Sunday, June 26, 2016

අමුතු කතාවක් 7: යලි උපන්නෝ


 අත්භූත බලවේගයේ කරදරයට හිරිහැරයට පත් වෙලා හිටිය වලව් වැසියන්ට දෙවුමිණී ගෙන දුන් පීඩාව හරියට කබලෙන් ලිපට වැටීමක් වගේ උනා. කරදර පිට කරදර. ගම් නියන්ගම්වල තියන පංසල් දේවාල ගානේ යනකොට දෙවුමිණී ගැනත් අමතක නොකර ඇහුවා බැලුවා. සඳමිණීට තිබුණු ගැටලුව තමයි දෙවුමිණීට අම්මාත්, තමාවත් රුස්සන්නේ නැත්තේ ඇයි කියන එක. මේ ගැන හිත හිතා උන් සඳමිණී එක දවසක සඳලතාගෙන් ඒ ප්‍රශ්නෙ කෙලින්ම ඇහුවා..
“ඇයි අම්මේ නංගිට අම්මවයි, මාවයිම පෙන්නන්න බැරි. අප්පච්චි එක්ක එහෙම නෑනේ.
“ම්ම්.. ලොකූ ඔයා දන්නෙ නැති ගොඩක් දේ මේ ගේ ඇතුලේ තියනවා.
“ඒ මොකක්ද අම්මා? ඇයි මටවත් කියන්න බැරිද?
සඳලතා හිතුවේ මේ හැම දෙයක්ම කවුරුන් හෝ දැනගෙන සිටිය යුතුයි කියලා. මොකද මේ දේවල් කවදාවත් දෙවුමිණීට කියන්න බැරි නිසා. ඊයේ පෙරේදා ගිය දේවාලෙකින් කියුවෙත් පරණ කතාවක්මයි.
“හරි මං ඔයාට කියන්නම්කෝ. හොඳට අහගන්න.  මං බැන්දේ 1991 දී. එතකොට මට වයස 36 යි. මං ඔයාලගේ අප්පච්චිට වඩා අවුරුදු 6 ක් වැඩිමල්.
“ඔව් මං ඒක දන්නවා. ඇත්තටම ඇයි අම්මා එච්චර වයස යනකල් හිටියේ?
“අපේ වලව් පරම්පරාවේ, ඒ කියන්නේ දන්න කියන කිසිම වලව්වක මගේ වයසට හරියන කෙනෙක් හිටියේ නෑ. ඇත්තම කියුවොත් හිටියේ නෑ නෙවෙයි හැම වලවුවකම කවුරුහරි කෙනෙක් පරම්පරාවෙන් පිට කසාද බැදලා තිබුනා. එහෙම තැන්වලින් නෑකන් පවත්වන්ට  මගෙ අප්පච්චී කැමති උනේ නෑ. ඒකයි එච්චර කල් ගියේ. මේවලව්වේ හිටිය රන්දුණු බණ්ඩාර, ඔයාලගේ අප්පච්චිත් බැදල හිටියේ නෑ ඒ ප්‍රශ්නෙම නිසා. බලනකොට ඒ වෙනකල් පිටින් කසාද කරලා තිබුනේ නැත්තේ අපේ වලව්වෙයි, මේ වලව්වෙයි විතරයි. අන්තිමට වයස පැත්තක තියලා අපි දෙන්නව බන්දන්ට අපේ අම්මලා අප්පච්චිලා තීරනේ කළා. අපි ඉස්සර ඉදලා අදුනනවා. නෑදෑයොනේ. අපිත් කැමති උනා.
“ඒකට කමක් නෑ අම්මා. දැන් එහෙම දේවල් වෙනවනේ.
“මං මේ වලව්වට ඇවිත් සතියක් දෙකක් යනකොට පුදුම දෙයක් උනා ලොකූ. මට අද වගේ මතකයි. මට එදා තමයි මරණ බය දැනුනේ.
“ඒ ඇයි අම්මා.
“මං ඉස්කෝලේ වැඩක් කර කර සාලේ හිටියේ.  නිලමේ සොල්දරේ තියන පරණ ගබඩාවට ගියා මොනව හරි හොයන්ට. ටික වෙලාවකින් මට දැනුනා කවුරු හරි මගෙ පිටිපස්සෙන් ඉන්නවා වගේ කියලා. මං පුංචි කාලේ ඉදලා ආව ගිය තැනක් හන්දා මං දන්නවා ඉදහිට මේ වලව්වේ අඳුරු හෙවනැලි පාවෙනවා කියලා. මං ඒවට බය නෑ. ඒත් මට ඒ වෙලාවේ ලොකු වෙනසක් දැනුනා. බලනකොට.
එදා සඳලතාට දැනුන භීතිය ඒ මොහොතෙත් සඳමිණීට ඇයගේ මූනෙන් පෙනුනා.
“නිලමේ කඩුවකුත් තියාගෙන මට කොටන්ට බලන් ඉන්නවා.
“මොනවා. ඒ ඇයි?
“මං කෑගහගෙන කුස්සියෙන් එලියට දියුවා. නිලමේ මගෙ පස්සෙන්ම ආවා. තෝ අද මරණවා. කියලා කෑගැහුවා. මං වලව්වෙ හැම තැනම දිවුවා. අන්තිමට ඔයාලගේ ආතායි, වැඩ කරන මිනිස්සුයි ඇවිත් නිලමේ අල්ලගත්තා. ඊට පස්සේ නිලමේට සිහිය නැති උනා. සිහිය ආවම වෙච්ච දේ  ආතයි මායි කියුවා. එයා දන්නෑ මොකද උනේ කියලා. ඉන්පස්සෙත් එහෙම වෙච්ච දවස් තිබුනා. නිලමේ මාව මරන්ට හැදුවා. මං කොහොම හරි වලව්වෙන් පිටට ගිහින් හරි බේරුනා. මට තේරුනා නිලමේට මේක වෙන්නේ පරණ ගබඩාවට ගිහාම කියලා. නිලමේටත් ඒක තේරිලා තිබුනේ. නිලමේ ගබඩාවට යන්නේ මට කියලා. ටික වෙලාවක් යනකල් එයාට පේන්ට ඉන්ට එපා කියනවා. එහෙමත් නැත්තන් උවමනාවක් උනාම අපි කවුරුහරි යනවා.
“ඒ නිසා ද තාමත් අපි කවුරුහරි ගබඩාවට යන්නේ.
“ඔව් ලොකූ.
සඳමිණීට ඒ වේලාවේ පරණ ගබඩාවේ සිතුවමක් සිතේ ඇදුනා. පරණ පිත්තල බාණ්ඩ, තඹ බාණ්ඩ, පරණ පුස්කොළ පොත්, තඹ සන්නස් ආදී කොච්චර වටිනා දේ ඒ තුළ  පුරවා තිබුනත් කාමරේ පැතිරී තිබුනේ මොන තරම් පාලු මූසල ස්වභාවයක් ද කියලා ඇයට මතක් උනා.
“ අම්මට එපා උනේ නැද්ද? රත්නපුරේ  ගියේ නැද්ද?
“මං ඉවසගෙන හිටියා ලොකූ. මොකද මං එහෙම ගියොත් අපි හැමෝටම ලැජ්ජාව විතරයි. අනික නිලමේ ඒක හිතලා කරන දෙයක් නෙවෙයි කියලා මට ඉක්මනටම තේරුනා. මොකද එහෙම සිද්ධිවලින් පස්සේ එයා ගොඩාක් දුක් උනා. පළවෙනි දවසේ නිලමේ පොඩි ළමයෙක් වගේ ඇඩුවා.
“ඉතින් ඊටපස්සේ
“ඔයාලගේ ආතා මට ඒ දවස්වල තව කතාවක් කියුවා.
“ඒ මොකක්ද?
“නිලමේගේ කේන්දරේ බලපු ගොඩාක් තැන්වලින් කියුවාලු එයා මේ වලව්වේ උරුමක්කාරයෙක් කියලා. මේ වලව්ව හදලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙලු. රජතුමාගෙ ප්‍රධානම නිලමෙ කෙනෙක් තමයි මේ වලව්ව හදල තියෙන්නේ. රජතුමත් මේ වලව්වට ඇවිත් සන්නසක් බාර දීලා තියනවාලු.නිලමේ  මේ වලව්ව හදපු ඒ කෙනාගේ ඒ ආත්මේ සහෝදරයාලු. ආත්ම ගානකට පස්සේ ආයෙත් මේ වලව්වෙම ඉපදිලාලු..
 “එතකොට අපි?
“අන්න එතන තමයි ලොකූ ප්‍රශ්නෙ.
“ඒ කියුවේ.
“මේක ඉස්සරත් දවසක පප්පා, නිලමෙගේ අප්පච්චි කියුව. පොඩී ඒ කාලේ මේ වලව්වේ හිටපු බොහෝම සැරපරුශ කුමාරිහාමි කෙනෙක්ලු. එතකොට අපි දෙන්නා ඉස්සර ඉදලා මේ වලව්වේ වැඩ කරපු වැඩකාරයෝ දෙන්නෙක්ලු. ඉස්සර ඔය කතාව පප්පා කියනකොට මං විස්වාස කළේ නෑ. එයාට මේ විස්තර කියලා තියෙන්නේ පංසලේ ලොකු හාමුදුරුවෝ. එයාට එහෙම හැකියාවක් තිබුනා.
“තව මොනවද අම්මේ කියුවේ?
“ඔය දෙන්නටම මාරක තියනවා ඒවයෙන් බේරගන්ට කියුවලු. ඔය දෙන්නගෙන් එක්කනෙක් මැරෙන්නේ අනිත් කෙනාගේ අතින් කියුවලු. ඒකයි අපි ඔයාලා දෙන්නව ඈත් කරලා තියන්ට බලන්නේ ලොකූ. අර මේ වලව්ව හදපු නිලමේ,  කඩුකස්තාන පැලදගෙන එයත් මේ ඉඩමෙම තැනකට වෙලා බලාගෙන ඉන්නවාලු. තව ඉස්සර ඉදලා වලව්වේ හිටපු අය, වලව්වේ වැඩකරපු ආවගිය අය අනූවක් විතර මේ ගේ ඇතුලෙයි මේ අවටයි ඉන්නවාලු.

