Friday, May 19, 2017

නොමියෙන මතක

නෙක් විසිතුරු ඇති මේ බිම වේ සොඳුරු
සිත්පිත් නැති රකුසන් නැසුවා රුදුරු
ලෙයින් තෙත් කළා කරමින් රට අඳුරු
සිහල දෙමල මිතුරන් උනි පසමිතුරු

මිහිකත දැවූ යුධ ගිනි දැල් නිවන්නට
 හදේ නැගෙන සංතාපය නසන්නට
වීර දූ පුතුන් එඩි බල ගෙන සිතට
ගියා පෙරට අවි ගෙන රුපු නසන්නට

ගුවණ දෙරණ සාගරය ද එකතු වෙලා
හිරුත් සඳුත් සමගින් නිති වෙහෙසීලා
අත් පා ඇස් ද තම ජීවිත දං දීලා
යුධ ගිනි නිවා දැම්මා ජීවිත පුදලා

වීර දූ පුතුන් වැදු මව් පියන් හට
ජීවිත පුදා සාමය දුන් විරුවන්ට
මව් බිම රැක්ක විරුවනි නිති ඔබ හැමට
සදා පුදමු ,උපහාරය ඔබෙ නමට



Saturday, May 6, 2017

තෑගි එපා අම්මේ මට!

පාට පාට සමනල්ළුන්
 ඉගිලෙන විට මල් අතරින්
මටත් හිතයි දිව යන්නට
උන් පස්සෙන් හනි හනිකට.
කුරුලු රෑන් පියබනකොට
තුරු අතරින් වළා ගැබෙන්
මටත් හිතයි පියබන්නට
උන් එක්කම එක රෑනට
අත් වෙනුවට තටු ඇත්නම්
පියබා යන්නට හැකි මට දැන්
ගණිතය භූගෝලය පොත්
නුඹලාගෙන් නිදහස් මං
ටිවුශන් හෝම් වර්ක් නැතේ
ඇනුම් බැනුම් කිසිත් නැතේ
දුව පැන ගී ගයා නටන
සොඳුරු ලොවක් මටත් ඇතේ
ශිෂ්ෂත්වය මේ තරමට
නපුරු ඇයිද පුංචි අපට
උදේ ඉඳන් රෑ වන තුරු
ටිවුශන් ඇයි මේ විදිහට

ශිෂ්ෂත්වය සමත් උනොත්
තෑගි එපා අම්මේ මට
රෑ හීනෙන් නටන ගයන
සොඳුරු ලෝකෙ මටත් දෙන්න.

Friday, April 14, 2017

ඔබ සැමදෙනට සුභ නව වසරක් වේවා (happy new year!)





         

පිපී එරබදු තුරු හිස
ගයා කොව්ලන් ගී රස
නැගී රවි රැස් නුබ කුස
දිසෙයි ලෙවු සැනකෙලි ලෙස

තුරු ළිය සරසමින් නටනා ළපලු පෙළ
නිල් පැහැ වී හිනහෙයි නිති තුරු වදුළ
කන් පිනවා ගී නඳ දෙන සියොත් කැළ
අමුතුම හැඩයි දැන් දැන් මේ මිහි මඬළ

අතු අග පිපුණු මල් නහවයි මකරන්ඳ
හමනා මද පවන් ගෙන දෙයි මුදු සුවඳ
සවන් පුරා රැවු දෙයි රන් කොවුල් නඳ
සොම්නස් මල් පිපී ඇත අද සියල් හද

ගුවන් තලේ පාවී යයි සුනිල් වළා
පොඩි පැටවුන් පැද හිනහෙයි ඔන්චිල්ලා
බක්මී සමග රත් පැහැ එරබොදු පිපිලා
වසත් රැජින හට ඇත පාවඩ එලලා

කොව්ල් ගී ඇසෙයි වස්දඩු හඩ විලස
මනාලියක් සේ හිනැහෙයි ගම් පියස
මිහිතලයම සැරසීයි සැනකෙලි විලස
මගුල් සිරි ගනී වස්සානය මෙලෙස

