Saturday, October 24, 2015

අසන්න! නමුත් මේ ඔහුගේ කතාව නොවේ.



එකම ඉඩමක්, මැද වැටක්, දෙපසින් දෙසොහෝයුරන් කරන නිහඬ සටනක්.
ඔබ මේ ගීතයත් අසා නැතිවන්නටද පුලුවන්.මේ ඔහුගේ මෙන්ම මගේද, මෙය කියවන ඔබේද කතාව නොවන්නට පුලුවන්. නමුත් මේ ලංකා දීපයේ කාගේ හෝ කතාව වන්නට ද පුලුවන්.

මේ ගීතය ලියන්නේ වර්න කුලකය ලියන වර්නයා. එක බත් මුල කාගෙන, එක ඇඳේ නිදියගෙන, නැගිටල එක බුරුසුවෙන් දත් නොමැද්දට එකට හිටපු කාලේ ලියපු එකක්. ඒ කියන්නෙ කැම්පස් එකේ දෙවනි අව්රුද්දෙ  වගේ මට මතක හැටියට. ඒ කාලෙ අපිට අමුතු අමුතු වැඩ කරන්න අදහස් ආවා. උගේ ලඟ ලිය ලිය හිටපු සින්දු, කවි පොතක් තිබුන. ලියල ඉවර වෙච්ච කවියක් අපිට මේකත් හොඳ ද කියහං කියල හැමදාම කවිය කියවන එක මූ පුරුද්දක් කරගෙන හිටියෙ. ඔය අතරෙ මේ වචන ටික හම්බෙනව. මේක අහගෙන හිටපු මම කියනව “අපි මේකෙන් සින්දුවක් කරමුද? “සින්දුවක් කරන්න කෝ අපිලඟ බඩු? ඔහොම පටන්ගත්ත කතාව අතරෙ මේක අහගෙන ඉන්න, සංගීතෙට උපන් හපන් තිස්ස “හරි කරමු, කරමුකියනව. එහෙනම් මේ වචන ටික ලියාගනින් කියල වර්නය මේ වචනටික කියනව. හරි. හෙට කියල බලමු. අපි නිදි.

පහුවදා රෑ වෙලා කැම්පස් එක ඇතුලෙ දෘශ්‍යාබාධිත ෂිශ්‍ය සංගමේ ලඟට යන්නෙ වර්නයයි, තිස්සයි චමලයි මමයි. කබඩ් එකේ තිබුනු සර්පිනාවයි, තබ්ලසෙට් එකයි අරගෙන වැඩේට ලෑස්ති වෙන අතරේ මම මේක රෙකෝඩ් කරන්න ලෑස්ති වෙනව. දැන් හරි. චමල නොහොත් .......... තබ්ලා ගහනව. තිස්ස සර්පිනා ගහනව. මම රෙකෝඩ් කරනව. වර්නය ඒ කාලෙ ................... මොකද වෙන්නෙ කියල බලං ඉන්නෙ. හරි වැඩේත් ඉවරයි කියමුකො.

මම එඩිට් කරන්න කලින් වර්නයට දීපු සින්දුව මෙන්න මූ පින්තූරෙකුත් හදල යූටියුබයට දාල. දැන් මොනව කරන්නද? අපි අර අගේට එඩිට් කරපු සින්දුවත් මගේ හාර්ඩ් ඩිස්කයේ මලගමත් එක්ක නැති වුනා. අනිත් උන් ලඟත් කොපියක් නෑ කියල දැනගෙන තිබුනු එකම කොපිය මෙතන අතාරිනව.

එහෙනම් සින්දු අහන්න පහසුකම් නැති අය මට නොබැන මේ වචන ටිකෙන් සැනහෙන්ඩලා. අනිත් අය සින්දුවත් අහලම බනින්ඩලා.

එහෙනම් වෙනත් දෙයක් ලියනකල් මම නවතිනව.


මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ..
සිත පුරා මල්ලියි ඇසූ..
පන්සලේ පටු තීරුවේ
සිතුවමක් සිනහ වී සිටියා
දෙදරවා ගිය බිඳි ඉරෙන් ඒ
සිනහවද මැකුණා....
පැන්සලේ තුඩ උල්කළේ නුඹ
එයම නුඹ හද විදී තිබුණා
මිතුදමේ සොහොයුරු දමේ ලේ
ගල් ගැසී තිබුණා...