“අනූවක් විතර?
“ඔව්ලොකූ මං මේ කියපු ඒවා ඔයාට විස්වාස කරන්ට බැරුව ඇති. ඒව ඇහුවම මටත් එහෙම උනා. ඒවගෙ ඇත්ත නැත්ත මං දන්නෑ ලොකූ. ඒත් වෙන දේවල්වල හැටියට මගෙ හිත දැන් ඒවා පිළිගන්නවා. ලොකූ අපි මේවට ආස කළේ නැතුවට ඉස්සර මේවයෙ ජීවත් වෙච්ච අය, ආව ගිය අය මේවට ආසා කළා. මැරිලවත් යන්ට හිතක් නැත්තෙ ඒකයි. මං මේ වලව්වට ආව දවසේ ඉදලා දුක් වින්දා. තාමත් එහෙමයි. මට මේ දුක මැරෙනකල් උහුලන්ට වෙනවා. මට ඒ ගැන දුකක් නෑ. ඔයාටත් එහෙම වෙයි කියලා මට බය.
ඇත්තටම අම්මා කියපු දේවල් ආයෙ ආයෙත් හිතනකොට සඳමිණීට හිතාගන්ට බෑ. විස්වාස කරනවාද? අවිස්වාස කරනවාද කියලා ප්‍රශ්නාර්ථයක් විතරයි ඉතුරු උනේ. සඳමිණී දුටුවේ මෙතෙක් කල් ඉහිලූ දුකටත් දරු ස්නේහයටත්, අම්මාගේ ඇස අග රැඳුණු කඳුලු බිංදු. ඒත් එක්කම ඒ කඳුලට තනි රකින්න සඳමිණීගේ ඇසටත් කඳුලක් ගලා ආවා.


මතුසම්බන්ධයි..

Tuesday, June 21, 2016

අමුතු කතාවක් 6: අමුතු චරිතයක් සහ අමුතු විහිලුවක්

“කුමාරිහාමි උයනවා නේද? හරි මං කියන එක අහන් ඉන්ට මොකුත් කියන්ට එපා. මට පොඩී ගැන ලොකු බයක් තියනවා. එයා දැන් වෙනදටත් වඩා ගොඩක් වෙනස්.. දරුනුයි. අපි අර දේවාලෙට ගියාම පොඩී ගැනත් අහලා බලමු.
නිලමේට කතාව ඉවර කරන්න ලැබුනේ නෑ.
  “මං ගැන නේද ඔය කතා කර කර හිටියේ. කවුරුත් මං ගැන බය වෙන්න ඕනෙ නෑ. අනික ඔය දේවාල ගානේ ගිහින් රස්තියාදු වෙන්නත් ඕනෙ නෑ. ඔයාලට පිස්සු උනාට මට එහෙම නෑ. .
උඩුමාලේ තද නින්දක සිටි දෙවුමිණී කුස්සියට පැමිණ එහෙම කියනකොට දෙදෙනාට හිතාගන්න බැරි උනා මොනව කියන්නද කියලා. සඳමිණී ගැන දෙමාපියන් තුළ ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබුනට දෙවුමිණී ගැන එහෙම නෑ. ඒකට ගොඩක් හේතු තිබුනා. ඒක සිද්ධ උනේ මෙහෙමයි.