ප-ලි
කව තුළ තිබෙන සිරිවිසිතු දැන් මෙහි නැතුවා
ඒ හැම දේම ටෙලිවිශනයෙ පෙන්වනවා
අහසෙන් අවුත් පනිවිඩයක් ගෙන එනවා
ඔබ සැමදෙනට සුභ නව වසරක් වේවා

Monday, April 10, 2017

බිබිලේ

බිබිලි, කොස් කට්ටා, ඔව් මං අහන්න අකමැතිම වචන තමයි ඒව. ඒ ඇයි කියල හිතාගන්නවත් කාටහරි පුලුවන්ද. මාව දැකපු කෙනෙක්ට නම් පුලුවන් වේවි. මට තියෙන්නෙ තලඑලළු පැහැයට වඩා ටිකක් පැහැපත් සමක්. ලස්සනනම් නෑ. ඉස්සරනම් මං මගෙ මූණ මොන හැඩේද කියලවත් බලන්න වැරදිලාවත් කන්නාඩිය ළඟට ගියේ නෑ. ඒත් මං දැන් දන්නවා. මගෙ මූණ දිගටි මූණක්. හැබැයි ඕන කෙනෙකුගේ මූණෙ තියන සුන්දර බව, ප්‍රියමනාප බව මගෙ මූණෙ නෑ. සම්පූර්ණ බිබිළි ගොඩක්. ඉස්සර ඉස්කෝලෙ ළමයි කියුව වගේ කොස් කට්ටක් වගේ. ඔව්. හරියටම ඒ වගේ. මගෙ විතරක් නෙවෙයි. මගෙ අක්කගෙ මූණත් ඒවගේ. අපි දෙන්නට ඉස්කෝලෙ ළමයි, ගමේ අය කොයිතරම් නම් කතා කියුවද. අපි දෙන්න පුංචි කාලෙ කොච්චර ඇඬුවද.. අපි දෙන්න විඳින අපහස දැකලා අපෙ අම්ම, තාත්ත කොච්චර දුක් උනාද. ඒ අතරෙ අපේ හිත නොරිද්දපු කොටසකුත් හිටියා. ඒත් මූණට හම්බෙලා කතා කරලා යනකොට හිනාවෙනවනම්, අපිව දැකලා ඉඟිමරනවා නම් හිතට කොයිතරම් දුකක් දැනෙනවාද.
මේ තත්ත්වෙ මැද්දෙ උනත් අක්කයි මායි ඉස්කෝලෙ ගියා. කොහොම හරි කියන ඒවා ඉවසන් හිටියා. අපේ අම්මයි, තාත්තයි කළේ ගොවිතැන් වැඩ. අනුන්ට උදව්වක් උපකාරයක් මිස කාටවත් කරදරයක් කළේ නෑ. ඒත් පස්සෙ ඉස්කෝලෙ ළමයි අතරෙ තව කතාවක් පැතිරුනා.
 ඉස්සර අපේ තාත්තා හොරකම් කළාලු. අම්මට අක්කයි, මායි ලැබෙන්න ඉන්නකොට අම්මට කන්න දුන්නේ හොරකම් කරලලු.. ඒ නිසාලු අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අපිට ඒවා ඵල දුන්නේ එහෙමලු. ඉතින් මේ කතාවෙන් පස්සේ ළමයි අපිට බිබිලෙ කොස් කට්ට වගේ නම් වලට අමතරව තව නම් එකතු කළා. හොර පැටව්, හොරි පැටවු ඒවගේ නමුත් තව තව දේවලුත් කියන්න ගත්තා. ඒක මොනතරම් අසාදාරණ කතාවක් ද . ගමේ රා මදින ජයතිලක මාමගෙ පුතා හිටියෙත් අපේ පන්තියේ. එතකොට කැලේ මදු ගහන සුනිල් මාමගෙ දුව හිටියෙ අපිට උඩ පන්තියේ. ඒ අය කරන ඒවා පව් වැඩ නෙවෙයි ද. ඉස්කෝලේ මේ කියන කතා අපි කවදාවත් අම්මගෙන්වත්, තාත්තාගෙන්වත් ඇහුවෙ නෑ. මොකද කවුරු කොහොම කියුවත් අපිට ඒ දෙන්නව විස්වාසයි. ඉතින් මේ වෙනකොට අක්කටයි, මටයි ඉස්කෝලෙ ගමන එපාවෙලයි තිබුනෙ.. ඉස්කෝලෙදි, ගමේදි දකින දකින තැනදි