Sunday, July 23, 2017

අඳුර


 අහසට පිඹිනා, එරන් කලේයා,
පොලොවට පිඹිනා, බූමි කලේයා.
තාලයට කියමින් කට කැඩුනු මැටි මුට්ටියක් අතින් ගත් නංගී මිදුලේ කොනක හිඳින්නේ වරින් වර නර්තනයේ ද යෙදෙමින්ම ය. මල් පිපුණු හෙන්දිරික්කා වැටට එහායින් ඇති වෙල් යාය මඳ අඳුරේ දිස් වන්නේ යාන්තමිනි. ඈතින් පේන වෙල් යායත්, කඳු පෙළත් දෙස හැම හැන්දෑවකම බලා හිඳීම මා සිත ප්‍රිය කරන දේකි. ඇසට හසුවන මේ පෙදෙස මට වඩා සුන්දර ලෙසින් දිස්වන්නේ ඉර කඳු මුදුනට ආ විට ය. එවිට ආකාසේ පලින් පල අමුතු රත් පැහැයකින් රටා අඳින්නේ වෙනස්ම වූ හැඩතල මතු කරමින්ම ය. වෙල් යායට උඩින් ඉගිලෙන කොක් රංචු හා කුරුලු රංචු බොහෝමයක් නතර වන්නේ වෙල් යායේ මැදකට වන්නට ඇති කපුටු බෝ ගසේ ය.
නමුත් ඒ සුන්දරත්වය දෙස මා බලා උන්නේ මීට පෙර ය. මා දැන් ඒ වෙල් යාය දෙස බලන්නේ මාගෙන් යමක් උදුරා ගත් අයෙකු දෙස බලන අයුරෙනි. නැත. වෙල් යාය, මහ නියර මගෙන් උදුරා ගත් දෙයක් නැත. ඒ ේ දයිවය ේ ද? ගලා එන මඳ අඳුර අතරින් මට පෙනෙන්නේ ඔහුගේ රුව ය. ගීයක් ගයමින් එන ඔහුගේ රුව ය. මහ නියරේ මැදට අවුත් මටත්, නංගීටත් කතා කරන ඔහුගේ රුව ය. බලාහිදිනු විනා යලි ඔහු එන්නේ ද නැත.
“ලොකූ, අද මල් පූජ කරන්නෙ නැද්ද.
මල් වට්ටිය අතේ තිබුනත් එදින හවස මම මල් කැඩුවේ නැති බව සිහිවූයේ අම්මා එසේ ඇසූවිට ය. පිල්කඩින් නැගිට ගත් මා පිච්ච වැල ආසන්නයට ආවේ මල් පිපී ඇද්දැයි යන සැකයෙන් ය. එහි තිබුනේ බාගෙට පිපුණු මල් ය. පෙති කැඩුනු මල් හා බාගෙට පිපුණු මල් බුදුන්ට පූජා කරන්න හොඳ නැති බව අම්මාත්, අත්තම්මාත් නිතර කියන්නකි. දහස්පෙතියා හා ගැටපිච්ච මල්වලින් වට්ටිය පුරවා ගත් මා පැන් දොවා බුදු පිළිමය ඉදිරියෙන් වට්ටිය තැබීය.  අදවත් තාත්තා බොන්න එපා යැයි එදා මා ප්‍රාර්ථනා කල අයුරු මට තාමත් සිහි වේ.
වෙනදානම් අඳුර පැතිරෙන තෙක් පොතක්, පත්තර පිටුවක් කියවීම මාගේ කාර්යයි. එහෙත් එදින මට ඒ කිසිවක් කරන්නට සිතුනේ නැත. කුමාරි නැංදාගේත්, අම්මාගේත් කතාව කන වැකුනු මොහොතේ සිට මගේ ශරීරේ කොහේ හෝ තැනක යමක් හිර වී ඇති සේ හැඟේ. කොහේ හෝ තැනක දරුණු වේදනාවක් දැනෙන්නට විය. අම්මාගෙන් ඇසීමට ඇති දේ බොහෝමය. ඒත් ඒවා අසන්නේ කෙසේද. කියන්නේ මොනවද. මට සිතා ගත නොහැකි ය. මම එදින හවස එවන් චිත්ත පීඩාවකින් පසුවුනෙමි.
“ලොකු පුතේ, දැන් කරුවල වැටිල තියෙන්නෙ. නංගිත් එක්කන් ගෙට වරෙන්.
වෙනදානම් අම්මාට මේ වදන් පේලිය හත් අට පාරක්වත් කියන්නට වේ. නමුත් එදා නංගීගේ අතින් ඇද ගත් මා ඇයව ගෙතුළට කැදවාගෙන ආවේ බලහත්කාරයෙන් මෙනි. සුදු පූසී ද අපිත් සමගම ගෙතුළට ආවේ නිදිකිරා වැටෙමින්ම ය. කුස්සිය දෙසට යාමට සිතුනේ කුසගින්නක් දැනුණු නිසාම නොව. අම්මා සහ කුමාරි නැංදාගේ කතාව සිහි වීම නිසා ය.
“මොනවද අම්මේ අද කන්න තියෙන්නේ.”
“කොස් තම්බලා ලුණු මිරිස්
“අදත් කොස්ද.”
කියමින් නංගි නහයෙන් අඬමින් අම්මාගේ චීත්තේ පැටලෙන්නට විය.