“අම්මෙ මං ඊයේ හීනෙන් දැක්කා සීයා ඇවිත් මාව නාවනවා. තව කෙනෙක් ඔලුවෙ තෙල් ගෑවා
දෙවුමිණී මෙහෙම කියුවේ මල්වර වෙලා ගෙට වී හිටපු  හතරවෙනි දවසේ උදේ.
“ඔයා ටික දවසකින් සීයව දැක්කෙ නෑනෙ පොඩී. ඒ නිසා එහෙම දකින්න ඇත්තේ.
 සඳලතා දෙවුමිණීට කියුවේ එහෙමයි.ඒත් කාටත් අහින්සක, හුරතල් දැරියක් වුණු දෙවුමිණී වෙනස්, අමුතු චරිතයක් වෙන්න පටන්ගත්තේ මෙන්න මේ සිද්ධියෙන් පස්සෙයි.  දෙවුමිණී අක්කාටත් කලින්ම මල්වර උනා. එයින් දවස් තුනකට පස්සේ නිලමේගේ පියා, ඒ කියුවේ දෙවුමිණීගේ සීයා මියගියා. දෙවුමිණී හීනය දැක තිබුනේ ඔහු මළ දා රාත්‍රියේ. ඇය මල්වර වී කාලයක් යනකොට ඇයට අම්මාව, තමන්ට සොයුරියක් වගේම මිතුරියක් ද වුණු අක්කාව නයාට අඳු කොළ වගේ වෙන්න පටන්ගත්තා. ඇයට ප්‍රිය උනේ පියා පමණයි. කොහොම උනත් වලව්වේ කාටත් මුහුණපාන්න සිද්ධ වුණු අත්භූත බලවේගයේ කරදර වලට අමතරව දෙවුමිණීගේ කරදර වලිනුත් පීඩා විදින්න සිද්ධ උනා. ඒ වගේම ඇයගේ නීති රීති තහංචි වලටත් යටත් වෙන්න සිද්ධ උනා.
 දෙවුමිණිගේ තහංචි කීපයක් මෙහෙම කියන්න පුලුවන්.
උයනකොට සඳලතාට කතා කරන්න තහනම්. ඒ උයන කිසිම දෙයක් රස බලන්නවත් ඉදුල් කරන්න බෑ. දෙවුමිණීට පෙර කෑම කන්න පුලුවන් නිලමේට විතරයි. ඇයගේ කිසිම දෙයක් වෙන කිසිම කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ.ඇය නිදා ඉන්නකොට රූපවාහිනිය හරි ගුවන්විදුලිය හරි දාලා තියනවා නම් ශබ්ධය ඇහෙන්න බෑ.
මේවා කඩ කරනවා කියන්නේ හට්ටි මුට්ටි පිගන් කෝප්ප ආදී සියල්ල පොලවේ ගසා කුඩු කර වලව්ව යුධ පිටියක් වෙනවා කියන එකයි. සඳලතා උයන විට වැරදීමකින් හරි කතාකළොත් දෙවුමිණීකොහේ හිටියත් එනවා. ඇවිත් අම්මාට පහර දෙන්නේ යක්ෂනියක් වගේ. බේරන්න යන සඳමිණීටත් නිලමේටත් ඊටත් වඩා ගුටි කන්න වෙනවා. ඇය යම්තම් හෝ මෙල්ල කර ගන්න පුලුවන් නිලමේට විතරමයි.
 දවසක් දෙවුමිණී සඳමිණීට කොයිතරම් පහර දුන්නද කියුවොත් සඳමිණී බිම දාගෙන පහර දීලා අන්තිමට ඇයගේ දනිස් උඩ හිටගත්තා. ඒ වෙලාවේ නිලමේ එතනට නො ආවානම් එදා සඳමිණී දෙවුමිණී අතින් මිය යනවා සිකුරුයි. සඳලතාත් සඳමිණීත් දෙවුමිණීගෙන් මේ විදිහට පහර කෑම නිලමේට දරා ගන්න පුලුවන් දෙයක් උනේ නෑ. ඔහු පුලුවන් තරම් උත්සහ කළේ මේ අය ඈත් කරලා තියන්න. ගැටුම් ඇති නො වන විදිහට කටයුතු කරන්න. සමහරක් වෙලාවට නිලමේටවත් දෙවුමිණී මෙල්ල කර ගන්න පුලුවන්කමක් නෑ. තවත් දවසක් දෙවුමිණීට සෝයා ව්‍යංජනයක් හදමින් සඳලතා ඉන්නකොට සඳමිණී එතනට ආවා. උයනකොට කතාබහ නැති නිසා කිසිවක් නොකියාම සඳමිණීට සෝයා කෑල්ලක් දුන්නා. දෙවුමිණී කොහෙන් කොහොම ආවද කියලා දෙදෙනාටම හිතාගන්න බැරි උනා.
“උඹ මොකක්ද ඒ කලේ? මේ හිගන්නිට සෝයා දුන්න නේද? මං කියලා තියනවා මට කලින් තොපි දෙන්නට කෑම ඉදුල් කරන්න බෑ කියලා
කියමින් හැලියත් පොලොවෙ ගසා කුමාරිහාමිටත්, සඳමිණීටත් දරුණු විදිහට පහර දුන්නා.
“අනේ උඹට හොඳක් සිද්ධ වෙන්නෑ.
කුමාරිහාමිගේ මුවින් පිට උනේ ඒ වගේ වඳන් පෙලක්. මේ සිද්ධි දිගින් දිගටම වීමෙන් සිදුවුනේ මව සහ දියණිය කියන බැදීමත්, සහෝදර බැදීමත් දියවී යාමයි. නිවසේ සිදුවන අත්භූත සිදුවීම් වලට ද දෙවුමිණී වගකිව යුත්තෙක් ද කියලා හොයා බැලුවත් එහෙම දෙයක් හොයාගන්න බැරි උනා. ඇයට ශාන්තිකර්ම, පූජා වගේම මනෝ ප්‍රතිකාර ලබා දෙන්න උත්සහ කරත් ඒක කරන්න බැරි උනා. දැන් දැන් නිලමේටත් ඇයව පාලනය කර ගන්න පුලුවන්කමක් නෑ. නිවසේ වන අත්භූත සිදුවීම් ගැන ඇය කිසිදු තැකීමක් හෝ භියක් නොදැක්වීමත් කාටත් ප්‍රෙහේලිකාවක් උනා වගේම පනිවිඩකරු ලබා දෙන පනිවිඩ වලට දෙවුමිණීගේ අවනත බව පුදුම සහගත උනා. ඇයගේ උමතු බව දරුණු බව වලව් වැසියන්ට පැවති තත්ත්වය මත කිසිසේත් දරා ගත නො හැකි තත්ත්වයට පත් වෙන්න පටන්ගත්තා.
මේ අතරේ වලව්වේ තිබුනු කුකුළා පහණ මත හැම උදේකම රුපියල් සීයෙ කොළයක් ගෙනත් තිබ්බා. හැබැයි ඒ දවස්වල කාගෙවත් සල්ලි අඩු උනේ නෑ. නිලමේ මේ සල්ලි එකතු කරලා මාසෙකට පස්සේ දවසක දානයක් දුන්නා. දානෙ දුන්න දාට පස්සෙත් උදේට කුකුළා පහණ මත සල්ලි තිබුනා. එහෙම දවසක කුමාරිහාමිට මෙහෙම කියවුනා.
“හැමදාම සීයෙකොළම ගෙනත් තියන්නේ දාහක් දෙදාහක් ගෙනත් තිබ්බනම් මොකද වෙන්නේ. අඩුමගානේ පංසීයක්වත්.
ඇත්තටම පහුවදා රුපියල් දාහේ කොළ දෙකක් පහණ මත තිබුනා. කාටත් අදහා ගන්න බැරි උනා. ඉස්කෝලේ යන්න සූදානම් උණු සඳලතා දුටුවේ තමාගේ පසුම්බියේ තිබුණු මුදල් නැති බවයි.


මීලඟ කොටසින් හමුවෙමු.