ළමයි මේ  දේවල් කිය කියා ඔච්චං කරනකොට ඉස්කෝලේ යන්නෙ කොහොමද? එහෙම කියන එකවැරදි කියුවෙ සමහරක් දෙමාපියෝ විතරයි. සමහර වැඩිහිටියොත් අපිට ඔය වගේ කතා කියුවා. ඉතින් ලොකු අය එහෙම කියනකොට ළමයි කියන ඒවා වැඩි උනා.. තව එකක්,කට්ටිය අපිට කතා කරනකොට අපේ නම අගට බිබිලෙ කියන වාසගමත් එකතු කළා. බිබිලෙ කියන්නෙ වාසගමක් උනාට අපේ වාසගම ඒක නෙවෙයි. කට්ටිය අපිට ඒකත් කියුවේ ඔච්චමට. දවසක් ඉස්කෝලේ ඇරලා ඇවිත් අපි දෙන්නා අම්මට මෙහෙම කියුවා.
“අම්මේ අපිට ආයෙ ඉස්කෝලෙ යන්න බෑ.
ඇස් දෙකේ කඳුලු පුරවා ගත් අම්මා මෙහෙම කියුවා.
“කමක්නෑ පුතේ.”
කියාගෙන චීත්තෙන් ඇස් පිහ පිහා අම්මා ගෙට ගිය හැටි මට තාම මතකයි. එදා හවස තාත්තා කවදාවත් නැතුව බීලා ඇවිත් පිල්කඩ උඩ වාඩි වෙලා දොඩවන්න පටන්ගත්තා.. තාත්තා වැඩිපුරම ඇහුවේ එකම දෙයයි.
“ඇයි මේ ගමේ ඉන්න එව්න් මගෙ දරුවොන්ට ඉන්න දෙන්නෙ නැත්තෙ? උන්ට පාඩුවේ ඉගෙණ ගන්න දෙන්නෙ නැත්තෙ ඇයි.
අපි දෙන්නම ඉගෙණ ගන්න දක්ෂයි කියලා තාත්ත දන්නවා.. ඒත් ඒ හැම දේම අපි අත්තැරියා.
ඊට පස්සේ මං අනුරාධපුරේ බාප්පා ළඟට ගිහින් වඩුවැඩ පුරුදු උනා. අක්කා වීවින් ඉස්කෝලෙට ගියා. එතකොටත් අපිට අහන්න වෙච්ච දේවල්නම් බොහෝමයි. සමහර අය අපිව දැක්කම මගහැරියේ බෝවෙන ලෙඩෙක් දකිනවා වගෙ. මේක ලෙඩක් තමයි. ඒත් බෝවෙන ලෙඩක් නෙවෙයි. මොකද අපේ අම්ම තාත්තා රට හැම තැනකම ඉන්න වෙධ මහත්තරු, දොස්තර මහත්තුරු ළඟට ගියා මේ ලෙඩේ හොඳ කරන්න. ඒත් කාටවත් පුලුවන් උනේ නෑ.
මං ඉලංදාරි වයසට එනකොට මේ ප්‍රශ්නෙන් පුංචි නිදහසක් ලැබුනා. මොකද මං එතකොට රැවුල වවන්න ගත්තා. එතකොට මූණෙ බිබිලි ගතිය පේනවා අඩුයි. ඒත් අක්ක? මං අදටත් දුක්වෙන්නේ අක්ක ගැන. මට වගේ තාවකාලික සැනසීමක්වත් අක්කට ලැබුනෙ නෑ. අක්කට කසාද බදින්න කොච්චර යෝජනා ගෙනාවත් මේ බිබිලි ප්‍රශ්නෙ නිසා ඒ එකක්වත් කෙරුනෙ නෑ.
මේ පව්කාර ලෙඩේ නිසා අක්කයි මායි දුක් වින්දත් අක්කත් එක්ක බලනකොට ගමේ අයගෙ වචනවල හැටියට මං පුංචි හරි පිනක් කරල ඇති කියලයි එදා හිතුවේ. මං කසාදත් බැංදා. එයා නමින් කුමාරි. මේ තත්ත්වෙ ගැන හොඳින් තේරුම් ගත්ත කෙනෙක් එයා. ඒත් අපේ විවහයට එයාලගේ ගෙදරින් කැමති උනේ නෑ. එයාගෙ ගෙදර අය කියුවෙත්
“උඹට ඔය කොස් කට්ට එක්ක යන්න පිස්සුද? උඹට ඇස්පේන්නැද්ද ඕකත්තෙක්ක යන්න?
වගේ කතා තමයි කියුවෙ. ඒත් එයා මා එක්ක ආවා. අක්ක තාමත් තනිකඩව.