“හරි හරි තව ටික දවසනේ.
“ඇයි අම්මේ එහෙම කියුවෙ.
සුසුමක් හෙලූ අම්මා ළිප ළඟ වූ බංකු කොටේ වාඩි වෙමින් ගිනි දලු දෙස බලා ගෙන කතා කරන්නට විය.
“හැමදාමත් මේ දුඛ විදින්න බෑ බං. උඹලෑ තාත්තා හම්බ කළාට ඒක ඉවරයි බීමට. උඹල දෙන්නයි මායි මෙතන වේලක් ඇර වේලක් කකා දුක් විඳිනවා. කුමාරි නැංදා ලබන සතියේ රට යනවා. එයා ගිහින් මාවත් එහෙට ගන්න බලනවා කියුව. එයත් ගෙන්න ගන්නේ එයාගෙ අක්කනේ.
“එතකොට අම්මෙ අපි.
“මම ඇහුවා නොව. ඒ වදන් කටින් පිටවූවා වැනිය.
මට අවශ්‍ය කතාව ආරම්භ වී ඇත. එහෙත් මා තව දුරටත් ඇසිය යුත්තේ මොනවාද. කිව යුත්තේ මොනවාද. මට සිතා ගත නොහැකි වීය.
“ආත්තම්මත් ඉන්නවානෙ. උඹත් දැන් පොඩි ළමයෙක් නෙවෙයිනේ.. නංගි බලා ගන්නඋඹටත් පුලුවනි.
“අනේ අම්මෙ යන්න එපා අම්මෙ.
මට කිව හැකිවූයේ එපමණකි. මගේ දෑසින්  කඳුලු ගලා එන්නට විය. අඳුරේ මුහුණ සගවා ගත් මා දුටුවේ අම්මා ද චීත්ත කොනෙන් දෑස් පිහන අයුරු ය.
“උඹල දෙන්න වෙනුවෙන් තව කොච්චර දේවල් කරන්න තියනව ද පුතේ. තාත්තා මේ දේවල් ගැන හිතනව නම් මට යන්න වෙන්නෑ පුතේ.
අම්මාගේ හඬ හැඬුම්බර විය. මට එය දරා ගත නො හැකි විය. සත්තකින්ම තාත්තා  බීමත් බවින් මිදෙනවා නම්, මීට වඩා අපේ ජීවිත වෙනස් වනු ඇත. ඔහුට කුලී වැඩකින් ලැබෙන මුදල ද එවිට අම්මා අරපරිස්සමින් පාවිච්චි කරනු ඇත. මට එදා තාත්තා ගැන ඇතිවූයේ කේන්තියකි. අම්මාට රට යාමට සිදුව ඇත්තේ ඔහු නිසා ය. රට ගිය පසු බොහෝ දුක් විඳින්නට වන බව මා අසා ඇත. අම්මාට දුක් විඳින්නට වන්නේත්, නංගීටත් මටත් අම්මා අහිමි වන්නේත් තාත්තා නිසා නේදැයි මට එදා සිතුණි. ඒ මොහොතේ තාත්තා පිළිබඳව මාගේ සිතේ ඇතිවුනු හැඟීම පිළිබඳව මා පසුව දුක් උනෙමි.
“අඩු කුලේ කියාලා අසරණයා,
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා....
සුපුරුදු ගීතය ගායනා කරමින් වස්තු මාමා මහ නියර දිගේ නිවස බලා යනු මට ඇසුණි. ඔය පසුපසින්ම තාත්තා ද එනු ඇත. හැමදාමත් වගේ මා හට එදිනත් සිතුණි. අදටත් වස්තු මාමා නියර දිගේ  යනවිට තාත්තා ඒ පසුපස එයි දැයි මාගේ සිත විපරම් කරයි. තාත්තාගේ ගීතය ද මහ නියරේ මැදකට එන විට අපට ඇසිය හැකි ය. ඔහුගේ ගීත ද බොහෝ දුරට වෙනස් වන්නේ නැති තරම් ය. තාත්තා හොඳ සිහියෙන් ඉන්නා විට නිශ්ෂබ්ධය. එහෙත් බීවට පසු කතාවේ කෙලවරක් නැත. කා සමග වුවත් එය අවසන් වන්නේ දබරයකිනි. තාත්තා හොඳ සිහියෙන් ඉන්නා විට ගෙදර පැමිනෙන්නේ මහ නියරේ මැද සිට අපට ද කතා කරමින්ම ය. එදිනට කඩල ගොට්ටක්, කජු මුලක් වරදින්නේ නැත. එහෙත් එවන් දින උදා වන්නේ බොහෝ කලාතුරකින් ය. ඒ කලාතුරකින් උදා වූ දිනවල අපි තාත්තා සමග කොයිතරම් නම් සතුටුවූවාද. අහම්බෙන් පැමිණි ඒ දින ආයේ කිසි දිනකත් නොයෙනු ඇත.
 බීමතින් පැමිනෙන විට නංගී හෝ මා තාත්තාට ඇස ගැටෙන්නට ඉන්නේ නැත. අපි ඒ තරමට තාත්තාට බිය වීමු.
