Showing posts with label මගේ ලිපි. Show all posts
Showing posts with label මගේ ලිපි. Show all posts

Monday, March 27, 2017

නෙලුම් යායට ගියෙමි, සුවඳ වින්දෙමි




නිර්මානිගේ සටහන
පහුගිය අවුරුද්ද වෙනකල් මං කලේ කොළඹ ගමය, තිලකසිත, අටම්පහුර එතකොට තව එක එක බ්ලොග් කියවන එක විතරයි.. පහුගිය අවුරුද්දේ මාර්තු 22 තමා පළවෙනි බ්ලොග් ලිපිය ලිවුවෙ.. ඔන්න එක අර අහසෙන් එන්න බ්ලොග් එකේ පලකර ගත්ත කියමුකෝ.. මගෙ ලිපියකට පළමු කොමෙන්ට් එක දාලා තිබුනේ මෙන්ඩ... ඒක අමතක කරල බෑනෙ.. එතනින් පස්සෙ දිගටම ලියුව... අන්තිමට කොමෙන්ට් දාන අය ඇහුවෙ කලින් ලියපු හාදයා කෝ කියලයි.. කොහොම උනත් අපි සහයෝගයෙන් බ්ලොග් එකේ ලියාගෙන ගියා කියමුකෝ.... නෙලුම් යාය සම්මාන උලෙළට නිර්දේශ තෝරණකොට ඒ අතරේ මගෙ නිර්මාණ තියනවා දකිනකොට මට පුදුම හිතුනා...
අන්තිමට විසි පහ දාට වෝටර්සෙජ් යන්න තීරනේ කළා... බත්තරමුල්ලට ගිහින් තරු අක්කට කතා කළා ඇවිත්ද ඉන්නේ නැත්නම් අපිට ඇතුලට යන්න කවුරුහරි එවන්න පුලුවන්ද අහන්නත් එක්ක... තරු අක්කා විසිරි අක්ක එවන්නම් කියුව නිසා අපි ගිහින් බැස්සා.. විසිරි අක්කට කියන්න ලැබුනෙ නෑ... වෙන අක්ක කෙනෙක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගිහින් පුටුවල වාඩි කලා.. ඔන්න ඉස් ඉස්සෙල්ලාම අජිත් අයියා හම්බෙලා කතා කරලා ගියා.. ඊට පස්සේ කමි අයියා ඇවිත් අපිට ස්ථාන මාරුවීමක් ලබා දුන්නා.. එතකොට තමයි කැලේ පිපුණු මල් ලියන වත්සලා අක්ක හම්බුනේ.. එයා දකිනකොටම මතක් උනේ සාලාවෙ පිපිරීම.. ඊට පස්සෙ යාංහෑල්ල ලියන සුරංග... එතනදි අපි අපේ තුන්දෙනාගෙ වයස ගැන සංවාදෙකුත් ගියා.. ආ ඊට පස්සෙ තමයි වැදගත්ම අවස්ථාව.. මං නෙලුම් යායට යන්න ප්‍රධානම හේතුව උන ප්‍රාජේව හමුවීම සිද්ධ උනේ.. ඒත් මට ප්‍රාජේ එක්ක හරියට කතා කර ගන්න බැරි උනා.. ගනුදෙනුව බේරගන්න බැරි උනා අපරාදෙ...
එයින් පස්සේ හැමෝම වගේ ඇවිත් කතා කළා.. නෙලුම් යායට යන්න කලින් හඳුනගෙන හිටියේ සිතු, තරු අක්කා විතරයි.. දැන් බොහෝ දෙනෙකුව මතකයි... කැලෑ මල්, යාංහෑල්ල, ඉයන්, ඉවාන්, සොභාරූ, මහේශ්, තිලකසිත, අජිත් අයියා, කමී, රොහාන්, ප්‍රාජෙ, මෙන්ඩ, රන්දිකා අක්ක, නලීන් අයිය, මං එරන්දි, කවි දුමී, සජ්ජ, සුදීක, දමිත්, සිත්තමී අක්ක, වැවා අයිය,  තව තව කස්ටිය හම්බුනා.. අටම අයියා අපිට එන්න කියපු අටම අයිය ඇවිත් හිටියෙ නෑනෙ ඉතින්...
