Wednesday, December 16, 2015

ලෙඩුන් ලෙඩ කරවීම නොහොත් දොස්තරලාගේ හපන්කම්



දිනය, 2015/08/17 නාගොඩ රෝහලට වයස අව්රුදු හතරක පමන කුඩා පිරිමි දරුවෙකු ගෙන ගියා. තම පියා සමග මොටෝ සයිකලයේ ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරක් නිසා ඔහුගේ පාදයක් බිඳී තිබුනා. එය නිරීක්ෂනය කළ වෛද්‍ය වරු වෙලුම් පටි යොදා තැබිය යුතු බවට නිගමනය කර යලි සති දෙකකින් පැමිනෙන ලෙස දන්වා පිටත් කර යවා තිබුනා. එලෙස මාස දෙකහමාරක් පමන දරුවා සිට තිබුනා. නමුත් මේ දරුවා වේගයෙන් ගමන් කිරීමේදි හෝ දිවීමේදී පාදය ඉදිරියට පමනක් නොවදෙපසට ද නැවෙන බව දෙමාපියන් නිරීක්ශනය කර තිබුනු අතර ඒ පිළිබඳව අදාල සායනයේ වෛද්‍ය වරුන් ද දැනුවත් කර තිබුනා. නමුත් ඔවුන් ඒ පිලිබඳ කියා ඇත්තේ මෙවන් දෙයක්. ‘‘මේක හදන්න ආයේ ඔපරේශන් එකක් කරන්න ඕනේ‘‘ කියලයි. නමුත් පසුව සොයාගත් කරුනු අනුව මේ දරුවාගේ පාදය කැඩුනු තැනින් පමනක් යලි සකසා දනිස ඒ අවස්තාවේ නොතකා හැර ඇති බවයි.

මට මේ කතාව අහන්න ලැබුනු වෙලාවේම මේ සිදුවීම් කිහිපයත් මතකයට ආවා. ඔබ දන්නා පරිදී දෘශ්‍යාබාධිත වීම විවිදාකාරයෙන් සිදු විය හැකියි. ඉන් දොස්තරලාගේ නොසැලකිල්ල, නොදැනුවත්කම හෝ අති පන්ඩිතකම, වැරදි රෝග විනිෂ්චය නිසා සිදු වනවා. ඒ අතරින් තෝරා ගත් අද්දැකීම් කිහිපයක් මෙලෙස ලියා තැබීමට හිතුනා.

1.      රටේ එක්තරා ප්‍රසිද්ධ රෝහලක මාස අටකින් ඉපදුනු දැරියක් වනවා. මට හමු වන විට ඇය පූර්න දෘශ්‍යාබාධිත තත්ත්වයෙන් සිටියා. ඇයගේ මව ඉංග්‍රීසි ගුරුවරියක්. අඩු මාසෙන් ඉපදුනු දරුවන් සාමාන්‍යෙන් වීදුරු පෙට්ටියක තබන බව ඔබ දන්නව ඇති. එහිදී යම් විදුලි ආලෝක ප්‍රමානයක් එම වීදුරු පෙට්ටියට ලබා දෙනවා. එහිදී දරුවාගේ දෑස් වසා දැමීම සිදු වනවා. නමුත් කුමන හේතුවක් නිසා හෝ මේ දරුවා තබා තිබූ වීදුරු පෙට්ටියේ ආලෝකය ලබා දී තිබුනත් දරුවාගේ දෑස් වසා තිබුනේ නැහැ. ඒ නිසා කුමන කරුමයකට හෝ මේ දරුවාට සදාකාලිකව ම අඳුරේ සිටීමට සිදු වුනා.