අදත් බොහෝ දුරට තාත්තා අම්මා සමග රංඩු වනු ඇතැයි මම එදා සිතුවෙමි. නිවසට එන තාත්තා අම්මාගෙන් පළමුව අසන්නෙ එකම පැණයකි.
“අද මොනවද කන්න තියෙන්නේ.
එවිට අම්මා පිළිතුරු දෙනු ඇත. එසේත් නැති නම් කෑමට ඇති දේ බෙදාගෙන එයි. අම්මා මොනවා ඉයුවත් තාත්තාගේ ඊළඟ වදන් පෙළ වන්නේ,
“මොනවද මේ. මං කොහොමද බං මේව කන්නේ.
 “තියන දේවල් තමයි උයල තියෙන්නේ. ගෙනත් දෙනවනෙ හරියට උයන්න. ගේනවා නම් කමක් නෑ.
ොකක්ද ොල තෝ කිව්වෙ?.
කියමින් පිගාන පොලවේ ගහන තාත්තා අම්මාට ගුටිබැට දීමට පටන්ගනී. සමහරක් දිනවලට අම්මා බේරා ගැනීමට යන මට ද ගුටි වරදින්නේ නැත.
“ලොකූ
 ඒ මොහොතේ මාගේ කල්පනා දැහැන බිඳුනේ අම්මාගේ කටහඩින් ය.
“තාත්ත තාම නෑනෙ ලොකු. වෙනද මේ වෙලාවට ඇවිත්.
අම්මා නිවැරදි ය. වස්තු මාමාත් තාත්තාත් නිවසට එන්නේ එකටම වගේ ය. මා ඒ අතරේ සිතුවේ මීට ටික මොහොතකට කලින් තාත්තාට දොස් නගමින් උන් අම්මා දැන් තාත්තා පිළිබඳව ලත වන්නේ ඇයි කියා ය.
“කඩේ ළඟ නැවතුනාද දන්නෑ අම්මෙ.
“මේ වෙනකොට කඩේ වහනවානෙ බං. මොකද දන්නෑ.
කියමින් උලුවස්සට හේත්තු වූ අම්මා අඳුර දෙස බලා හිදින්නට විය. කොයි තරම් ගුටිබැට දුන්නත් අම්මා තාත්තා කෙරේ වූ ලෙංගතුකම පිළිබඳව මට ඒ මොහොතේ පුදුම සිතුනි. මීට සුලු මොහොතකට පෙර තම ජීවිතය ගැන කම්පා වී තාත්තාට දොස් කියූ අම්මා ගැන  ද මට තරහක් හිතුනි.
“පුතේ පංදමක් ඇරන් ටිකක් පාරට ගිහින් බලමුද. බීල වැඩි වෙලා වෙලේ වැටිලවද්ද දන්නෑනේ.
මීට පෙර ද දෙතුන් වතාවක් තාත්තා බිමතින් අවුත් මහ නියරෙන් ඇද වැටී ඇත. හිස වනා අනුමැතිය දුන් මාද මිදුලට බැස්සේ අඳුර අතරින් වෙල් යාය දෙස බලාගෙන ය. මොනව කියුවත්, කළත් ඒ අම්මාගේ ස්වාමියා ය. නංගීගේත් මාගේත් පියා ය. සිතමින් මා වෙල් යාය දෙස එදින බලා සිටි අයුරු මට සිහිපත් වේ.
පංදමක් අතින් ගත් අම්මා ඉස්සර විය. අඳුරට බියක් දක්වන නංගීත්, මමත් අම්මා ළඟින්ම ගමන් කරන්නට විය. අපි මහ නියර දිගේ එක පෙළට ගුරු පාර ආසන්නයට ම ගමන් කිරීමු. ගුරු පාර ආසන්න වන විට නියර මැඳ අම්මා නතර විය.
“ඇයි අම්මේ.
පිටුපසින් ආ මට   එකවර කිසිත් සිතා ගත නොහැකි විය.
“පුතේ තාත්තා.
අම්මාගේ මුවින් පිටවූයේ එපමණකි. පංදම් එලිය අතරින් මම ඉදිරිය හොඳින් නිරීක්ෂනය කරන්නට විය. තාත්තා නියර උඩ වැටී සිටිණු මා දුටුවේ එවිට ය. තාත්තා වැටිලා ද, එහෙමත් නැති නම් නියර උඩ වාඩි වීමට ගොස් පෙරලුනා දැයි ඔහු දකිත්ම මට සිතා ගත නොහැකි විය. තාත්තා දෑතින් පපුව අල්ලාගෙන සිටි අයුරු මට තාමත් මැවී පෙනේ.
“ඒයි. ඒයි. නැගිටිනවකෝ ඕයි.
තාත්තා සොලවමින් අම්මා කතා කරන්නට විය. තාත්තා කතා කරන්නේ නැත. මට මහා බියක් දැනෙන්නට විය. තාත්තාගේ සිරුර පරීක්ෂා කල අම්මා තව තවත් හයියෙන් තාත්තාට කතා කරන්නට විය. අම්මා සමග මමත්, නංගීත් තාත්තාට කතා කරන්නට විය. එහෙත් අපි කතා කරනු තාත්තාට ඇසුනේ නැත. අවසානයේ අම්මාගේ විලාපය මුල් වෙල් යාය හරහා දෝංකාර දෙන්නට විය.