Thursday, June 16, 2016

අමුතු කතාවක් 5: හසුවීම හා අනාගතය තීරණය වීම


 “මං අද උඹලා ගෙන්න ගත්තේ බිළි ගන්ට. ඒත් මං අන්තිමට තීරනේ වෙනස් කළා. ඒ නිසා උඹල තුන්දෙනා බේරුනා කියලා හිතාගනින්. ඒත් මං අතහරින්නෙ නෑ. අන්න ඒක මතක තියාගනිල්ලා.
මේපනිවිඩය දුටු කාගෙත් සියොලඟ ගැහෙන්න පටන්ගත්තා. මෙතුවක්කල් දැනුන මරණ භිය තවත් වර්ධනය වූවා. රාත්‍රී නින්දට යන කවුරුත් භය උනේ තමා හෝ නිවසේ වෙනත් කෙනෙක් මේ අත්බූත බලවේගය බිළිගනීවි කියලා. ඒ බය මේ වන තුරු සැකයක් පමණක් උනත් දැන් සැකයක් නො වන බව මෙයින් කාටත් වැටහුනා. නිලමේ තීරණය කළේ යන්නට කියන කිසිම ස්ථානයකට මින් පසු නො යන බවටයි. ඒ වගේම නොයන්න කියන ගමන් පිළිබඳව ද සැලකිලිමත් වෙන්න පටන්ගත්තා.
පනිවිඩ කරුවෙක් නැති පනිවිඩ නිසා ගොඩක් කරදරයට පත් උනේ සඳමිණී. මොකද මේ බලවේගය නිතරම උත්සහ ගත්තා ප්‍රදීප්ගෙයි, සඳමිණීගෙයි ප්‍රේම සම්බන්ධය වලව්වැසියන්ට හසු කර දෙන්නට.
“ලොකූ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නේ. ඒ පන්තියේ ම ප්‍රදීප් කියන කොල්ලා. උඹලා දන්නවානේ ඌ අර හන්දියේ රෙදි කඩයක් දාගෙන ඉන්න රංජනීගෙයි, අමරදාසගෙයි පුතා. උන් අපේ පැලැන්තියට පෑහෙන එව්න් නෙවෙයි. උඹලා ඕක නවත්තපන්. නැත්තන් මං නවත්තන්නම්.
මේ වගේ පනිවිඩ හැම දාම ලැබුනත්, සඳමිණී ඒවා හොයලා විනාශ කළා. මේ පනිවිඩ සඳලතාගේ අත්බෑගයේ, පසුම්බියේ පවා දැම්මා. නිලමේගේ මේසය උඩ තිබ්බා. ඒත් නිලමෙටත් සඳලතාටත් ඇස් පෙනීම අඩු නිසා මේවා කියවන්න කියන්නේ සඳමිණීට.
“ලොකූ මේක කියවන්න. මොනව කියලද දන්නේ නෑ?”
“ආ මේක වෙන කොළයක් අම්මේ. වැඩක් නෑ
“මේකෙ තියෙන්නේ හෙට කොහෙවත් යන්ට එපා කියලා
සඳමිණී හැම වෙලාවකම කියුවේ ඒ වගේ දේවල්. බොරු කියනකොට සඳමිණීට ප්‍රති උත්තරත් ලැබුනා.
“උඹ වැරද්ද කර කර තව බොරුත් කියනවානේද? උඹ ඔය රවට්ටන්නේ උබේ අම්මයි අප්පයි කියන එක මතක තියාගනින්. අද හවසට මං කොහොම හරි උබේ කෙරුවාව අල්ලලා දෙනවා.
බය උණු සඳමිණි කළේ නිවසේ මල් පහන් තියන තැනට ගිහින් කීමයි.
“අනේ මාව අල්ලලා දෙන්න එපා මං මේක නවත්තන්නම්.
“හරි මං උඹට සතියක් දෙනවා. ඒ කාලේ ඇතුලත නැවැත්තුවේ නැත්තන් අරූට කරන දේ බලාගනින්.
“අනේ එයාට මොකුත් කරන්න එපා. මං නවත්තන්නම්.
 සඳමිණී කියන හැම දේටම උත්තර ලැබුනේ ලිකිතව. ඒ හැම කඩදාසි කැබැල්ලක්ම සඳමිණී අතට ගත්තේ ගැහෙන සිතින්. සඳමිණී බිය උනේ ප්‍රදීප්ට කරදරයක් කරාවී කියලයි. සම්බන්ධය නතර කළේ නෑ. ඒ වෙනුවට එයා කළේ තමන්ගේ වැඩ පාඩු කරගනිමින් හැම වෙලාවේ ම පනිවිඩකරු ලබා දෙන පනිවිඩ සොයා විනාශ කිරීමයි.
දවසක් දහම්පාසල් ගොස් පැමිණි සඳමිණීට  කුමන හෝ මොහොතක අපේක්ෂා කළ ඒ සිදුවීමට මුහුණ පාන්නට සිදුවුනා.
“ලොකූ මෙහෙ එනවා
“ඇයි අප්පච්චි?
“ඇයි අප්පච්චි? වැදගත් ගෑණු ළමයෙක් කරන වැඩක්ද මේ කරලා තියෙන්නේ? පොඩී මෙහෙම දෙයක් කළාට අපිට දුක නෑ ලොකූ. ඔයා මෙහෙම කරයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.
“ඇයි අම්මා මං කරපු වරද මොකක්ද?
“මොකක්ද? මේ බලනවා මේවා. එතකොට මේ පනිවිඩේ.
කියමින් කඩදාසි ගොඩක් සඳමිණී ඉදිරියේ සඳලතා තිබ්බා. සඳමිණීට ප්‍රදීප් දුන් ආදර හසුන් සියල්ල එතන තිබුනා. අර පනිවිඩෙත් සඳමිණී කියෙව්වා.
“ලොකූගේ අච්චු පොත්වල පිටකවර ගලවලා බලපන්. දෝනියැන්දගේ කෙරුවාව බලාගන්ට පුලුවන්වෙයි.
සඳමිණීට වෙලා ඇති සියල්ල වැටහුනා. මේ වෙනකල් ප්‍රදීප්ගේ ආදර හසුන් සගවලා තිබුනේ ඉස්කෝලේ පන්තියේමයි. ඒත් හදිසියේ පන්ති වෙනස් කළ නිසා සඳමිණී ඒවා සිකුරාදා පන්තියේ දී අච්චු පොත්වල පිට කවර අස්සේ දැම්මා. සඳුදා ඉක්මනින් වෙනත් තැනක සඟවන්න ඇරන් යන්නයි හිතාගෙන හිටියේ. ඒත් සඳමිණීට හිතන්නවත් කාලයක් ලැබුනේ නෑ.
“ඔය පනිවිඩේ කියෙව්වට අපි ගනන් ගත්තෙ නෑ. අන්තිමට ඔයාගෙ අච්චු පොත් ඔක්කොම අපි ඉස්සරහට ඇවිත් පිට කවර ගැලවෙන්න පටන්ගත්තා. එතකොට තමයි අපි මේ ලිවුම් දැක්කේ.
සඳලතා වෙච්ච සිද්ධිය කියුවා.
“ලොකූ ඔය කියන ළමයා අපි දන්නවා. ඒ අය අපිට ගැලපෙනවද? ඕක දැනගත්තොත් අම්මට ඉස්කෝලේ කොච්චර ලැජ්ජාවක්ද? ඇයි ඒ ගැන පොඩ්ඩක් හිතුවේ නැත්තේ?
ලොකු ඔයා මේ අද ඉදලා මේක නවත්තන්න ඕනේ. එච්චරයි අපේ තීරනේ.
“අපිට මොනතරම් ප්‍රශ්න තියනවාද? ඔයා තාම පොඩි ළමයෙක්.
  “නිලමේ මං ඔය ළමයා හෙට හම්බෙලා මේක තේරුම් කරන්නම්. නිලමේ ඒ ළමයගෙ දෙමවුපියෝ මුනගැහෙන්ට.
සඳමිණී කාමරයට වෙලා කඳුලු සලන්න උනා. අර බලවේගය එක්ක කියා ගන්න බැරි තරම් කේන්තියක් සඳමිණීට තිබුනේ. ඒ අතරේ
“උඹට මං කියුවා. උඹ ඕක නැවැත්තුවේ නැත්තන්, ගෙදර  අයට කියුවෙ නැත්නම් මං කියනවා කියලා. දැන් අඬලා වැඩක් නෑ.
එහෙම පනිවිඩයක් සඳමිණී ඉදිරියේ ලියවුනා.
 වලව්වේ පැවති තත්වය මේ වෙනකොට කාටවත් රහසක් උනේ නෑ. ඒත් සමහරක් දෙනා ඒ තත්ත්වය විශ්වාස කළේ නෑ. ඉස්කෝලේ ගුරුවරු, ළමයි වලව්වේ අයට පිස්සු කියා කතා උනා. විහිලු කළා. ඒත් මේ තත්ත්වෙ තේරුම් ගත්ත කීපදෙනෙකුත් ඒ අතරේ හිටියා. ප්‍රදීප් සඳමිණීට ඒ වගේ හමු උණු යාලුවෙක්. හැම ප්‍රශ්නයක්ම කියන්න තරම් හොඳ යාලුවෙක් වෙලා හිටියා. කාලයත් එක්ක ඒක වෙනස් වෙලා දෙන්නා පෙම්වතුන් උනා. ගෙදර වෙන ප්‍රශ්න කියලා හිත හදාගන්න, විසදුමක් හොයන්න ප්‍රදීප් සඳමිණිට සහය උනා.
පහුව දා කියුව විදිහටම ප්‍රදීප් ගෙන්නලා සඳලතා කතා කළා.  සම්බන්ධය නතර කරන්න දෙදෙනා පොරොන්දු උනා. නිලමේ ඔහුගේ දෙමාපියො හම්බ උනා. ඒත් දෙන්නගෙම හිත් වෙනස් උනේ නෑ.
සඳමිණීට කතා කළ නිලමේ මෙහෙම කියුවා.
“ලොකූ, මගෙ දුවේ අපි විශ්වාසයක් තියන් ඉන්නේ ඔයා ගැන විතරයි. නංගී හිටියට එයා කොහොම කෙනෙක්ද කියලා ඔයා දන්නවානේ. දැන් මට පොරොන්දු වෙන්ට ආයෙ මෙහෙම අපිට නොගැලපෙන දේවල් කරන්නෑ කියලා.
“මං පොරොන්දු වෙනවා අප්පච්චී.
“ඔයා දන්නවානේ ඔයාගේ සීය පප්පා කැමති නෑ අපේ පැලැන්තියෙන් පිට යනවට. මාත් කැමති නෑ. දැන් පිරිසිදු වලව් පැලැන්තියක් නෑ. හැම වලව්වක්ම අනිත් උන් එක්ක කළවන් වෙලා තියෙන්නේ. උදුළා නැන්ද බැන්දෙ නැත්තෙත් ඒකයි. මං ඔයාගෙ අනාගතේ තීරණය කරලා ඉවරයි ලොකූ.
“ඒ කියුවෙ අප්පච්චි.
“ඔයා බඳිනවා නම් බඳින්නේ පිරිසිදු වලව් පැලැන්තියකින් විතරයි. එහෙම නැති උනොත් මගේ පරම්පරාව මෙතනින් ඉවර වෙන්ට ඕනේ. ඒ කියන්නේ ඔයාට වලව්වක කෙනෙක් හම්බ උනේ නැත්තන් මුලු ජීවිතේම තනිකඩව ඉන්ට ඕනේ. ඔයාගේ නැන්දත් කළේ ඒකයි. ඔයාට ඒක කරන්ටම වෙනවා. ඒක ඔයාට අපි වෙනුවෙන් කරන්ටත් පුලුවන්. පොඩී ගෙන් මට මේ දේවල් බලාපොරොත්තු වෙන්ට බෑ.
මොනතරම් අසාදාරණ තීරණයක් උනත් ක්‍රියාත්මක වෙන්නේ ඒ තීරණය බව සඳමිණී වටහා ගත්තා.