2.     මැය උපතේදී කිසිඳු ආබාධයකින් තොරව සිටියා. නමුත් වයස අව්රුදු 4 දී පමන ඇයගේ ද ඉරනම එක් කටුවකින් වෙනස් කරන්නට එක්තරා වෛද්‍ය වරයෙකුට හැකි වුනා. ඒ ඇයට සෑදී තිබූ උන රෝගයකට කිසිඳු වග විභාගයකින් තොරව එන්නතක් ලබා දීම නිසයි. එකී එන්නත ඇයගේ ඉරනම වෙනස් කරන්නට තරම් සමත්කමක් පෙන්වා තිබුනා. ඒ ඇය ද සදාකාලික දෘශ්‍යාබාදිත තත්ත්වයට පත් කරමින්.


3.     මැයත් ඒ විදිහට ම දොස්තර ගේ උවමනාවට ඇස් අහිමි කරගත් දැරියක්. ඇය වයස අව්රුදු 11 දී පමන රෝහල් ගත වන්නේ ඇසේ අදි රුදිර පීඩන තත්වයක් නිසා. නමුත් ඒ සඳහා කල යුතු නියමිත ප්‍රතිකාරයන්ගෙන් බැහැර ව වෛද්‍ය වරයා පීඩනය පාලනය නොකර සැත්කමක් කර තිබෙනවා. සාමාන්‍යෙන් එලෙස පීඩන තත්ත්වයකදී එය පාලනය නොකර සැත්කම් සිදු නොකරන අතර මේ වෛද්‍ය වරයා කල යුතු නොවන සැත්කමක් කළ බවයි මෑතකදී ද කළ පරීක්ෂන මගින් තහවුරු වී ඇත්තේ.මේ නිසා යම්තාක් හෝ පෙනුම තබාගත හැකි දැරියක් සදාකාලික අඳුරට ඇද දැමුනා.

4.     ඇස ට තම සොහොයුරියගේ නියපොත්තක් වැදීම නිසා රෝහල් ගතවූ පුතෙකුට ද සිදු වී ඇත්තේ නිය වැදුන ඇසත් සමග තම අනෙක් ඇසත් අහිමි කරගෙන නිවසට යාමටයි. ඒ සැත්කම් කාමරයේදී වෛද්‍ය වරයාට ඇස මාරු වීම නිසා කිසිඳු හානියක් සිදු නොවූ ඇස සැත්කමකට ලක් කර තිබුනා. ඒ පිලිබඳව විමසූ විට කියා ඇත්තේ එම ඇස ද ස්නායු ගැටලුවකින් බේරා ගැනීමට සැත්කමක් කල බවයි. එය සැබැවින් ම එසේනම් නියපොත්තක් වැදුනු ඇස සැත්කමට ලක් කල යුතු බව කියා සැත්කම් කාමරයට ගත්තේ කුමට ද යන්න වෛද්‍ය වරුන් පැහැදිලි කළ යුතුව නොතිබුනේද? කෙසේ වුවත් ඉන් සිදු වූයේ තවත් දරුවෙක් මෙලොව එලිය දැකීමේ වාසනාව වෛද්‍ය වරයෙකු ලවා අහිමි කර ගැනීම නොවේද?

ඒ සිදුවීම් කෙසේ වුවත් වඩා සැලකිල්ලෙන් තම සේවාව නිවැරදි ව ඉටු කරන වෛද්‍ය වරුන් මෙරට නොමැති බවට කාට නම් තර්ක කළ හැකි ද? මා දන්නා පමනින් තම සේවාව ද නිසි ලෙස සිදු කරමින් ඉන් එහා ගිය විශාල සමාජ වගකීම් සම්බාරයකට ද තම කාලය, ධනය, ශ්‍රමය කැප කරන වෛද්‍ය වරුන් සිටිති. ඒ අතර මගේ මතකයට නිරායාසයෙන්ම වෛද්‍ය සමන් සේනානායක, වෛද්‍ය කපිල එදිස්සූරිය යන දෙපල මතකයට එයි.

ඉහත මුලින් සඳහන් කල මාදිලියේ වෛද්‍ය වරුන්ටනම් මට කියන්නට ඇත්තේ තවත් ඉස්ට්‍රයික් කරන්න කියා පමනි. මුලු ජීවිත කාලයම ස්ට්‍රයික් කලාට රටේ රෝගීන් අමනාප නොවනවා ඇත.