“අනේ පුතේ උඹලගෙ තාත්ත අපිව දාල ගිහින්.

Friday, July 14, 2017

ජීවය දුන්නෙමි, ජීවිත තුනකට.

  නො සිතූ මොහොතක
 නැවතුනු ජීවිතය
 නිකරුනේ
 මහ පොලොවට
 එකතු වන්නට
 දිරා යන්නට
 ඉඩ නොදුන්නෙමි
 මම

 දෑස දෙන්නෙමි
 ලොව දකින්නට
 මගේ හද දෙමි
 දිවි රැකෙන්නට
 තවත් හැකි නම්
 තවත් දෙන්නෙමි

 ජීවිතය ඩැහැ ගත්
 මාරයා හට
 කරන සරදම්
 ලෙසින්
 උදුරා ගත්තෙමි
 හුස්ම ගන්නා
 ජීවිත තුනක්
 මම

 මගේ එක් ජීවිතය
 වෙනුවට
 ජීවය දුන්නෙමි
 ජීවිත තුනකට
 මම

 ප-ලි
 පසුගිය මස 24 වන දා මහ නුවර පිළිමතලාවේ පදිංචිව සිටි කුමාර සම්පත් නම්
 වයස 22ක් හැවිරිදි තරුණයා රිය අනතුරකට පත්ව ඇත. එම අනතුරෙන් ඔහුගේ මොලයට
 දැඩි හානි වී ඇත. ජීවිතය පිළිබඳව විශ්වාසයක් නැති ඔහු තම ශරීරයේ කොටස් දං
 දීමට කැමති වී ඇත. ඒ අනුව ඔහුගේ හදවත, ඇස් හා වකුගඩු වෙනත් පුද්ගලයින්
 තිදෙනෙකුට බද්ධ කර ඇත. පසුගිය දා ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඇත. ජීවිත
 තුනකට ජීවිතය දුන් ඔහුට නිවන් සුව ලැබේවා!