Saturday, October 17, 2015

හිම කතරක සජීවී කතාන්දරය





//“ඔව්නගේ ගුවන් යානය කඩා වැටුනේ අහස උසට නැගි කඳුවලින් වටව ගිය දැවැන්ත ඇන්ඩිස් කඳු යාය මැදදීය. බීරුම් දෙන සුලඟ හිම කැරලි සමග හමා යන්නේ ගත සීතලෙන් හිරිවට්ටමිනි. ඔව්නට සෙවනකට ඇත්තේ තැලී පොඩිවී ගිය යානයේ බඳ කොටස පමනකි. වයින් බෝතල තුනක් සහ චොකලට් පෙති කිහිපයක් හැරුනුවිට ආහාරයට වෙන යමක් නොමැත. මුලින්ම දිවි ගලවාගත්තොවුන් තිස් දෙදෙනෙක් සිටියහ. ඊලඟට විසි හත, දහ නවය හා අන්තිමට දහසයදෙනෙකි. මේ දිගහැරෙන්නේ දින හැත්තෑවක් පුරා හිම කතරේ අතරමංව ගෙවුනු ඔවුනගේ අනුවේදනීය කතාවයි. මනුස්සයා සතු ඉවසීම, දෛර්යයේ හා අදිශ්ඨානයේ කතාවයි.”//

මේ කතාව ගැන ඔබට කියන්නට සිතුනේ මෙය එතරන්ම අනුවේදනීය, ඔබ කියවිය යුතු කතාවක් නිසාය. දැනට වසර දහයකට පමන පෙර ජීවතුන් අතර නමින් සිංහලයට නැගුනු පියස් පෝල් රීඩ් කතුවරයාගේ A Live නම් කෘතිය ඉන්ඩ්‍රානි කරුනාරත්න ලේකිකාව විසින් පරිවර්තනය කරන ලද්දකි. ඉහතින් උපුටා දක්වා ඇත්තේ එකී සිංහල පරිවර්තනයේ පසුවදනයි.මෙය කියවූ සැනින් කෙනෙකුගෙ කියවීමේ රුචිය වැඩි වනවාට සැක නැත.

උරුගුවේ මොන්ට්වීඩියෝ සිට චිලී රටේ සන්තියාගෝ දක්වා ගුවන්හමුදාවට අයත් ෆෙයාචයිල්ඩ් යානයකින් ගමන්කරමින් සිටියදී අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් රියදුරාට යානය ඉදිරියට ගෙන යා නොහැකිව කඳුවැටියක හැපී බිඳී ගිය යානය නවතින්නේ හතලිස් පස්දෙනෙකුගෙන් තිස්දෙදෙනෙක් පමනක් ජීවතුන් අතර ඉතිරි කරමිනි. අධික රුධිර වහනය හිමතට්ටුවට යට වීම සහ විවිද ආසාදන හේතුවෙන් හරි අඩක්ම ජීවිත හැර ගියේ ඉතිරි දහසයදෙනාගේ ඇස් ඉදිරිපිටම ය. තමන්ගේ ඇස් ඉදිරියේ මිය ගිය තම සගයන්ගේ මස් අනුබව කරන්නට සිදු වන්නේ කිසිවෙකු නොසිතූ ලෙසයි. ඒ දින හැත්තෑවක් තම ජීවිතය නොමැරි ආරක්ශා කර ගැනීම උදෙසායි.

කෙලෙස හෝ අවසානයේ දෛර්යය සහ උත්සාහය නිසාම තම දිවි ගලවාගත් මේ උරුගුවියානු තරුනයන්ගේ කතා පුවත අනුවේදනීය එකක් නොවේයැයි කාටනම් කිව හැකිද. මේ කතා පුවත කතුවරයා ඉදිරිපත් කරන්නේ රටවල් දෙකෙහිම ලිඛිත හා වෙනත් සාධක පදනම්කරගෙනයි. එබැවින් මෙහි සත්‍යට බෙහෙවින් සමානකමක් දැනේ. රග්බි කන්ඩායමක ක්‍රීඩකයන් වන වැඩි දෙනා එකිනෙකාට වෙනස් හැසිරීම්වලින් යුක්තබවත් ඔවුන්ගේ හැසිරීම් කුමනාකාරද යන්න පිලිබඳවත් කතුවරයා තොරතුරු ඉදිරිපත්කරයි. දිනෙන් දින පිරිසගේ හැඟීම් වෙනස්වන අයුරු මෙන්ම එනිසාම විටෙක අඬ දබර ද සිදුවේ.කෙනෙකු තුල ඇති ඉතා සුලු දැනුමෙන් පවා ප්‍රයෝජන ගනිමින් ගෙවෙන මාස එකහමාරකට ආසන්න කාලය තුල හිම කුනාටුවලින් ද පීඩා විඳිමින් කෙසේ හෝ තමන්ගේ ගැලවීම වෙනුවෙන් දෙවියන්ගෙන් යදින්නට තරුනයින් අමතක නොකලේය.