 කුමාරිටයි, මටයි පළවෙනි දරුවා ඉපදෙනකොට මං පුලුවන්තරම් පංසල් දේවාල ගානේ ගියා. බාර උනා. පිනක් කියා හිතූ හැමදේම කළා. ඒ මට වෙච්ච දේ මගෙ දරුවටත් වෙයි කියන බයට. දෙයියන්ගෙ පිහිටෙන් මගෙ දරුවට එහෙම දෙයක් උනේ නෑ. අපිට දෙවෙනි දරුවත් ලැබෙන්න ආවා. කලින් වතාවෙ වගේම මං පුලුවන් තරම් පිං කළා. බාර උනා. ඒත්? ඒත් මගෙ දරුවාට තිබුනේ කුමාරිගෙ මූණ. හැබැයි ඒ මූණේ බිබිලි පිරිල.. මගෙ වගේ.. කොස් කට්ටක් වගේ මූණක්..

Thursday, March 30, 2017

පඹයා සහ දිය හොල්මන

 නුඹට පේනවද සකී,
 මේ වෙල්යායේ හැටී,
 ඉස්සරවාගෙම නැතී
 අමුතු ගතිය රිසි නැති

 කරල් නැමී රන් පාටින් පැසීලා
 සුලං සමග නටමින් දෑතම වනලා
 කතා කළත් අප හට නිති හිනා වෙලා
 ඒ කෙත දුරයි පඹයෝ අප දුරස් වෙලා

 කුස පුරවන්න මෙහි ආ ගිය විහඟ රෑන්
 බිය වැද්දුවේ මම තරහට නොවේයි ඉතින්
 රෑපානේ ආ සාවුන් මුව පොවුවන්
 පන්නා කුඹුර රැක්කේ මං සතුටු සිතින්

  තිත්ත පැටවු පීනා ගිය දොල පාර
 දණ්ඩි පැටවු දඟ දුන් මේ දිය දහර
 මා සිටියේ උන් හා මිතුරුව නිතර
 උන් කොයි ගියේ පඹයෝ මේ දෙරණ හැර

 ඉපනැල්ලේ දඟ දුන් පොඩි පැටවු නැතී
 පළා නෙලන්නට එන ගැමි ළියෝ නැතී
 ආවත් නෙලන්නට දැන් මෙහි පළා නැතී
 දියහොල්මනේ දැන් ඒ කිසිදෙයක් නැතී

 කොයි දේටත් යකඩ යන්ත්‍ර ඇත තනලා
 උන් වැඩ කරයි මේ දෙරණම සොලවාලා
 වස විස වලින් පිරි කෘමිනාශක යොදලා
 වැඩි පළ නෙලන්නට මිහිකත ඇත නසලා