Friday, July 7, 2017

කොළඹ අහස යට (මැල්ලුම ට පසු!)

හමා ආ මඳ සුළඟට අතුවලින් නිදහස් වූ වියලි පත්‍ර හා පර මල් උදාසීන ලෙස බිම පතිත විය. දිවා කාලය ලං වී තිබුණු බැවින් පරිසරය ද උණුසුම් වෙමින් තිබුණි. අරලිය ගස් සෙවනේ තන බිස්ස මත වාඩි වී උන් සුදර්ශීට හා සුමේධට ඒ උණුසුම ගැටලුවක්වූයේ නැත.. ඒ ආසන්නයේ තුරු සෙවනේ උන් කිසිවෙකුටත්  සූර්ය තාපය ගැටලුවක් වූයේ නැත්තේ තුරු සෙවනින් ලැබුණු සිසිලසත් සිත්වල වූ උණුසුම් හැගීමත් නිසා විය හැකි ය... සුමේධගේ උරතලයෙන් හිස එස වූ සුදර්ශී තම ජංගම දුරකථනයෙන් වේලාව බැලුවේ යමක් සිහි වූ ලෙස ය.
දොලහට කිට්ටුයි.. අපි යමු නේද? මට 12ට අපේ සොසයිටි එකෙන් කරන දානෙ වැඩේට වැඩ වගේකට යන්න තියනවා.
සුදර්ශී එසේ කීවේ සුමේධගේ දෑස දෙස හොරැහින් බලමින් ය.
“ “හරි යමු. අද දොලහ වෙනකොට ගේට් එක ලඟ ඉන්න ඕනේ.. තව පොඩ්ඩෙන් මට ඒක අමතක වෙනවා..
ඇයි අදත් පිකට් එකක්ද..
සුදර්ශී එය විමසා සිටියේ අමනාපය මුසු හඪින් ය.
ඔව්..
සුමේධ ඒ කෙටි පිළිතුර දුන්නේ ඉවත බලා ගෙන ය.
දැන් දවස් කීයක් ඔහොම ගියාද... ආයෙත් ගුටි කාලා.. වැටිල තුවාල කර ගෙන එනවකෝ... මං නම් පැත්ත හැරිලවත් බලන්නැහැ...
ඔයා කියුවට බෑනෙ... කොහොමහරි මේ දේවල් වෙනස් කර ගන්න ඕනේ... අනික අය්යලා කියන දේට පිටින් යන්නේ කොහොමද?
හෙට දානෙ වැඩවලට සැරසිලි පටන්ගන්නයි හදන්නේ. ඔයාට ඒ වැඩ හොඳට පුලුවන් නිසා මං එක්කන් යන්න හිතන්හිටියේ..
හරි කමක් නෑ. ඔයා යන්නකෝ... මං මේ වැඩේ ඉවර වෙලා එතනටම එන්නම්.
හරි එහෙනම් යමුකෝ.
කියමින් සුදර්ශීගේ පිටි අල්ල සිප ගත් සුමේධ නැගිට සිටියේ ය.
*****
දිවා කාලය ලං වෙමින් පැවති නිසා ආපන ශාලාව තුල මඳ කලබලකාරී ස්වභාවයක් දිස් විය. දිවා 12ට ලැබෙන විවේක කාලයට ආහාර ගැනීමට සිසුන් පැමිනීම මේ වන විට මඳ වශයෙන් ඇරඹී තිබුණි. ආපන ශාලාවේ ඈත කොනක මේසයක වාඩි වූ සිසුන් තිදෙනෙක් යමක් පිළිබඳව ඉතා පහත් ස්වරයෙන් කතා කරමින් සිටී.. මේසය මත තේ කෝප්ප 4ක් සහ කළු පොලිතීන් කවරයෙන් ආවරණය කළ යම් පාත්සලයක් වියමුදල් ලබා දෙන කවුන්ටරය ළඟ උන් තරිඳු රුපියල් 40ක් එහි වූසේවකයාට ගෙවා වඩේ දෙකක් සහිත පිගානත් ගෙන එම මේසයේ වාඩි විය. එක් වඩයක් අතට ගත් ඔහු එය දෙකට කඩා රමේශ් අතට එක් කොටසක් දී පිගාන ගයාන් දෙසට දිගු කලේ ය. ඔව්න් දෙදෙනාද වඩය දෙකට කඩා බෙදා ගත්තේ තේ කෝප්පය ද අතට ගනිමින්ම ය.