සය වන කොටසින් හමුවෙමු...


Sunday, June 12, 2016

අමුතු කතාවක් 4.: පනිවිඩකාරයෙක් නැති පනිවිඩ



උදුලා කුමාරිහාමි  වැලඳී තිබුණ ලියුකේමියා රෝග තත්වයෙන් ම මිය ගියා. ඒ නිසා මොන තත්වයක් තිබුනත් ටිකිරිබණ්ඩාරට උනේ මළ ගෙදර කටයුතු අවසන් වෙනකල් අලුත් වලව්වේ රැඳෙන්නයි. ටිකිරිබණ්ඩාරත්, රූපත් හැම මොහොතක්ම ගත කළේ භියෙන්. සැකෙන්. තනියෙන් ඉන්න එක ඒ දෙන්නට මරණ භය ඇති කළා කියුවොත් නිවැරදි.
පරණ වලව්වේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙලයි   තිබුනේ. ගෙදරින් එලියට බහින්න විදිහක් නෑ. එක්කෝ ඇඳුම් පැලදුම් නෑ. නැත්නම් සල්ලි නෑ. මේ නිසා වලව්වේ ඈයන්ට ගොඩක් ප්‍රශ්න වලට මූණ පාන්න  සිද්ධ උනා.   මේ නිසාසඳමිණීගේත් දෙව්මිණීගේත් ඉස්කෝලේ ගමන සතියකට දවසකට දෙකකට සීමා වෙන්න පටන්ගත්තා. සඳලතාටත් මූණ දෙන්න සිද්ධ උනේ ඒ සංසිද්ධියටමයි. අතුරුදහන් වීම් විතරක් නෙවෙයි. කිසි අඩුවක් නැතුව සූදානම් වෙලා එලියට බහිනකොටම නිල් වතුරෙන් හරි මඩ වතුරෙන් හරි නාන්න වෙනවා. ඉතින් යන්න වෙන්නේ නෑ. මේ නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වාගෙම පංසල් දේවාල ගානේ යන්න පටන්ගත්තා. ඒත් ඒ ගමනුත් ගොඩක් මේ නිසා යන්න උනේ නෑ.  ඊට අමතරව තව සිද්ධියක් වෙමිනුයි තිබුනේ.

“උඹලට ඔය ගමන යන්ට වෙන්නෙ නැ. ගියොත් බලාගෙනයි.

මේ වගේ ලියැවුණු දේවල් හැම උදේකම කියවන්න ලැබුනා. මුලින් හිතුවේ කවුරුන් හෝ කරන ඔච්චමක් විදිහට. ඒත්  ලියපු කෙනෙක් නෑ. නිවසේ කිසිවෙකුගේ අත් අකුරු නො වන නිසා මේක මහ ප්‍රෙහේලිකාවක් උනා. ඔය අතරේ එක සෙනසුරාදා දවසක වලව්වේ මළගිය සියලු ඥාතීන්ට පින් පිනිස ගමේ පංසලට දානයක් පිළිගැන්වුවා. එදා දවල් සඳලතත් නිලමෙත් උන්නේ කතා කරමින් මැද සාලේ. ශර්ලක්හෝම්ස්ගේ පොත් දෙකක් කියවමින් දියණියන් උන්නේ මිදුලේ. නිවසේ තියන ප්‍රශ්න වලට රහස් පරික්ෂක කතාවල, අත්භූත කතාවලවත් විසදුම් ඇද්දැයි සොයන්නට දෙදෙනා උත්සහ ගත්තා. මේ අතරේ සාලේ තිබුන ටීපෝව මත අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන්ගත්තා. ටීපෝව මත තිබුණ කඩදාසියක් මත පෑනක් අතක් නැතිව යමක් ලියන්න පටන්ගෙනයි තිබුනේ. නිලමෙත් සඳලතාත් මේ සිද්ධිය දුටුවා. ඔව්න්ට කතා කර ගැනිමට හෝ නො හැකි බවක් දැනෙන්න උනා.