 යකඩ කඳන් අද හැම දේ කරන්නේ
 අම්බරුවන් නැත කමතට කැදවන්නේ
  බෝල අත්ත යතුර  කවුරු මෙහි දන්නේ
 නුඹත් මාත් අද නටබුන් වී ඉන්නේ

Monday, March 27, 2017

නෙලුම් යායට ගියෙමි, සුවඳ වින්දෙමි




නිර්මානිගේ සටහන
පහුගිය අවුරුද්ද වෙනකල් මං කලේ කොළඹ ගමය, තිලකසිත, අටම්පහුර එතකොට තව එක එක බ්ලොග් කියවන එක විතරයි.. පහුගිය අවුරුද්දේ මාර්තු 22 තමා පළවෙනි බ්ලොග් ලිපිය ලිවුවෙ.. ඔන්න එක අර අහසෙන් එන්න බ්ලොග් එකේ පලකර ගත්ත කියමුකෝ.. මගෙ ලිපියකට පළමු කොමෙන්ට් එක දාලා තිබුනේ මෙන්ඩ... ඒක අමතක කරල බෑනෙ.. එතනින් පස්සෙ දිගටම ලියුව... අන්තිමට කොමෙන්ට් දාන අය ඇහුවෙ කලින් ලියපු හාදයා කෝ කියලයි.. කොහොම උනත් අපි සහයෝගයෙන් බ්ලොග් එකේ ලියාගෙන ගියා කියමුකෝ.... නෙලුම් යාය සම්මාන උලෙළට නිර්දේශ තෝරණකොට ඒ අතරේ මගෙ නිර්මාණ තියනවා දකිනකොට මට පුදුම හිතුනා...
අන්තිමට විසි පහ දාට වෝටර්සෙජ් යන්න තීරනේ කළා... බත්තරමුල්ලට ගිහින් තරු අක්කට කතා කළා ඇවිත්ද ඉන්නේ නැත්නම් අපිට ඇතුලට යන්න කවුරුහරි එවන්න පුලුවන්ද අහන්නත් එක්ක... තරු අක්කා විසිරි අක්ක එවන්නම් කියුව නිසා අපි ගිහින් බැස්සා.. විසිරි අක්කට කියන්න ලැබුනෙ නෑ... වෙන අක්ක කෙනෙක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගිහින් පුටුවල වාඩි කලා.. ඔන්න ඉස් ඉස්සෙල්ලාම අජිත් අයියා හම්බෙලා කතා කරලා ගියා.. ඊට පස්සේ කමි අයියා ඇවිත් අපිට ස්ථාන මාරුවීමක් ලබා දුන්නා.. එතකොට තමයි කැලේ පිපුණු මල් ලියන වත්සලා අක්ක හම්බුනේ.. එයා දකිනකොටම මතක් උනේ සාලාවෙ පිපිරීම.. ඊට පස්සෙ යාංහෑල්ල ලියන සුරංග... එතනදි අපි අපේ තුන්දෙනාගෙ වයස ගැන සංවාදෙකුත් ගියා.. ආ ඊට පස්සෙ තමයි වැදගත්ම අවස්ථාව.. මං නෙලුම් යායට යන්න ප්‍රධානම හේතුව උන ප්‍රාජේව හමුවීම සිද්ධ උනේ.. ඒත් මට ප්‍රාජේ එක්ක හරියට කතා කර ගන්න බැරි උනා.. ගනුදෙනුව බේරගන්න බැරි උනා අපරාදෙ...
