාරගෙන් ලියමනක්

 ඒ සිදුවීමෙන් සඳමිණීගේ ගත හා හිත ගැහෙන්නට උනා. අම්මාට හරි අප්පච්චීට හරි කතා කළ යුතු වුවත් තමාගේ හඬ පිට නො වෙන බවක් ඇයට හැඟුනා.
““සලසලාස්
බිය වී සිටි සඳමිණී ඒ ශබ්ධයෙන් තවත් භියට පත් උනා. ඒ ශබ්ධය ඇසුනේ ජනේලයෙන් එලියේ. සඳමිණී ජනේලය ලඟට ගොස් බැලුවේ මොකක්ද ඒ කියලා. මේසය උඩ තිබුණ සියල්ල මිදුල පුරා විසිරී තිබුනා.
“ලොකූ මොකද මේ පොත් පත්තර විසිකළේ?. ඇයි ඉස්කෝලේ ගිහින් ඉවරද? එහෙම නැත්තන් පිස්සු හැඳීගෙන එනවද?””

““ඇයි නිලමේ?””

“මේ බලන්ට හාමිනේ පොත් පත්තර සේරම මිදුලට විසිකොරලා මේ ලොකුගේ පොත් නේද?””

සඳලතා කුමාරිහාමි සහ නිලමේ සඳමිණීට දොස් නගමින් සියල්ල යලිත්  අස්කරන්නට උනා. ඒත් සඳමිණී උණු කිසිවක් ඔව්නට කියුවේ නෑ. ඇය හිතුවේ තමාට පිස්සු ඇයි ඔව්න් සිතාවි කියලා. සමහරක් පොත් පත්තර තිබුනේ කැබලි වශයෙන්. සඳමිණීට දුක හිතුනේ තමන් ආදරය කරන පොත් පත්තර වලට එක වර පන ආවා වගේ මේ  මොකද උනේ කියලා තාම හිතාග්න බැරි නිසයි.
රෑ 8 පහු වෙනකොටම සියළුදෙනා නින්දට යන එක අවුරුදු ගානක් තිස්සේ පුරුද්දක් වෙලා. කාටවත් කරදරයක් හිරිහැරයක් නැතත් ඉදහිට එහෙ මෙහෙ පාවෙන අඳුරු සෙවනැලි වලට සඳමිණීත් දෙවුමිණීත් භියක් දැක්වීම ඊට ප්‍රධානතම හේතුව උනා. විවිධ දේ පෙරලෙන ශබ්ධ අඩි ශබ්ධ ඇසුනත් ඒවා දැන් සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් සෙවනැලි වලට නම්  දැක්වූයේ ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක්.
පහුවදා උදෑසන සඳලතා කුමාරිහාමි පාසල් ගෙන යාමට කෑම පාත්සල් බැඳ සූදානම් වීමට පෙර මෙසේ කීවා.

“ලොකූ පොඩී මේසෙ උඩ කෑම ඇරන් බෑග් වලට දාගන්ට. නිලමේ මං දවල්ටත්තෙක්ක උයලා තියෙන්නේ.

“කෝ අම්මේ ? කොහෙද කෑම පෙට්ටි තියෙන්නේ?

මේ වන විට සඳලතා මූණසේදීමට යන්න මිදුලට බැස උන්නේ.

“ඔය මේසෙ උඩ තියෙන්නේ ආයෙ මං එන්ට ඕනෙද ඕක අතට දෙන්ට?”

“නෑ අම්මේ මෙතන නෑ.

“හරි ඉන්ට මං මූණ හෝදන් ඇවිත් අතට වඩම්මන්නම්කෝ.

සඳමිණීට සිහි වුයේ පෙර දා තමන් අද්විදි සිදුවීමයි. කෑම පෙට්ටිත් ඒ වගේ නැති උනාද කියන සැකේ සඳමිණීට මතු උනා.
මූණ සෝදා ගෙන එන සඳ ලතා කුමාරිහාමි දුටුවේ කෑම සියල්ල කුණුකූඩයට හලා ඇති බවයි. සඳලතාට මාරාවේස උනා.

“ඇයි මේ කෑම කුණුකූඩෙට දැම්මේ. කඩචෝරු කන්ට හිතුනද?

“නෑ නෑ අම්මේ අපි දැම්මේ නැ.