“අද මට ගොඩක් පින් ලැබුනා. උඹලටත් පින්. ඔය යන්තර මන්තර පස්සේ යන්නැතුව මට පින් දීපල්ලා.

ලියවී තිබුනේ එහෙමයි. මොහොතක් යන තුරු ම වන්නේ කුමක් දැයි අදහාගන්න බැරි උනා. මීට පෙර හැම උදේකම ලැබුන ලියැවිලිවලත්, මේ  ලියැවිල්ලේත් අකුරු සමාන බව කාටත් වැටහුනා.
දවසක් රාත්‍රී 8 ට පමණ නිලමේ ලියකියවිල්ලක් පිළියෙල කරමින් උන්නේ. ඒ අතරේ අර විදිහට කඩදාසියක් මත පෑනක් යමක් ලියන්න පටන්ගත්තා.

“අද රෑට වලව්වට හොරු පනින්ට ලෑස්ති. උන් 8 30 වෙනකොට වලව්ව කිට්ටුවට එනවා. 11 වෙනකල් බලලා යනවා කියුවා. සුදු පාට වෑන් එකක්. උඹ කුමාරිහාමියි, දරුවො දෙන්නයි එක්ක හොඳට දොරවල් ජනෙල් වහගෙන ගෙට වෙලා හිටපන්. මොන හේතුවකටවත් එලියට බහින්ට බෑ. ඉතුරු ටික මං බලාගන්නම්.

නිලමේ මේ ලියමන සෙස්සන්ටත් පෙන්නුවා. ඒත් සඳමිණීත් දෙව්මිණීත් මේක විශ්වාස කළේ නෑ. රාත්‍රී 9 ට විතර නිලමේ පිස්තෝලයකුත් රැඟෙන සාලයට වෙලා උන්නා.

“අනේ අප්පච්චි ඕක බොරුවක් වෙන්ට ඇති.

“අනේ ඔව් අප්පච්චි අපි ජනේලයක් ඇරලා බලමුකෝ ඇත්තද කියලා?

“ලොකූ, පොඩී මගෙ යකා අව්ස ගන්ට එපා. ඔය තුන්දෙනා බලාගන්ට ඕනෙ මං.

ඒත් එක්කම කඩදාසි කොළ ගුලියක පහරක් දෙව්මිණීට වැදුනා. දෙව්මිණී ඒක දිග ඇරලා බැලුවා.

“දකුණු පැත්තේ ජනලෙන් බලපන්. ඇත්ත බොරු පෙනෙයි තොපිට.

ජනේලයෙන් බැලුවාම කාරනේ සත්‍ය අසත්‍යතාව දකින්න ලැබුනා. සුදු පාට වෑන් රථයක් පාරේ කොනක නවත්තලයි තිබුනේ. කාරණේ ඇත්තක් නිසා පෙරටත් වඩා කාටත් භියක් දැනුනා.

“අප්පච්චි අපි පොලිසියට කියමුකෝ ඉතින්.

 “කොහොම කියන්ටද දරුවෝ. ටැලිපෝන් එකත් කපලා. එලියට ගිහින් කාටවත් කතා කරන්ට විදිහකුත් නෑ.

තමන් පත් වී ඇති අසරණ බව සඳමිණීට වැටහෙන්න පටන්ගත්තා. හරියටම රාත්‍රී 11 5 වෙනකොට වෑන් එක පිටත් උනා. හැමෝගෙම හිතට සහනයක් ලැබුනේ එවිටයි.

“තව ඇහැරලා ඉන්නේ මොකටද? ඔය ලයිට් ඕෆ් කරළා නිදාගනිල්ලා.

 විධානයක් නිකුත් උනා.මේ වෙන දේවල් එකින් එක අවුල් සහගත වෙනවා මිස කිසිම සහනයක් පේන්න නැති බවක් සඳලතාට දැනුනා.

“උඹලා අද ඉස්කෝලේ යන්ට එපා. පොඩීව මරන්ට මග රැකන් ඉන්නවා.
දවසක් උදේ මෙහෙම පනිවිඩයක් ලැබුනා.  පෙර වූ හැම සිද්ධියක්ම හරිගිය නිසා කවුරුත් මේ පනිවිඩේට අවනත බවක් දැක්වුවා.  ඒත් සඳමිණීට ඕනෙ උනේ ඉස්කෝලේ යන්නයි.

“අනේ මල විකාර. මට ඉස්කෝලේ යන්ට ඕනේ.

“ලොකූ විකාර නොකර ඉන්නවා. මොනවහරි උනොත් යන්ට වෙයි ඉස්කෝලේ.
“බෑ බෑ. මට යන්ට ඕනේ. නංගිටනේ එපා කියන්නේ.
එත් සමගම සඳමිණීට පනිවිඩේ ලැබුනා.

“හරි උඹ පලයන්. තොට දැන් මගුල් විසේ ගහලනේ තියෙන්නේ. තෝ යන්නේ අර ප්‍රදීප් කියන එකා බලන්ටනේ. හිටපන් ලඟදිම මං අම්මටයි අප්පච්චිටයි උඹේ වැඩ අල්ලලා දෙන්නම්.
මේ කියවපු සඳමිණීට තරු පෙනුනා. ප්‍රදීප්, සඳමිණී හැර මේ ගැන දන්නේ යහලු යෙහෙලියන් දෙතුන්දෙනෙක් පමණයි.
“හොඳ වෙලාවට මම මේක බැලුවේ.  වෙන කෙනෙක් බැලුවනම් ඉවරයි.
සඳමිණීට හිතුනේ එහෙමයි. එදයින් පස්සේ මේ පනිවිඩ ගැන සඳමිණී දැක්වුවේ භිය මුසු සැලකිල්ලක්. ඉන් පසුවත් කීප වතාවක්ම සඳමිණීට ප්‍රදීප් සමග තිබුණු සම්බන්ධය නවත්තන්නයැයි කියමින් තර්ජනය කරන පනිවිඪ ලැබුනා.
“ප්‍රදීප් කියන්නේ අපිට ගැලපෙන එකෙක් නෙවෙයි. මං හොයලා බැලුවා. ඒහන්දා ඕක නවත්තපන්.
කියමින් ප්‍රදීප්ගේ සියලු විස්තර කියලා තිබුනා. ඒ හැම එකක්ම ඇත්ත. ඒ විස්තරේ ලියවුනේ සඳමිණී ඉදිරියේමයි. සඳමිණීට වෙච්ච දෙයත් ලියා ඇති සියල්ලත් සත්‍ය නිසා ගල් ගැසී බලා ඉන්නවා හැර කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා.
මේ වගේ සිද්ධි බහුල වෙන්න පටන්ගත්තා. ඒත් මොනම වෙලාවකවත් අලුත් වලව්වේ වගේ සෙවනැල්ලක් විදිහටවත් පේන්න ආවෙත් නෑ. කට හඬින් මොකුත් කියුවෙත් නෑ. තව දවසක

“හෙට උදේ උඹ දරුවෝ දෙන්න එක්ක ගොඩවෙල වත්ත කන්ඳේ ඔය පටන්ගන්න තැනට වරෙන්. අපේ පරම්පරාවට අයිති නිධානයක් එතන තියනවා. උඹලට හෙට ඒක ගන්න පුලුවන්.