එයින් පස්සේ හැමෝම වගේ ඇවිත් කතා කළා.. නෙලුම් යායට යන්න කලින් හඳුනගෙන හිටියේ සිතු, තරු අක්කා විතරයි.. දැන් බොහෝ දෙනෙකුව මතකයි... කැලෑ මල්, යාංහෑල්ල, ඉයන්, ඉවාන්, සොභාරූ, මහේශ්, තිලකසිත, අජිත් අයියා, කමී, රොහාන්, ප්‍රාජෙ, මෙන්ඩ, රන්දිකා අක්ක, නලීන් අයිය, මං එරන්දි, කවි දුමී, සජ්ජ, සුදීක, දමිත්, සිත්තමී අක්ක, වැවා අයිය,  තව තව කස්ටිය හම්බුනා.. අටම අයියා අපිට එන්න කියපු අටම අයිය ඇවිත් හිටියෙ නෑනෙ ඉතින්...
රෝහාන් මල්ලි ඇවිත් කතා කලාම පුදුම හිතුනා.. ඇත්තටම මං මීට කලින් හිතාගෙන හිටියේ ටෙක් සයුර ලියන්නේ වයස 40ක විතර කෙනෙක් කියලයි...
විශේෂංග ගැන කියුවොත් අපි මචන්ල නම් මරු කියල වැඩක් නෑ.. සජීවීව රස වින්දනය ලබා ගැනීමට පුලුවන් වෙච්ච එකම ලොකු දෙය... ජනා ප්‍රියාත් නරකම නෑ... අමුත්තන්ගේ කතා වලින් මැතිවරණ කොමසාරිස්තුමාගෙ කතාව, කතානායක තුමාගේ කතා හරවත්... රාජිත සේනාරත්නගේ කට හඬ අකැමැතිම හඬක්.. ඒ නිසා ඒ වෙලාවේ ඒ කිසිම දෙයක් අහගෙන හිටියෙ නෑ...
කෑම කන වෙලාවෙ දේවල් වත්සලා අක්ක ලියුවනේ.. ඒව ඉතින් අයෙ කියන්න ඕනෙ නෑ... මේ වෙලාවේ වත්සලා අක්කටත්, තරු අක්කටත්, කමි අයියටත් ස්තුති කරන්න ඕනෙ.. ඒ තුන්දෙනාම වේදිකාවට යන්න මට ඒ මොහොතේ උදවු කළා... අහසෙන් එන්න බ්ලොග් අඩවිය මේ තැනට ගෙනාවේ අපිත් එක්ක හිටපු ඔයාලා.. අපේ බ්ලොග් ලිපි වලට කොමෙන්ට් කරමින් අපිව දිරිමත් කළ ඔබ හැමටත්, අඩුලුහුඬුකම් පෙන්වූ සියලු දෙනාටත් ස්තුතී.. ඒ මග පෙන්වීම, දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා...
අපි බොහොම ප්‍රිය කරන බ්ලොග් අඩවියක් තමයි නිදහස් සිතුවිලි. හොඳම බ්ලොග් එක විදිහට සම්මාන ලැබීම ගැන සතුටුයි.. රවී අයියට සුභ පතනවා.. ඒ වගේම යාංහෑල්ලටත් උණුසුම් සුභ පැතුම්.. සියලු සම්මානලාබීන්ට සුභ පැතුම්... නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුති කරනවා.. ඒ වගේම සුභපතනවා...