සඳලතා කුමාරිහාමි ඉන් එහාට කිසිවක් කීවේ නැත. ඇයට මේ හැම දේකම යම් අමුත්තක් ඇති බවක් දැනෙන්ට උනා. දියණියන්ට යලිත් කෑම බෙදුවොත් නිලමේට මදි වෙන බව දත් කුමාරිහාමි දියණියන්ට සල්ලි දීමට තීරණය කර තමන්ගේ බත් මුල ඇද්දැයි බැලුවා. ඇයගේ සැකය තවත් වැඩි උනා. ඇයගේ බත් මුල ද නැහැ. මේ කාරණාව ගැන නිලමේ සමග කතා කළ යුතු බව සිතූ ඈ දියණියන් හා පිටත් උනා.
නිලමේට දැඩි කුස ගින්නක් දැනී බත් බෙදා ගන්න සිතා බත්  ඇතිලිය ඇර බැලූ ඔහු දුටුවේ හැලියේ බත් වලට අමතරව වැලි ද ඇති බවයි. ව්‍යංජන ඇති නම් බතක් උයා ගත හැකි නිසා ව්‍යංජන ඇතිලි ඇර බැලූ ඔහුට පුදුමයත් ජුගුබ්සාවත් ඇති උනා. ව්‍යංජන සෑම එකක්ම  අනා කලවන්කර ඇත්තේ ඇගිලි පාර ඉතිරි කරමින් බව ඔහු දුටුවා.   මීට පෙර අවස්ථා වල දී  බැදුම් වර්ග පිළී දෑ උයන්නට බැරි බවත් එසේ ඉව්වහොත් පිරිනි වන බවත් දන්නා නිසා උයන්නේත් නැහැ. ඒත් අද පිළී දෙයක් උයලත් නැහැ. මෙසේවූයේ ඇයි යන්න නිලමේට පුදුමයි. නිලමේ යලිත් උයන්නට සූදානම් උනා.

“නිලමේ නිලමේ.,

“ආ බණ්ඩ වරෙන් වරෙන්. ඇයි මේ තකහනියේම?

“පොඩි නිලමේ පනිවිඩයක් එව්වා අපෙ නිලමේට කියන්ට කියලා.

“මොකක්ද බං?


“එන බුරහස්පතින්දා උදේ නිලමේ නුවරින් ගත්තු අලුත් බංගලාවට පදිංචියට යනවා කීවා. මේංමේ ලියමන නිලමේට දෙන්ට කියුවා.

  තමන්ගේ මල්ලි දුරකථන ඇමතුමක් දී හෝ මේ බව නොකියා පනිවිඩකරුවෙකු අතේ මෙවන් පනිවිඩයක් එවීම පිළිබඳ නිලමේට පුදුම සිතුනා.

“හරි බණ්ඩෝ උඹ පලයං එහෙනම්. මං බලන්නම්කෝ.

“හොඳා නිලමේ එහෙනම් මං යනවා.
කියමින් ගැමියා පිටත් උනා.
 මහ වලව්වට අයත් අක්කර 50 ක විශාල ඉඩමක් තිබුනා. ලොකු හාමු එහෙමත්නැත්නම් නිලමේගේ පියා වත්තේ අලුත් නිවසක් තැනුවා. ඔහු මිය යන තෙක් උන්නේ ඒ නිවසේ. එය කවුරුත් හැඳින්නුවේ අලුත් වලව්ව කියලා. ඒ ඉඩම තුනට බෙදන්න්න නියම උනත් පොඩි නිලමේ අවසානයේ එය තනියෙන් අයිති කර ගැනීම පිළිබඳ ලොකු නිලමේ උන්නේ නොමනාපෙන් .   ටිකිරි බණ්ඩාර එවා තිබුණ ලිපියේ සියල්ල සඳහන් උනා. ඒත් ඒ ලියමනේ තිබුණු එක් දෙයක් ගැන නිලමේ කලබල උනා.
“අයියේ අපි නුවර පදිංචියට යනවා. මේ ගෙදර තවත් ඉන්න පුලුවන්කමක් නෑ. පප්පා ඇවිත්. මැරිලාවත් පාඩුවේ ඉන්නෙත් නෑ. අපිට ඉන්න දෙන්නෙත් නෑ. තන්හාවෙන් ආසාවෙන්නේ මැරුනේ. නංගී අපි එක්ක එන්න කැමති නෑ. එයාටත් එච්චර සනීපයක් නෑ. අන්තිම කාලේ වලව්වේ ඉන්න ඕනෙලු.  එයාගේ තනියට  ලයිසා ඉන්නවා. පුලුවන් වෙලාවට ඇවිත් එයා බලා යන්ට මාත් පුලුපුලුවන් වෙලාවට එන්නම්.

මතුසම්බන්ධයි.