පහුවදා උදේම තුන්දෙනා පිටත් උනා. ඒ ගමනට සඳලතාවත්, දියණියන්වත් කැමති උනේ නෑ. ඒත් නිලමේගේ කැමැත්තට යන්න උනා. උදේ ඉදලා හවස් වෙනකල් හිටියත් ලැබුන දෙයක් නෑ. එතන මහා ඝන කැළයක්. අන්තිමට රෑ වෙන්න කලින් වලව්වට එන්න නිලමේ  තීරණේ කළා. වලව්වට ගිය නිලමේට ලැබුනේ හරි අපූරු පනිවිඩයක්.

“මං අද උඹලා ගෙන්න ගත්තේ බිළි ගන්ට. ඒත් මං අන්තිමට තීරනේ වෙනස් කළා. ඒ නිසා උඹල තුන්දෙනා බේරුනා කියලා හිතාගනින්. ඒත් මං අතහරින්නෙ නෑ. අන්න ඒක මතක තියාගනිල්ලා.

පස්වන කොටසෙන් හමු වෙමු.


Sunday, June 5, 2016

විනාශය- ඡායාරූප සමග



මා 06-01 දා කියූ දොලුව ප්‍රදේශයේ කරන ලද පරිසර විනාශය සම්බන්ධ ඡායාරූප කිහිපයක් ලබා ගැනිමට මා හට හැකි විය.

පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම පරිසරය 2016-05-31 ට පෙර තිබූ ස්වභාවයයි.



මේ පළමු දින කළ හානිය



මේ ඉන් පසු හා දැනට පවතින තත්ත්වයයි...






මේ වන තුරු කුණු දැමීම වලකා ගැනිමට ප්‍රදේශ වාසීන්ට හැකි වී ඇත්තේ ඔව්නගේ එකමුතුව හේතුවෙනි.  එහෙත් සිදු වී ඇති විනාශය කිව නො හැකි තරම් ය. එසේම එම පරිසරය පෙර තිබූ තත්ත්වයට යලි පත් කර ගැනීමට හැකිවේද?
මෙම ස්ථානයේ ගඟට සම්බන්ධ වන මෝයක් ද ඇත. විශාල ජල කඳක් ගලන විට ගං ඉවුර කඩා ගෙන යාමේ අවධානමක් ද ඇති බව ගම් වාසීන් කියයි.. දැනගන්නට ඇති පරිදි මේ කුනු කොන්ත්‍රාත්තුව සඳහා කෝටි 5 ක් ලබා ගෙන ඇත.... එය වැරදි නැත... මන්ද මෙය බල්ලොත් මරා සල්ලි උපයන කලක් බැවින් ය...
මාධ්‍ය ආයතන වලට දැනුම් දුන්න ද ඔවුන් කියා සිටින්නේ “කුණු දමා නැති නිසා මේ බව ප්‍රචාරය කළ නො හැකි .“ බවයි. එහෙත් සිදුව ඇති හානිය කිසිවෙකුටත් නොපෙනේ ද යන්න අපට ගැටලුවකි.. එසේම ගම්පොළ කුනු ප්‍රශ්නය තවත් විසදී නැත...


යලිත් රටේ කුමන ස්ථානයක හෝ මෙවන් විනාශ නොවීමට ඔබගේත් සහය ලබා දෙ නු ඇතැයි අපේක්ෂා කරමි... ඔබටත් හැකි නම් මේ ඡායාරූප භාවිත කරමින් මුහුණු පොත ඔස්සේ හෝ වෙනත් ක්‍රමයන් භාවිත කර සමාජය දැනුවත් කරමින් සහයෝගය ලබා දෙන්න...

Wednesday, June 1, 2016

පරිසර සති සැමරුම හා දෙවනි ජෝන්ට මඩු වලිගෙන් තැලීම


මේ බ්ලොග් අඩවියේ දේශපාලනය නො ලීමට තීරණය කර ඇතිමුත් පවතින තත්ත්වය අනුව මෙය නොකියාම බැරි තත්ත්වයක් හේතුවෙන් ලියන්නට තීරණය කළෙමි..

පසුගිය දින කීපයේම කතාබහට ලක්උනේ ගංවතුර හා නාය යෑම් ගැන ය. කාගේත් චෝදනාව වූයේ මේ තත්වයන් ඇති වීමට හේතුව මිනිසුන් පරිසරය විනාශ කිරීම බවයි.. හරියට මේ ලංකාවේ පරිසරය විනාශ කළේ රටේ සාමාන්‍ය ජනයා විතරයි වගේ තමා කතා කරන්නේ.. ඉතින් ඒ අතරේ මතක ඇති ගම්පොළ කුණු ප්‍රශ්නෙකුත් ඉදහිට කතා උනා කියන එක... ගම්පොළ කුණු දාන්න ස්ථානයක් නැතුව පසුගිය දවස්වල අම්බුලුවාවේ කුනු දාලා මහා පරිසර විනාශයක් කරන්න පාලන අධිකාරය සූදානම් උනා.. කොහොම හරි ඒ ප්‍රදේශයේ මිනිස්සු ඒ අපරාධය වලකා ගත්තේ කෑගහලයි.. ඒ වගේ තැනකට කුණු දානවා කියන්නේ ජාතික අපරාධයක් නෙවෙයි, ජාත්‍යන්තර අපරාධයක්.. මොකද අම්බුලුවාව කියන්නේ ලෝක උරුමයක්.. ඊට පස්සේ මේ බත් කන හරක් ගඟසිරිපුර පාසල් ක්‍රීඩාංගනයට කුණු දාන්න හදලා ඒකත් දෙමාපියෝ වලකා ගත්තා..දැන් මේ ඔක්කොම වෙලා ඉවරයි.. මේකට හේතුව කුණු දාන්න තිබුණු ඉඩම් නගරාදිපති විකුනලා කියලයි කියන්නේ...  ඒත් කුණු දාන්න තැනක් තාම නැතිකොට මෙන්න ගත්ත විසදුම....

පේරදෙනිය හරහා යන නුවර ගම්පොළ පාරේ දොලුව කියා ගමක් තියනවා.. මේක මගේ ගම වගේම වර්ථමාන යහපාලන ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමති  උපන් ගම.. මේ ගමේ ගම්පොළ පැත්තේ සිට එන විට හමුවන රජයේ ඉඩමක් 5 31 දා උදේ බැකෝ යන්ත්‍ර දමා වළවල් කපා හාරා  තිබෙනවා... ඒ මීට කලකට පෙර එහි තිබුනා වගේ පොල් කෙසෙල් වගා කරන්න නොවෙයි.. ගම්පොළ කුණු ගෙනත් දාන්න... මේක ගමේ තිබුණු පොඩි පිට්ටනියක්...