කසුන්ගේ සටහන
නිර්මාණිගේ සටහනට යමක් එකතු කරන්නෙමි. අහසෙන් එන්න බ්ලොගය ඇරඹී දැනට එක් වසරකුත් මාස අටකුත් ගෙවී ඇත්තේය. ඒ අතරතුර මේ තැනට අප ඔසවා තැබීමට කියවන, කොමෙන්ට් කරන ඔබ සැමගෙන් ලැබුනු සහයෝගය අමතක නැත. කියවන්නෙකු ලෙස වසර තුනක් පමන රැඳී සිටි මට බ්ලොග් ලිවීමේ ආසාව එදවස සිට නොතිබුනාම නොවේ. එහෙත් යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ලියන්නේ 2015 07 16 වැනිදා පමන සිට ය. නෙලුම් යාය සම්මානයට ලක්වන්නට සුදුසුකම් ලැබීම ගැන යම් සතුටක් තිබුනද ඒ ගැන බලාපොරොත්තුවක් නොතිබුනි.
ඒ කොහොම වෙතත් අපට (නිර්මානිගේ නවකතාවට සහ ලිපියකට) නෙලුම් යාය සම්මාන හිමි වීම ගැන නම් සතුටු ය. ඒ වෙනුවෙන් ඔබ සැමට ස්තූතියි.
එදා දිනය ගැන ලියනවානම් විශේෂ ම ස්තුතිය ලැබිය යුත්තා වන්නේ කැලේ පිපුනු මල් ලියන වත්සලා අක්කායි. වැඩසටහන අතරතුර වේදිකාවේ සිදුවන දෑ ගැන අපෙන් යොමු වූ අටෝරාසියක් ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ බොහොම ඉවසීමෙනි. ඒ විතරක්නම් මදිය. ඇය විටින් විට තුන් හතර සැරයක්ම කැමරා කාචයන්ගෙන් බේරී එලියටත් ඇතුලටත් දුවමින් අපට කන්නටත් බොන්නටත් ගෙනවිත් දී ඒ සියලු පිඟන් කෝප්ප යලි ගෙනවිත් තැබීමට තරම් කාරුනික වූවාය. ඒ සියලු දේ වෙනුවෙන් ඔබටත් ස්තූතී. එතනට එක්ක ඇවිත් ඇය හඳුන්වා දුන් කමි අයියාටත් බොහොම ස්තූතී. එපමනක් නොව දිනය තුල කිසිඳු අඩුවක් නොදැනෙන්නට සහය දුන් අය මතක් නොකර බැරිය. වැවා අයියාටත් පසුගිය නෙලුම්යායේ මෙන් බ්ලුක්ස් තේරීමට පැමිනි සජ්ජාටත් දැන් මතකයේ නැතත් අනෙකුත් සියලු දෙනාටත් සහයෝගය දැක්වීම වෙනුවෙන් ද ස්තූතිවන්ත වෙමු.ඒ අතරේ හමු වූ, නිර්මානි නම් වශයෙන් මතක් කර  සහ නොකල සැමට ස්තූතිය සහ සියලු ජයග්‍රාහකයින්ට අපේ උනුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු..
 අවසානයේදී තවත් කාරනයක් කිව යුතු ය. ඒ ආරම්බයේ සිට අවසානය දක්වා ම පිරිස ශාලාවේ රඳවා ගැනීමට අසමත් වීමේ කනගාටුව ගැනයි. එය එසේ වූයේ සමහරවිට රෑ බෝවීම නිසා ද වන්නට ඇතිය. නමුත් ඉන් අවසාන සම්මානලාබීන් කිහිපදෙනාට සහ නාට්‍ය කන්ඩායමට යම් අසාදාරනයක් වූ බව මගේ හැඟීමයි. ඊට අමතරව යම් තාක්ශනික දුර්වලතාවක් හෝ අතපසු වීමක් නිසා හෝ සම්මාන සඳහා නිර්දේශිත නම් ප්‍රදර්ශනය පමා විය. සමහර තරඟ අන්ශ සඳහා එවැනි නිර්දේශ වූ බ්ලොග් සම්මාන ප්‍රදාන අවස්තාවේ ප්‍රදර්ශනය නොවුනු බවද දැනගන්නට ලැබිනි. එකී සුලු දෝශයන් නිවැරදිව සිදු වූවානම් තවත් ලස්සන වන්නට ඉඩ තිබුනා යැයි සිතේ.
ඊලඟ කාරනය නම් නිවේදක උන්නැහැලා පිස්සෙක්ව සේනක බිබිලේ නමින් නම් කිරීමයි. ඉන් සේනක බිබිලේ මහතාටත් අපහාසයක් සිදුවූ බව අප තරයේ විශ්වාස කරමු. අව්ශද ප්‍රතිපත්තියක් වෙනුවෙන් සේනක බිබිලේ කරපු හරියෙන් 1% හෝ මේ ගොබිලා නොකල බව අප සැම විශ්වාසයයි. එසේ හැඳින්වූයේ නිවේදකයන්ට හෝ නෙලුම් යායේ අයට උන්නැහැගේ උන බෝවී උන විකාරයෙන් විය යුතු ය.