Sunday, April 17, 2016

අමුතු කතාවක් 1: පළමු අතුරුදහන් වීම

කැඩපත ඉදිරියේ සඳලතා කුමාරිහාමි වෙනදාට වඩා කල් ගත කළේ එදින පාසලේ ප්රධාන රැස්වීමේ දේශනයක් ඇයට තිබුණු නිසයි. මේ වන විට කුමාරිහාමිට වයස 50 කට ආසන්න වෙමින් තිබුණත් ගුරුවරියක් වශයෙන් වගේම වලවුවේ කුමාරිහාමි වශයෙන් ඇය තම රූපය හා ඇදුම් පැලදුම් ගැන සැලකිලිමත් උනා.

   “අම්මේ මගේ ටයි එක නෑ. අක්කා හංගලා

“නෑ අම්මේ නංගිගේ බොරු. මගෙ දකුණු කකුලෙ මේස් එකයි වම් කකුලෙ සපත්තුවයි නෑ. නංගි ඒක හංගලා. දැන් බේරෙන්න හදනවා.

 තම දියණියන් දෙදෙනාගේ පැමිනිල්ල ඇසෙත්මකුමාරිහාමීට මාරාවේස උනා.

“දෙන්නම මගෙන් උදේම වේවැල් පාර නො කා ලෑස්ති උනොත් හොඳයි. මට පරක්කු වෙලා තියෙන්නේ. තව විනාඩි 5 යි බලන්නේ. මං යනවා.

“අනේ අම්මේ ඇත්තමයි කියන්නේ පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ. නංගිට කියන්නකෝ මට මගේ මේස් එකයි සපත්තුවයි දෙන්න කියලා.

තිදෙනාම එක් වී මේස් සපත්තු ටයිපටි ගේ සෑම තැනම හෙව්වා. ඒත් කිසිම තැනක මේ කිසිම දෙයක් තිබුනේ නෑ.

“මොකද මේ සද්දේ? වත්ත පහළටම ඇහෙනවා ගෝසාව. අම්මලා දුවලා උදේට ඉස්කෝලේ යන්ට ලෑස්ති වෙනවා අහල ගම් හතම දන්නවා ඇති.

“නෑ නිලමේ. මේ දෙන්නගෙ එක එක දේවල් නැති වෙන්නේ ඉස්කෝලේ යන්ට ඔන්න මෙන්න තියනකොටමයි. කොච්චර කියුවත් අහන්නෑ කලින් දවසේ ලෑස්ති කර ගන්ට කියලා.

“ඇයි අද මේ දෙන්නාගේ මොනවද නැත්තේ?

“ලොකූගේ දකුණු කකුලෙ මේස් එකයි වම් කකුලෙ සපත්තුවයි නෑලු. පොඩීගෙ ටයිපටිය නෑලු.

“හක් හක් හක්... පුදුම විදිහටනේ නැති වෙලා තියෙන්නේ. මේ දෙන්නට ගිය සතියේ දුන්න ඉස්කෝලේ වැඩ දැන් වෙන්ට ඇති මතක් වෙන්ට ඇත්තේ. ඒකයි මේ එක එක ඒවා නැත්තේ.

“නෑ අප්පච්චි ඊයේ රෑ අපි දෙන්නම ඔක්කොම ලෑස්ති කළා,.”

“හරි දැන් මෙච්චරයි, ලොකු සපත්තු අදට ඕනෙ නෑ. තියන සෙරෙප්පු දෙකක් දාගන්ට. පොඩි ටයි එක ඉස්කෝලේ ගිහින් ඇවිත් හොයමු.

බලාපොරොත්තු කඩ වූ ස්වරූපයෙන් ලොකූ නම් වූ සඳමිණී සහ පොඩී නම් දෙව්මිණී සූදානම් වී අම්මා සමග පිටත් උනා.
කුමාරිහාමී සහ දියණියන් දෙදෙනා පාසල් ගියපසු නිලමේට මහා පාලුවක් දැනෙන්නට උනා. මීට කාලෙකට කලින් නම් වලව්වේ හැම දේකටම සේවකයෝ සිටියත් අද ඇත්තේ කීපදෙනෙක් විතරයි. ඒ අයත් එන්නේ පනිවිඩ ඇරියොත්. මිදුලට බැස්ස නිලමේ දුටුවේ දින කීපයක සිට මිදුලේ තැන තැනත් වත්ත පුරාත් ජරා කරන බලළා පුරුද්දට අදත් එසේ කර ඇති බවයි. උදැල්ලක් ගත් නිලමේ ඒවා සුද්දකරන්නට පටන්ගත්තා.
“නිලමේ, මොකෑ මේ කොරන්ට තනන්නේ.

“නෑ බං සාදිරිස්, මේ දවස් ගානක ඉදලා බළලෙක් හැම තැනම ජරා කරනවා. මං මේ සුද්ද කරන්ට බැලුවේ.
“කෝ දෙන්ට නිලමේ මං සුද්ද කරන්නම්.