මේ ඉඩම තියෙන්නේ මහවැලි ගං ඉවුරේ.. ඉතින් ඒ වගේ තැනක කුණු දැම්මොත් ගමට විතරක් නෙවෙයි හානිය වෙන්නේ.. මුලු රටටමයි.. දොලුව ගමේ සිට ඉන් පහල ට බොහෝදෙනෙක්, බීමට, නෑමට ආදී සෑම ජල අවශ්‍යතාවක්ම සම්පූර්ණ කරගන්නේ මහවැලි ගං දියෙන්.. ගඟේ වතුර වැඩි උනාම මේ පිට්ටනිය වෙනකල් ජල මට්ටම ඉහළ යනවා..... මැති ඇමතිවරු ගඟේ වතුර භාවිත නොකරට ගමේ රටේ මිනිස්සුන්ට ගඟේ වතුර අවශ්‍යයි. මේ කුණු දැමීමට හදන ස්ථානයේ ඇති ස්වභාවික උල්පතකින් ගමේ බොහෝදෙනෙක් ජලය පානය සඳහා ලබා ගන්නවා.. ඒ වගේම කටුගස්තොට තෙක් ඇති බොහෝ ස්ථාන වලදී ජලසම්පාදන මණ්ඩලය ජලය ලබා ගන්නෙත් මහවැලි ගඟ ඔස්සේමයි.. මේ ස්ථානය අසළම ගම් රැසකට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයත් පිහිටා තිබෙනවා.. ඒ වගේම මේ අවට නිවාස රැසක් ම තියනවා.. හිතා ගන්න බැරි මේ මිනිස්සු මේ එකක්වත් දැක්කේ නැද්ද කියන එකයි??? සරලව අහන්න තියෙන්නේ මුන්ට ඇස් පේන්නෙ නැද්ද කියලා.. ඒත් එහෙම කියන එක අපිට නිංදාවක්...

මැයි 30 සිට ජූනි 5 තෙක් පරිසර සතිය විදිහට පෙරේදා පරිසර ඇමති නම් කර තිබෙනවා. මොකද ජූනි 5 ලෝක පරිසර දිනය නිසා.. මං හිතන්නේ මේ පරිසර දින සතිය සමරන හැටි වෙන්න ඇති... යහපාලන ආණ්ඩුවේ පරිසර හා මහවැලි සංවර්ධන ඇමති කවුද කියලා මං කියන්න අවශ්‍ය නැ.. ඒ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න.. එතුමා තමයි මේ උතුම් කාර්යට අත පොවලා තියෙන්නේ.. මොකද පරිසර ඇමති විදිහට.. ඒ වගේම තමන්ගේම ගමේ මිනිස්සුන්ට කරන ලොකු උපකාරයක්, සමාජ සත්කාරයක් විදිහට..

30 රෑ තමයි නියෝජ්‍ය ඇමතිතුමයි එතුමගෙ පියානෝවයි ඇවිත් මේ ස්ථානය නිරීක්සනය කරලා තියෙන්නේ.. පහුවදා උදේ ඉදලා ඉඩමේ විශාල වළවල් කපලා හාරලා විශාල පරිසර හානියක් කරලා තියනවා.. මේ නිසා මහවැලි ගඟට, පසට වගේම සමස්ථ පරිසරයටම ලොකු හානියක් වෙනවා...   මේකට නියෝජ්‍ය ඇමතිගේ ඉදලා මධ්‍යම පලාත් ඇමතිලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ආදි සියලු ජනතා පුතුන් සහය වෙලා තියනවාකියන්න ලැබීමත් ලොකු සතුටක් .. මොකද ජනතා සේවය සඳහා කැප වුණු ජනතා පුතුන් කරොත් කරන්නේ මෙහෙම සේවයක් තමයි ඉතින්... ඉතින් මේක ජෝන් ගෙන් ගත්ත ආදර්ශයක් වෙන්නත් බැරිකමක් නැ..

මේ කට්ටිය කියන්නේ මේ වගේ කතාවක්.. අර හාරලා තියන වළවල් වලට ඵළමුව කුණු දානවාලු.. ඊට පස්සේ ඒ උඩින් පස් දාලා වහලා මේ ඉඩම ලොකු පිට්ටනියක් බවට පත් කරනවාලු.. ඇයි මොකෝ ජාත්‍යන්තර ක්‍රීඩාණ්ගනයක් ගමට ගේන්නද??? ඒ සිගිති මොලවලට තේරෙන්නේ නැතුව ඇති කුණු ගොඩ පස්වලට යට කරනවා වගේ වෙන පරිසර හානිය පස් දාලා යට කරන්න බෑ කියන එක.

මේ වෙනකොට ගමේ පංසලේ ස්වාමීන්වහන්සේ , සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමා සහ සියලු ගම් වැසියන් එකතු වෙලා ඉන්නේ.. අද දවල් පළමු කුණු ටැට්ටරය ආවා.. ඒත් ගමේ අය රැස් වෙලා හිටපු නිසා කුණු බෑවේ නෑ.. ගම්වාසීන්ගේ තීරණේ මේකයි.... කුණු ගෙනාවොත් කුණු දාන්න කියන්නේ නියෝජ්‍ය ඇමතිගේ ගේ ඉස්සරහ හරි ඉඩම හාරන්න කොන්ත්‍රාක් ගත්ත කෙනාගේ මිදුලෙහරි... එතකොට අනිත් අයට දැනෙන අපහසුතාව දැනෙයිනෙ..   .... උන්ටත් දැනෙන්න ඕනේ අනිත් අයට ඒකෙන් වෙන අපහසුතාව... පහුගිය දවස් කීපයේ ගම්පොළ මිනිස්සු කියා සිටියේ “ආදෙන්කො ඔය පරිසර ඇමතියා.. ගල් ගහලා එලවන්නේ..“ මේ සැරේ ගල් ගහලා නෙවෙයි මනුස්සයාට රෙදි නැතුව තමයි යන්න වෙන්නේ.. ගම්පොළ පොලිසියත් දැනට නම් තදින් ක්‍රියාකරනවා.. අපි බලාපොරොත්තු වෙනවා දිගටම එහෙම ඉදීවී කියලා..

මට හිතෙන්නේ පරිසර ඇමති, නියෝජ්‍ය ඇමති ඇතුලු එතුමාගේ අමාත්‍යංශයේ සිටින කිසිම කෙනෙකුටවත් තමන්ගේ අමාත්‍යංශ යටතේ කරන්න ඕනේ දේවල් ගැන අවබෝධයක් නැ කියලයි..  මොකද නැත්තන් මේ වගේ අපරාධයක් කරන්න පුලුවන්ද?? අනික මොලේ කලදක්වත් ඇති කියලා මං හිතන්නේ නැ.. නැත්නම් මේ වගේ හරක් වැඩක් කරයිද???

හරකෙක් නොවෙයි නම් ගමක් මැද  සෞඛ්‍ය මධ්‍යස්තානයක් ඉදිරියේ මහවැලි ගං ඉවුරේ කුනු තැම්පත් කරයිද?? අමාත්‍ය අංශ වලට පරිසර අධිකාරියයි, මහවැලි අධිකාරියයි දෙකම අයිති.. අපරාදෙ කියන්න බෑ දෙකටම සාධාරණ විදිහට අසාධාරනේ කරලා තියනවා..


මට දැන් කීමට ඇත්තේ මෙපමණකි.. අර හිටන් උන්නැහෙගේ මඩු වලිගේ ගම්පොළ ජනතාවටත් අපේ ගමේ මිනිස්සුන්ටත් ගෙනත් දුන්නොත් හොඳයි.. ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,..... ඊට පස්සේ මේ වගේ අපත වැඩ කරන උන්ටත් ඒකෙන්  සලකනු ඇති....