ඒ අතර යහපත් වෙදුන් ඊලඟ ආත්මයේ ද යහපත් ජීවියෙකු ලෙස ජීවත් වන්නට වාසනාවන්ත වනවාටනම් කිසිඳු සැකයක් නැත.

ප/ලි.
මෙහි වෛද්‍යවරුන්ට අපහාස නොකිරීම අරමුන නොවුනත් මේ වැරදි ඔවුන් අතින් සිදුවන බව මතකයේ තබා ගන්න. ඉදිරියටත් එය එසේ වනු ඇත. ඔබ ප්‍රවේසම් වන්න. මෙය කියවන වෛද්‍යවරුන් අමනාප නොවන්න, හිත් රිදවා නොගන්න.
මේ සිදුවීම් මීට වසර 10 ට පෙර සිදු වූ සිදුවීම් කිහිපයකි. මීට සම්බන්ද වෛද්‍ය වරුන් බොහොමයක් දැන් මා දන්නා පරිදී සේවයේ නොමැත.

Thursday, December 10, 2015

හයියෝ මහ පාර. බලාගෙනයි!



පාරවල් ගැන පහුගිය දවස් ටිකේ කතා කිහිපයක් ම ලියලා තිබුන. අදත් තරු දානේ ලියන විදානයත් ඔය ලියල තිබුනෙ. කමි අයියගෙ කතාවත් බොහෝ දෙනා සංවේදී කරන්න සමත් වෙලා තිබුන.සති ගානක් ම ලියනව කියල හිතාගෙන හිටපු මේ සටහන අද ලියල දාන්න හිතුනෙ අද උදෙත් කමි අයිය දැකපු සිද්දියට ටිකක් සමාන සිද්දියක් මට දකින්න ලැබුනු නිසාත් මම ලබපු අද්දැකීම් නිසාත්.

මේ බ්ලොග් එකට එන ඔයාල දන්නව මම දෘශ්‍යාබාධිත අයෙකු බව. ඒ නිසා මුලින්ම මගේ අද්දැකීම් ටිකක් විස්තර කරලම හිටියොත් හොඳයි කියල හිතෙනව.

දෘශ්‍යාබාධිත අය යම් තැනක ගමන්කරන විට සුදු සැරයැටිය රැගෙන යනව. නමුත් මේ සැරයැටිය යම් හේතුවක් නිසා මගදි කැඩුනොත් ඒ පුද්ගලය කොයිතරම් අසීරුතාවක ට පත් වෙනවද කියල අලුතෙන් කියන්න උවමනා නෑ. මගේ අද්දැකීමනම් බොහෝ වෙලාවට සුදු සැරයැටියක් රැගෙන යන කෙනෙක් පාරෙ යනවද කියන අවබෝදය නෙවෙයි, තමන් යන්නෙ පාරෙද කියලවත් මිනිස්සුන්ට අමතක වෙන වෙලාවල් තියෙනව. බොහොමයක් දෙනා ඇඝේ හැපිල අහන්නෙ කොහෙද ඕයි යන්නෙ කියල තමයි. ඒ අතරට පේන්නැද්ද ඕයි කියලත් අනන්ත අහනව. මගෙන් එහෙම අහන වෙලාවටනම් මම බය නැතුව නෑ කියල යනව.

පාරෙ යනකොට සුදු සැරයැටිය පාගල, කඩල යන්නෙ ‘‘කොහේ යනවද මන්දා‘‘ කියාගෙන. හැබැයි ඔය අතරේ ඊට වෙනස්ම සිදුවීම් නොවෙනවත් නෙවෙයි.