දැන් ඔක්කොම හරි නේද? ජවය ඉතුරු බෝඩ් ටික ලියලද බැලුවද
තරිදු කතාව ඇරඹීය
ඒව ඔක්කොම හරි අය්යේ.. අද එදාට වඩා කෙල්ලොත් පිකට් එකට බහී..
එල මල්ලී ඒකයි වෙන්න ඕනේ.. තනි ඉරටුවක් කඩන්න ලේසී මල්ලි.. හැබැයි ඉරටු මිටියක් කඩන එක ඒතරම් ලේසි නෑ..
දැන් 12ට ළඟයි ඉක්මනින් යමු
කියමින් රමේශ් පළමුව නැගිට්ටේය.
****
පැරණි ගොඩනැගිල්ලක් පසුපස වූ පඳුරක් තුළ වූ යම් යම් දේ එලියට ගමින් සිසුන් කිහිපදෙනෙකු කඩිසරව වැඩයේ යෙදෙමින් සිටී. දිවා කාලය ලංව ඇති බැවින් පරිසරය ද උණුසුම් වී ඇත. කඩිමුඩියේ වැඩ කරන සිසුන්ගේ මුහුණු දහඩියෙන් තෙත් වි ඇත. පඳුර තුළින් ඇද ගන්නා සියල්ල ගොඩනැගිල්ල පිටුපස ගොඩගසන්නේ යුද්ධයකට මෙනි. පොලු, මුගුරු, වීදුරු බෝතල් හා විශාල ගල් ඒ අතර විය.
බෙලා තව තියනවද?
ගොඩනැගිල්ල අසළ වූ අයෙකු පඳුරු අතරට නැමෙමින් ඇසුවේ ය.
තව ටිකයි..
පඳුරු ගාල තුළින් පිළිතුරු ලැබුණි.
ඉක්මන් කරපන්.. 12ට ලඟයි.
ඔහු නො ඉවසිල්ලෙන් කියා සිටියේ තම අත් ඔරලෝසුව දෙස ද බලමින් ය.
අපි බලමුකො උන් හෙට දානෙ දෙන හැටි.ඔහු තමාටම කියා ගත්තේ ය. එහි කවුරුන් හෝ සිටියා නම් ඔහුගේ මුහුණේ ඇඳුනු සමච්චල් සිනහව දකිනු ඇත.
*****
ලංකාව කියන්නේ පුංචි රටක් තමයි. ඒත් අපේ රටේ පලාත් 9ක් තියනවා. දිස්ත්‍රික්ක විදිහට බැලුවොත් දිස්ත්‍රික්ක 25ක්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විදිහට ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 333කුත් ගම් 14412කුත් තියනවා. ඒ කියන්නේ අපේ රට පොඩි රටක් උනාට රට තුළ භූගෝලීය වශයෙන් පරිපාලන වශයෙන් විවිධ බෙදීම් පවතිනවා. ඒ බෙදීම් ද රට තුළ භාවිත කරන භාෂා, ප්‍රාදේශීය ව්‍යවහාර සඳහා හේතු වෙනවා.
මයික්‍රෙෆා්නය අතින් ගත් දේශක ආචාර්යතුමා දිගින් දිගටම කියා ගෙන යයි. කොළඹ පරිසරය උණුසුම් කරමින් හිරු අහසට මුදුන් වෙමින් තිබුණි. විදුලි පංකා කිහිපයක් ක්‍රියාත්මක වුව ද දේශන ශාලාව මේ වන විට සිසුන්ට දැනුනේ පෝරණුවක් ලෙස ය. උදේ ආහාරය සඳහා ගත් බත් කටවල් කිහිපය දිරවා මේ වන විට බොහෝ වෙලා ගත වී ගොස් ඇත. අත් ඔරලෝසුවලින් හා ජංගම දුරකථනවලින් වේලාව වරින් වර පරීක්ෂා කරන සිසු සිසුවියන්ගේ මුහුණුවල රැදී ඇත්තේ නො ඉවසිලිමත් බව ද මානසික පීඩනය දැයි එක් වරටම යමෙකුට වටහා ගත නොහැකිවනු ඇත. මේ අතර දේශන ශාලාවේ පිටවීමේ දොරටු අසළ රැඳී උන් කොණ්ඩය හා රැවුල් වවා ගත් ජේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු එහි සිටියේ තම දරුවන් රැඟන යාමට බලා සිටින දෙමාපියන් ලෙස ය.