එපමනක් නොව තම දරුවන් වෙනුවෙන් එකී මුලු කාලයම කැප වූ නෑ හිතවතුන් ද මෙහි ප්‍රමුඛ  කාර්යක් ඉටු කරයි. තමන් සතු සියලුම උත්සාහයන් දරමින් හැකි සෑම විටම ගුවන් යානා කුලී ගෙවා ලබා ගනිමින් සහ පයින් යාහැකි දුර ගමන් කරමින් ඉමහත් වෙහෙසක් ගත් බව මේ කතාවේ කතුවරයා තම පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

පියස් පෝල් රීඩ් කතුවරයාගේ A Live කෘතිය ඔබ තවමත් කියවා නැතිනම් කියවිය යුතු ම  පොතක් යැයි සිතේ.

Friday, October 16, 2015

පාලුයි, නිසන්සලයි. අහමුද ගීතයක්?

පෝස්ට් එකක් දාලා සතියක් යනකොට මෙන්න ආයෙත් පොඩි නිදහසක් ලැබුනා. ඊයෙ වෙනකල් බ්ලොග් බලන්නවත් නිදහසක් නැතුව හිටපුකොට පෝස්ට් කොහේ දාන්නද? තවමත් කලින් නිදහස හොයාගන්න බෑ. මේ දවස්ටිකේ බොහොම වැඩ නිසා මේකෙ පාලු මැකෙන්නත් එක්ක ආයෙත් සින්දුවක්ම දාල යන්නම්.

අද ගෙනාපු පාලු නිසන්සල කියන ගීය රචනා කලේ මගේ හොඳ මිතුරෙක් වෙච්ච, දැනට කොච්චිකඩේ ඉස්කෝලෙක උගන්වන, NVTA හිටපු IT උපදේශකයෙක් වෙච්ච කැලුම් ප්‍රසන්න සූරියගේ සහෝදරයා. මේ ගීතය කැලුම් අයියගෙ අද්දැකීමක්ද කියන්න මම නොදැන හිටියත් ඕඩියෝ අහපු අයනම් කිව්වෙ තමන්ගෙම අද්දැකීමක් වගෙයි කියලා.

මේ ගීතයට සංගීතය දුන්නේ නාලක අන්ජන කුමාර කියන සංගීත වේදියා. ඔහු ගැන සංගීතය ගැන දන්න අයනම් දන්නව ඇති. මම ඒ ගැන අලුතෙන් කියන්න ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. වචන හොඳින් තෝරා බේරාගෙන සංගීතය මුසුකල බව මට හොඳින් දැනෙනවා. මේ ගීතය ආපු දවස්වල මම අදට වඩා මේකට ආසයි.

ඊලඟට ගායනය. මේ ගායනයත් මම කලින් පෝස්ට් එකේ ගායකයා විදිහට හඳුන්වා  දුන් තිස්ස ජයරත්නමයි. මේ ඔහුගේ දෙවැනි ගීතය.

ඔන්න දැන් මට කතෘ බාග ගෙවන්න කියන්නෙපා. මම මේ තුන්දෙනාගෙම නම් ප්‍රසිද්ද කරලා ඉවරයි.

මේ ගීතය ඇතුලත් වන සංයුක්ත තැටිය ගැනත් වචනයක් හෝ කියන්නම ඕනෙ. මම කැම්පස් ඉන්න කාලෙ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලය විසින් ගී නිර්මාන එකතු කළා. පසුව ගායකයින්ටත් ආරාදනා කළා.නිර්මාන අතරින් හොඳ නිර්මාන 16ක් එකතු කරගෙන ගායකයන් 17ක් විතර එකතු කරගෙන CD තැටියක් නිර්මාණය කලා. එය (විකසිත සිත්) නමින් දොරටවැඩුනා. මේ එකී CD තැටියේ 11වන ගීතය.