මීට සති දෙකක ට විතර කලින් මම මහරගමින් දෙහිවලට යන්න පමුනුව පාර පැත්තෙ ඉඳල ඇවිත් පරන පාර පැනල අස්සෙන් රිංගල හයිලෙවල් පාර පැනගන්න එන අතරෙ කහ ඉරට කලින් වේගෙන් පැනගෙන ආපු මනුස්සයෙක් මගෙත් හැපීගෙන සුදු සැරයැටියට නැගල, ටහ් ගාල ඒක කැඩෙන සද්දෙත් එක්ක හෝව්, හෝව් කියාගෙන යන්න යනව. හුටා. දැං මොකද කරන්නෙ? මම එතනම නවතිනව. එතකොට අර කලබලෙන් ගියපු මනුස්සය දකින්නෙ මට වෙච්ච ඇබැද්දිය. ආපහු එන මේ මනුස්සය, අනේ සොරි මල්ලි. මං දැක්කෙ නෑ. මේක කැඩුන නේද? දැං මොකද කරන්නෙ? මේව කොහෙද ගන්න තියෙන්නෙ? කීයක් විතර වෙනවද? වගේ ප්‍රශ්න වැලක් අහනව. මං හරි දැං ඔයාගෙ අතින් මේක කැඩුන. දැං මේකට කරන්න දෙයක් නෑ. දැං කීය උනත් වැඩකුත් නෑ. ඒක ගන්නත් මං ගිහින් ඉන්නෙපායැ. කියල ආයෙ පාරෙ යනකොට හොඳට බලාගෙන යන්න කියල පඬි ටෝකකුත් දානව. හරි හරි සොරි මල්ලි කියපු මේ මනුස්සය මගේ ඉල්ලීම අනුව ආයෙ පාර පැනගෙන මාව දෙහිවල බස් එකටත් දාල හෙට මෙතනට එන්න. මං ඔයාට මේකට යන සල්ලි දෙන්නම් කියල යන්න යනව. හරි. දැං මං බස් එකේ.

ගිහින් බැස්ස කියමුකො දෙහිවලින්. මෙන්න තවත් එකක්. පාරෙ අයිනට කරල නවත්තපු බස් එක අස්සෙන් පුස් බෛසිකල් අංකල් කෙනෙක් දැම්ම. මටත් හෙමින් ගිහින් නොපුරුදු නිසා වේගෙන් බස් එකෙන් බහිනව. හරියටම අර බෛසිකල් මාම මං බහිනකොටම දොර ලඟ. කකුලෙ වැදුනු ඉස්සරහ රෝදෙ පැත්තට යනව. ඒ එක්කම සමබරතාව නැතිවෙච්ච බෛසිකල් මාම දඩෝරියං බිමට. නැගිටින ගමන්, හරි හරි ඔයා යන්න. මගෙයි වැරැද්ද. අව්ලක් නෑ. මට තිබුනු හදිසියට මං යන්න ගියත් පස්සෙ මට දුක හිතෙන්නෙ ඒ මනුස්සය එක්ක වචනයක්හරි කතා කරල එන්න තිබුන නේද කියල. දැං කරන්න දෙයක් නෑ. ඒ දේ වෙලා ඉවරයි.

ඔන්න දැං අද උදේට. මං මහරගමින් කොලඹ බස් එකට නැගල ටික දුරක් එනව. මට ලැබුනෙත් ඉස්සරහම ශීට් එක. හරි ඔන්න නුගේගොඩ ට ආසන්න උනා. බස් එක නැවැත්තුව. කිහිපදෙනෙක් බැස්ස. මා ලඟ හිටපු අනිත් කෙනා නැගිට්ට. ‘‘නගින්න, නගින්න, ඉක්මං කරන්නකො‘‘ කොන්දොස්තරයි රියදුරයි දෙන්නම කෑ ගහනව. අර නැගපු කෙනා මං ඉන්න තැනට එනකොටම වගේ බස් එක ඇද්ද. ටකටකස් හඬත් එක්ක මනුස්සයෙක් මගෙ ඇඟෙත් තදින් වැදීගෙන ශීට් එකට වැටුන. අර ටකටකස් ගෑවෙ ඒ මනුස්සයගෙ කිහිලිකරු දෙක. එක කකුලක් කලවා වලින්ම කපල අයින් කරපු මනුස්සයටත් සලකන්නෙ මෙහෙමයි එතකොට. දැං ඉතින් අනාබාධිත අය ගැන ඉතින් මොකට කතා කරනවද නේද?