හොඳයි. අදට දේශනය නිමා කරනවා.. අපි මේ පාඩම ඊළඟ සතියේ ඉවර කරමු.
කියමින් දේශකතුමා වේදිකාවෙන් බැස පිටව ගියේ ය. අසුන්වල උන් සිසුන්ගේ මුහුණුවල මදස්මිතියක් පහළවූයේ නිරායාසයෙන් ය. මෙතෙක් නිහඩව තිබුණු දේශන ශාලාව සිසුන්ගේ හඬින් ගිගුම් දෙන්නට විය.
තේජා ඔයා කොහෙද යන්නේ.
අනේ මං හොස්ටල් යනවා.
ඇයි පිකට් එකට යන්නැද්ද?.”
අනේ බෑ අනේ. උදේට හරියට කන්න බැරිවුනා.. කඩලවල ගුල්ලො හිටියනේ.
අයියෝ එහෙමද. ඔයා එහෙනම් හොස්ටල් යන්න. අවුවෙ යන්න බැරි වේවි.
ලක්මි 12ට ළඟයි ඉක්මනින් යමු.
දනු ඔයාල යන්නැද්ද.
අනේ බෑ අපි කොහොමහරි හොස්ටල් පනින්න මේ බැලුවේ. ගෙදරින් බය වෙනවා ගියෝතින්.
කවුද අනේ ගෙදරට කියන්නේ. අපිත් මේ යන්නේ.
ඉක්මනි යමු. අර අය්යලත් ඇවිත් ඉන්නේ.
දනුක උඹ ඔය කෙල්ලො ටික එක්කරගෙන ගේට් එක ළඟට ඉක්මනින් පලයන්. 12ට ළඟයි. පරක්කු වෙනවා කියලා අය්යලා බනිනවා.
*****
“12ට ළගයි ඉක්මන් කරපන් චතූ.
කියමින් සඳා සාදා ගත් සූපය උණු වතුර බෝතලයට දමන්නට විය.
හරි හරි බං. මං මේ සැංඩිගෙ ඇදුම් ටිකක් ගත්තා. උඹ එනකොට ඒකිගෙ අනිත් ඇදුම් ටික අරන් ඇවිත් හෝදලා තියපන්.
“ලිලී සැංඩිව බලන්න යනව කියුවද.
“යන ගමන් අහල බලමු.
ඇදුම් කිහිපයත් සුප් බෝතලයත් ගත් සඳා හා චතූ කාමරයෙන් පිට වී කොරිඩෝවකට ඇතුලු විය. එහි වූ එක් දොරටුවකට තට්ටු කරන්නට විය.
“ලිලී අපි සැංඩි බලන්න යනවා. ඔයාලා එනවද.
“අනේ බං අද නම් එන්න වෙන්නෑ. එසයිමන්ට් එකක් බාර දෙන්න තියනවා 12ට.
“රගූ එනවද.
“ඔව් බං මං එනවා.
“අනේ බං මට අද 1ට එක්සෑම් එකක්. නැත්තන් එන්න හිටියේ. අද රෑට කවුද ඉන්නේ.”\“මම ඉන්නවා. පුලුවන් නම් උඹ හෙට ඉදපන්.
“හරි මං හෙට ඉන්නම්.””
“අපි යනවා බං. අද 12ට පිකට් එකක්නේ. ඒකට කලින් පැනගන්න බැරි අනොත් යන්න වෙන එකකුත් නෑ.
******
“මෙතන අපේ සැරසිලිවලට ඕන කරන ඔක්කොම දේවල් තියනවා. දැන් තියෙන්නේ වැඩේ පටන්ගන්න.
“අද මොකද කට්ටිය අඩු
“අද පිකට් එකට නොයා මෙතනට ආවහම අවුලක් වෙයි කියලා බයේ වෙන්නැති. පිකට් එක ඉවර උනාම කට්ටිය එයි.
“හරි එහෙනම් අපි දැනට වැඩ පටන්ගමු.
“වැඩ කරන ගමන් කන්න මං පොඩි පොඩි කෑම වගයකුත් ගෙනාවා.