කියූ සාදිරිස් උදැල්ලත් නිලමේ ගෙන් ඉල්ලාගෙන සුද්දකරන්නට උනා.
“ඇයි නිලමේ මේ සපත්තු මේස් ටයිපටි විසිකොරොලා?

“ආ උදේ සුදු මැණිකෙයි චූටි මැණිකෙයි ඕවා හෙව්වා. දෙන්නට යන්ට කම්මැලි හිතිලා හංගන්ට ඇති කියලා මං කීවා.

“පොඩි දරුවෝනේ නිලමේ. මේන් මේවා ඇරන් තියන්ට හොදා.

පාසල් ඇරී නිවසට ආව සඳමිණීත් දෙව්මිණීත් මේස් සපත්තු ටයිපටි දැකලා පුදුම උනා. ඒවායේ මඩ තැවරී තිබුණු නිසා නිලමේ ඒවා සෝදා තිබුණා. හවස් වන විට පාසලෙන් දුන් වැඩ කිරීමට සූදානම් වූ සඳමිණී පොත් පත්තර මිටියක් ද ගෙන මේසය මත තබා ඒ අසලින් වාඩි උනා. මිදුලේ ඇසුණු සද්දයකට තිගැස්සුණු ඈ ජනලය දෙස බැලුවත් එහි දකින්නට කිසිවක් තිබුනේ නෑ. යලිත් තම කාර්ය අරඹන්නට සිතා මේසය දෙස බැලූ සඳමිණීට තම දෑස අදහා ගන්නට නො හැකි උනා. පොත් පත්තර වලින් පිරී තිබුන මේසය  මත කිසිවක් නැහැ. මේසය හිස් වී තිබුණා. මේසයට එලා තිබුණු නිල් පැහැ ඉටි රෙද්දත් සමග සියල්ල අතුරුදහන් වී තිබුනා.

මතුසම්බන්දයි

ප/ලි.

දැනට වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ එක් ප්‍රදේශයක එක් පවුලක් මුහුණපාන සිදුවීම් ධාරාවක් මේ කතාව ඔස්සේ දිගහැරේ. මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත ය. මන්ද මේ පරම්පරාව රටේ යම් ප්‍රසිද්ධියක් දරණ පිරිසක් බැවිණි. කතාවේ ඉදිරියට තවත් බොහෝ දෑ කියවෙනු ඇත. ඒවා ඔබට අදහා ගත නොහැකි වනු ඇත. පිස්සු, බොරු, මනස්ගාත කියා සිතෙනු ඇත. එය සාදාරණ ය. නමුත් ඒ සියල්ල 2004 සිට 2014 කාලය තුළ මෙන්ම ඊට පෙර ඉහත කී පවුල මුහුණ පෑ සිදුවීම් පෙළකි. මේ වන විට ද ඇතැම් දේ සිදුවෙමින් පවතී..ඒ සියල්ල ඔබට ඉදිරියේ දැනගන්නට ලැබෙනු ඇත.

Wednesday, April 13, 2016

නව වසර ට සුබාසිරි









බුලත් දෙමින් දෙපා වැන්දෙ නැතුවාට,
එක සෙවණක කිරි ඉතිරුවෙ නැතුවාට,
අහසින් ගොඩබිමින් මුහුදෙන් එන ඔබට,
නව වසරට සුභ පතනෙමු අපි ඔබට,

කිරි නැතුවත් සතුට යෙහෙන් ඉතිරේවා,
පැණි නැතුවත් නිරෝග සැප ඇති වේවා,
හැම ධන සිතේ සොම්නස් මල් පිබිදේවා,
බ්ලොග් අවකාෂෙ මිතුදම් තව වැඩි වේවා.

 




බ්ලොග් අවකාෂයේ ලියන, කියවන සැරිසරණ ඔබටත්,
ඔබගේ පවුලේ සැමටත්,
 සියළු ශ්‍රී ලාංකිකයින්ටත්
ශ්‍රී සුභ නව වසරක් වේවා...

ඔන්න දැන් අවුරුදු කෑම මේසේ හැමෝටම ව්‍යුර්තයි. කිරිබත් කතා, කැවුම් කවි, අතිරහ සිංදු, කොකිස් වගේ විස්තර හැමෝටම තමා. හා හා ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනානං. ඒ වගේම මේ හැම දේම අවුරුද්ද පුරාම රස විදින්න පුලුවන් වේවා කියලා හිතාගෙන කන්න පටන්ගන්න....  අමතක නොකර ගෙනාව කොමෙන්ට්, බුලත්, තෑගිබෝගත් කොහෙන් හරි තියන්න අමතක කරන්න එපා....


අහසෙන් එන අපි:
කසුන්
නිර්මාණි