ප/ලි
මේ පෝස්ට් එකෙන් බස් සේවකයන්ගෙ විනය ගැන කතා කරන්න අදහසක් ඇත්තෙ නැහැ. ඒ ගැන කලින් ලිපි ලියවිලත් ඇති. මේ මට අත්විඳින්න ලැබුනු හිතට දැනුනු සිද්දි ටිකක් විතරයි. මේව මීට වඩා හොඳට වෙන බ්ලොග් කාරයෙක්නම් ලියයි. මට මේ දවස්ටිකේ හිතල ලියන්න වෙලාවක් නෑ. මේක මෙලෝ රහක් නෑ කියල හිතෙනවනම් මේ සිද්දි ටික අරගෙන තව ලිපියක් ලියල මටත් ලිංක් කරන්න.

Tuesday, December 8, 2015

පුත, ගිහින් යලි එන්න

නොසිතූ විලස
නොසිතූ වෙලාවක
මා කුස අරා
හිඳී ඔබ.
ස්නේහයෙන් පුරවා
මා ලය මඩල
පුතුනි,
අද යන්න
යලිත් හෙට එන්න
නොලද
පිය සෙනෙහේ
රැගෙන
යලි එන්න.

Friday, November 13, 2015

ඩබල් ඇස්

රවයි මා වෙත
ඩබල් ඇස්
තරහෙන්
ගිනි පුපුරු විසුරුවා.

Saturday, October 24, 2015

අසන්න! නමුත් මේ ඔහුගේ කතාව නොවේ.



එකම ඉඩමක්, මැද වැටක්, දෙපසින් දෙසොහෝයුරන් කරන නිහඬ සටනක්.
ඔබ මේ ගීතයත් අසා නැතිවන්නටද පුලුවන්.මේ ඔහුගේ මෙන්ම මගේද, මෙය කියවන ඔබේද කතාව නොවන්නට පුලුවන්. නමුත් මේ ලංකා දීපයේ කාගේ හෝ කතාව වන්නට ද පුලුවන්.

මේ ගීතය ලියන්නේ වර්න කුලකය ලියන වර්නයා. එක බත් මුල කාගෙන, එක ඇඳේ නිදියගෙන, නැගිටල එක බුරුසුවෙන් දත් නොමැද්දට එකට හිටපු කාලේ ලියපු එකක්. ඒ කියන්නෙ කැම්පස් එකේ දෙවනි අව්රුද්දෙ  වගේ මට මතක හැටියට. ඒ කාලෙ අපිට අමුතු අමුතු වැඩ කරන්න අදහස් ආවා. උගේ ලඟ ලිය ලිය හිටපු සින්දු, කවි පොතක් තිබුන. ලියල ඉවර වෙච්ච කවියක් අපිට මේකත් හොඳ ද කියහං කියල හැමදාම කවිය කියවන එක මූ පුරුද්දක් කරගෙන හිටියෙ. ඔය අතරෙ මේ වචන ටික හම්බෙනව. මේක අහගෙන හිටපු මම කියනව “අපි මේකෙන් සින්දුවක් කරමුද? “සින්දුවක් කරන්න කෝ අපිලඟ බඩු? ඔහොම පටන්ගත්ත කතාව අතරෙ මේක අහගෙන ඉන්න, සංගීතෙට උපන් හපන් තිස්ස “හරි කරමු, කරමුකියනව. එහෙනම් මේ වචන ටික ලියාගනින් කියල වර්නය මේ වචනටික කියනව. හරි. හෙට කියල බලමු. අපි නිදි.