“ආ එහෙනම් කාලම වැඩ පටන්ගමු.
“හරි හරි ඉස්සෙල්ල වැඩ පටන්ගමුකෝ.
“ඔන්න වැඩ පටන්ගත්තා.”
කිසිවෙකු පඳුරකට මුවා වී කෑගැසීමත් සමග ගල් හා පොලු මුගුරු වරුසාවක් ඇද හැලෙන්නට විය.
“තිලිනි සුදර්ශී ඔක්කොම දුපන්. ඔන්න ගල් ගහනවා.
*****
“කේ පී ලොක්කට
 එන්න කියාපිය.
මේවට උත්තර
දෙන්න කියාපිය.
අම්මෙ තාත්තෙ.
මේ අහන්න.
අපිත්තෙක්ක
එකතු වෙන්න.
මේ ආකාර සටන්පාඨ කියමින් හා විවිධ හේතුපාට සඳහන් කරන ලද පුවරු අතින් ගත් සිසු සිසුවියන්ගේ විරෝධතා පෙලපාලිය විශ්වවිද්‍යාලයෙන් පිට වී මහා මාර්ගයට පිවිසියහ. ඒත් සමග විශාල රථ වාහන තදබදයක් ඇති විය. පොලීසියෙන් වරින් වර සිසුන් දැනුවත් කළ ද පොලිස් අණ නොතකා විරෝධතා පෙලපාලිය ඉදිරියටම ගමන් කරන්නට විය.
“ඔන්න ගහනවෝ. ඔක්කොම නැමියල්ල... දුවපල්ල..
*****
දුම්වැටියක් දල්වා ගත් පෙරේරා මහතා දවසේ පත්තරය කියවීම සඳහා ස්තෝප්පුවේ වු හාන්සි පුටුවේ දිග ඇදුනේය.
“දින නියමයක් නොමැතිව ශ්‍රීපුර විශ්වවිද්‍යාලය වසා දැමේ.
පුවත්පතේ ප්‍රධාන ශීර්ශපාඨය ලෙස එම ප්‍රවෘත්ථිය සඳහන් විය. දුම් උගුරක් පිට කළ ඔහු එම ප්‍රවෘත්ථිය කියවන්නට විය.
“ඊයේ දිවා කාලයේ විශ්වවිද්‍යාලය තුළ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇත. ඉන් තුවාල ලත් සිසුන් දෙදෙනෙක් සහ එක් සිසුවියක් මේ වන විට බෝවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. විශ්වවිද්‍යාලයේ එක් කණ්ඩායමක් විසින් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දානයක් සඳහා ඊයේ දිවා කාලයේ සිසුන් සූදානම් වෙමින් සිටින අතරේ වෙනත් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් එම ශිෂ්‍යයන්ට පහර දි ඇති බව වාර්ථා වේ. එසේම එම විශ්වවිද්‍යාලයෙන් ම ඊයේ දවල් 12ට පමණ ඇරභි විරෝධතා පෙලපාලිය සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර සිසුන් පලවා හැර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතා පෙලපාලිය සංවිධානය කර ඇත. පොලීසියේ ප්‍රහාරයට ලක්ව සිසුන් දස දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්ථා වේ. මෙම තත්ත්වයන් මත විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය ඊයේ සවස තීරණය කර ඇත.


ප.ලි.

ඉයන්ගේ පොල් මැල්ලුම් කතා තරඟය ට ලියාගන්න බැරි වුනා. ඒත් මැල්ලුමක් නොලියා කොහොමද? මේ ඒ මැල්ලුමට පසු කතාවයි!