අහල බලලා හොඳ නරක කියන්න. මට නෙවෙයි. කැලුම් අයියටයි, තිස්සටයි, නාලක අයියටයි.


පාලු නිසන්සල කඳු වැටි යායේ අප හමුවූවා මතක තියේ
සෙනෙහස උස් කඳු මුදුනින් බැහැලා සුලඟ වගේ ඔබ වෙන්ව ගියේ.

කඳු පාමුල පිපි සමන් පිච්ච මල් මතක සුවඳ ඇත එදා වගේ
විකසිත වූ ඔබ සුවඳ විහිදුවා නෑඹුල් සුවඳකි ලය මඩලේ

පර මල් දෝතට ගත්තාදෝ මා වෙන්වී යනතුරු නැහැ හැඟුනේ
හමුවී දවසක හිනහෙමු දෙන්නා එක පොකුරේ මල් දෙකක් වගේ.


Friday, October 9, 2015

ගීතයකි ඔබ...



ආයුබොවන්! ඔයාල බොහොම සතුටින් ඇති කියල හිතනවා. අද මම අරන් ආවෙ කතාවක්වත්, කවියක්වත්, අද්දැකීමක්වත් නෙවෙයි. අද ගෙනාවෙ ගීතයක්. මේ ගීතය මට දෙපැත්තකින්ම සම්බන්දයි. ඒ කියන්නෙ මේ ගීතය ගයන තිස්ස ජයරත්නත්, ලියපු ලාල් වේරගොඩත් මගේ බොහොම සමීපතමයන් නිසා.

තිස්ස කියන්නෙ මගෙ හොඳ මිතුරෙක්. ඒ වගේම බැචෙක්. දක්ශ ගායන ෂිල්පියෙක්. ඒගැන ඉතින් මගෙ මිත්‍ර බැචෙක් වන බ්ලොග් මිතුරු වර්නයාත් සාක්ශි. මේ ඔහුගේ ප්‍රතම ගීතය නොවෙයි. ඔහුගේ ප්‍රතම ගීතය වුනේ නාහල්ලේ වජිරඥාන හිමියන් විසින් ලියා, අසංක හෙට්ටිආරච්චි සහෝදරයා විසින් තනුව යොදා සංගීතය සැපයූ (නමාමි බුද්ධං) කියන ගීතය. මේ ඔහුගේ තුන්වැනි ගීතය.

ලාල් වේරගොඩ කියන්නෙ මගේ උසස්පෙල ගුරුවරයෙක්. ඔහු ගුවන්විදුලියෙත් ඔබ අසා ඇති හඬක්. දැනට ගීත රාශියක් ලියා ඇති තරුන ගුරුවරයෙක්.

මේ ගීතයට ස්වර රටා එකතුකලේ චන්ද්‍රරත්න ඉලේපෙරුම නම් සංගීත වේදියා. මා ඔහු ගැන එතරම් තොරතුරු නොදන්නානිසා මේ ඇති.

හරි එහෙම බලනකොට මේක ගුරුවරයා ලියා තම ශිෂ්‍යා ලවා ගායනා කරවන අපූරු ප්‍රේම ගීතයක්. මම තවත් නොලියා ඔබට ගීතය අහන්න අවස්තාව ලබාදෙන්නම්. මම මේ ගීතය ගැන මොකුත් නොකියම යන්නෙ ඔයාලට ඒ තැන ඉතුරු කරලා. එහෙනම් මේ ගීතය ගැන ඔයාලට හිතෙන දේත් මෙතනම කියලා යන්න.



ගීතයකි ඔබ මගේ තත්සර රාවයේ
තනුව ඔබමය මගේ පද වැල් මාලයේ
හදින් හද මුමුනනා
සවන් අතරේ රැවු දෙනා.
ගීය ඔබමය තනුව ඔබමය මිහිරියේ...

සොයා එමි මම සුමුදු ඔබ රුව
හිඳිනු මැන මා එන තුරා.
ඔ‍බේ හඬ මම අසා සිටියෙමි
විහඟ ගීයක රැවු දෙනා...

ඔබ මගේ වී මා ඔබේ වී
එකම සෙවනක තනි වෙලා
මදු මලින් මල් මාල ගොතලා
පලඳවමි ඔබ ගෙල වටා.

ගායනය: තිස්ස ජයරත්න
පද රචනය: ලාල් වේරගොඩ
සංගීතය: චන්ද්‍රරත්න ඉලේපෙරුම