පහුවදා රෑ වෙලා කැම්පස් එක ඇතුලෙ දෘශ්‍යාබාධිත ෂිශ්‍ය සංගමේ ලඟට යන්නෙ වර්නයයි, තිස්සයි චමලයි මමයි. කබඩ් එකේ තිබුනු සර්පිනාවයි, තබ්ලසෙට් එකයි අරගෙන වැඩේට ලෑස්ති වෙන අතරේ මම මේක රෙකෝඩ් කරන්න ලෑස්ති වෙනව. දැන් හරි. චමල නොහොත් .......... තබ්ලා ගහනව. තිස්ස සර්පිනා ගහනව. මම රෙකෝඩ් කරනව. වර්නය ඒ කාලෙ ................... මොකද වෙන්නෙ කියල බලං ඉන්නෙ. හරි වැඩේත් ඉවරයි කියමුකො.

මම එඩිට් කරන්න කලින් වර්නයට දීපු සින්දුව මෙන්න මූ පින්තූරෙකුත් හදල යූටියුබයට දාල. දැන් මොනව කරන්නද? අපි අර අගේට එඩිට් කරපු සින්දුවත් මගේ හාර්ඩ් ඩිස්කයේ මලගමත් එක්ක නැති වුනා. අනිත් උන් ලඟත් කොපියක් නෑ කියල දැනගෙන තිබුනු එකම කොපිය මෙතන අතාරිනව.

එහෙනම් සින්දු අහන්න පහසුකම් නැති අය මට නොබැන මේ වචන ටිකෙන් සැනහෙන්ඩලා. අනිත් අය සින්දුවත් අහලම බනින්ඩලා.

එහෙනම් වෙනත් දෙයක් ලියනකල් මම නවතිනව.


මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ..
සිත පුරා මල්ලියි ඇසූ..
පන්සලේ පටු තීරුවේ
සිතුවමක් සිනහ වී සිටියා
දෙදරවා ගිය බිඳි ඉරෙන් ඒ
සිනහවද මැකුණා....
පැන්සලේ තුඩ උල්කළේ නුඹ
එයම නුඹ හද විදී තිබුණා
මිතුදමේ සොහොයුරු දමේ ලේ
ගල් ගැසී තිබුණා...

Saturday, October 17, 2015

හිම කතරක සජීවී කතාන්දරය





//“ඔව්නගේ ගුවන් යානය කඩා වැටුනේ අහස උසට නැගි කඳුවලින් වටව ගිය දැවැන්ත ඇන්ඩිස් කඳු යාය මැදදීය. බීරුම් දෙන සුලඟ හිම කැරලි සමග හමා යන්නේ ගත සීතලෙන් හිරිවට්ටමිනි. ඔව්නට සෙවනකට ඇත්තේ තැලී පොඩිවී ගිය යානයේ බඳ කොටස පමනකි. වයින් බෝතල තුනක් සහ චොකලට් පෙති කිහිපයක් හැරුනුවිට ආහාරයට වෙන යමක් නොමැත. මුලින්ම දිවි ගලවාගත්තොවුන් තිස් දෙදෙනෙක් සිටියහ. ඊලඟට විසි හත, දහ නවය හා අන්තිමට දහසයදෙනෙකි. මේ දිගහැරෙන්නේ දින හැත්තෑවක් පුරා හිම කතරේ අතරමංව ගෙවුනු ඔවුනගේ අනුවේදනීය කතාවයි. මනුස්සයා සතු ඉවසීම, දෛර්යයේ හා අදිශ්ඨානයේ කතාවයි.”//

මේ කතාව ගැන ඔබට කියන්නට සිතුනේ මෙය එතරන්ම අනුවේදනීය, ඔබ කියවිය යුතු කතාවක් නිසාය. දැනට වසර දහයකට පමන පෙර ජීවතුන් අතර නමින් සිංහලයට නැගුනු පියස් පෝල් රීඩ් කතුවරයාගේ A Live නම් කෘතිය ඉන්ඩ්‍රානි කරුනාරත්න ලේකිකාව විසින් පරිවර්තනය කරන ලද්දකි. ඉහතින් උපුටා දක්වා ඇත්තේ එකී සිංහල පරිවර්තනයේ පසුවදනයි.මෙය කියවූ සැනින් කෙනෙකුගෙ කියවීමේ රුචිය වැඩි වනවාට සැක නැත.

උරුගුවේ මොන්ට්වීඩියෝ සිට චිලී රටේ සන්තියාගෝ දක්වා ගුවන්හමුදාවට අයත් ෆෙයාචයිල්ඩ් යානයකින් ගමන්කරමින් සිටියදී අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් රියදුරාට යානය ඉදිරියට ගෙන යා නොහැකිව කඳුවැටියක හැපී බිඳී ගිය යානය නවතින්නේ හතලිස් පස්දෙනෙකුගෙන් තිස්දෙදෙනෙක් පමනක් ජීවතුන් අතර ඉතිරි කරමිනි. අධික රුධිර වහනය හිමතට්ටුවට යට වීම සහ විවිද ආසාදන හේතුවෙන් හරි අඩක්ම ජීවිත හැර ගියේ ඉතිරි දහසයදෙනාගේ ඇස් ඉදිරිපිටම ය. තමන්ගේ ඇස් ඉදිරියේ මිය ගිය තම සගයන්ගේ මස් අනුබව කරන්නට සිදු වන්නේ කිසිවෙකු නොසිතූ ලෙසයි. ඒ දින හැත්තෑවක් තම ජීවිතය නොමැරි ආරක්ශා කර ගැනීම උදෙසායි.

කෙලෙස හෝ අවසානයේ දෛර්යය සහ උත්සාහය නිසාම තම දිවි ගලවාගත් මේ උරුගුවියානු තරුනයන්ගේ කතා පුවත අනුවේදනීය එකක් නොවේයැයි කාටනම් කිව හැකිද. මේ කතා පුවත කතුවරයා ඉදිරිපත් කරන්නේ රටවල් දෙකෙහිම ලිඛිත හා වෙනත් සාධක පදනම්කරගෙනයි. එබැවින් මෙහි සත්‍යට බෙහෙවින් සමානකමක් දැනේ. රග්බි කන්ඩායමක ක්‍රීඩකයන් වන වැඩි දෙනා එකිනෙකාට වෙනස් හැසිරීම්වලින් යුක්තබවත් ඔවුන්ගේ හැසිරීම් කුමනාකාරද යන්න පිලිබඳවත් කතුවරයා තොරතුරු ඉදිරිපත්කරයි. දිනෙන් දින පිරිසගේ හැඟීම් වෙනස්වන අයුරු මෙන්ම එනිසාම විටෙක අඬ දබර ද සිදුවේ.කෙනෙකු තුල ඇති ඉතා සුලු දැනුමෙන් පවා ප්‍රයෝජන ගනිමින් ගෙවෙන මාස එකහමාරකට ආසන්න කාලය තුල හිම කුනාටුවලින් ද පීඩා විඳිමින් කෙසේ හෝ තමන්ගේ ගැලවීම වෙනුවෙන් දෙවියන්ගෙන් යදින්නට තරුනයින් අමතක නොකලේය.

එපමනක් නොව තම දරුවන් වෙනුවෙන් එකී මුලු කාලයම කැප වූ නෑ හිතවතුන් ද මෙහි ප්‍රමුඛ  කාර්යක් ඉටු කරයි. තමන් සතු සියලුම උත්සාහයන් දරමින් හැකි සෑම විටම ගුවන් යානා කුලී ගෙවා ලබා ගනිමින් සහ පයින් යාහැකි දුර ගමන් කරමින් ඉමහත් වෙහෙසක් ගත් බව මේ කතාවේ කතුවරයා තම පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

පියස් පෝල් රීඩ් කතුවරයාගේ A Live කෘතිය ඔබ තවමත් කියවා නැතිනම් කියවිය යුතු ම  පොතක් යැයි සිතේ.