රෝහාන් මල්ලි ඇවිත් කතා කලාම පුදුම හිතුනා.. ඇත්තටම මං මීට කලින් හිතාගෙන හිටියේ ටෙක් සයුර ලියන්නේ වයස 40ක විතර කෙනෙක් කියලයි...
විශේෂංග ගැන කියුවොත් අපි මචන්ල නම් මරු කියල වැඩක් නෑ.. සජීවීව රස වින්දනය ලබා ගැනීමට පුලුවන් වෙච්ච එකම ලොකු දෙය... ජනා ප්‍රියාත් නරකම නෑ... අමුත්තන්ගේ කතා වලින් මැතිවරණ කොමසාරිස්තුමාගෙ කතාව, කතානායක තුමාගේ කතා හරවත්... රාජිත සේනාරත්නගේ කට හඬ අකැමැතිම හඬක්.. ඒ නිසා ඒ වෙලාවේ ඒ කිසිම දෙයක් අහගෙන හිටියෙ නෑ...
කෑම කන වෙලාවෙ දේවල් වත්සලා අක්ක ලියුවනේ.. ඒව ඉතින් අයෙ කියන්න ඕනෙ නෑ... මේ වෙලාවේ වත්සලා අක්කටත්, තරු අක්කටත්, කමි අයියටත් ස්තුති කරන්න ඕනෙ.. ඒ තුන්දෙනාම වේදිකාවට යන්න මට ඒ මොහොතේ උදවු කළා... අහසෙන් එන්න බ්ලොග් අඩවිය මේ තැනට ගෙනාවේ අපිත් එක්ක හිටපු ඔයාලා.. අපේ බ්ලොග් ලිපි වලට කොමෙන්ට් කරමින් අපිව දිරිමත් කළ ඔබ හැමටත්, අඩුලුහුඬුකම් පෙන්වූ සියලු දෙනාටත් ස්තුතී.. ඒ මග පෙන්වීම, දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා...
අපි බොහොම ප්‍රිය කරන බ්ලොග් අඩවියක් තමයි නිදහස් සිතුවිලි. හොඳම බ්ලොග් එක විදිහට සම්මාන ලැබීම ගැන සතුටුයි.. රවී අයියට සුභ පතනවා.. ඒ වගේම යාංහෑල්ලටත් උණුසුම් සුභ පැතුම්.. සියලු සම්මානලාබීන්ට සුභ පැතුම්... නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුති කරනවා.. ඒ වගේම සුභපතනවා...

කසුන්ගේ සටහන
නිර්මාණිගේ සටහනට යමක් එකතු කරන්නෙමි. අහසෙන් එන්න බ්ලොගය ඇරඹී දැනට එක් වසරකුත් මාස අටකුත් ගෙවී ඇත්තේය. ඒ අතරතුර මේ තැනට අප ඔසවා තැබීමට කියවන, කොමෙන්ට් කරන ඔබ සැමගෙන් ලැබුනු සහයෝගය අමතක නැත. කියවන්නෙකු ලෙස වසර තුනක් පමන රැඳී සිටි මට බ්ලොග් ලිවීමේ ආසාව එදවස සිට නොතිබුනාම නොවේ. එහෙත් යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ලියන්නේ 2015 07 16 වැනිදා පමන සිට ය. නෙලුම් යාය සම්මානයට ලක්වන්නට සුදුසුකම් ලැබීම ගැන යම් සතුටක් තිබුනද ඒ ගැන බලාපොරොත්තුවක් නොතිබුනි.
ඒ කොහොම වෙතත් අපට (නිර්මානිගේ නවකතාවට සහ ලිපියකට) නෙලුම් යාය සම්මාන හිමි වීම ගැන නම් සතුටු ය. ඒ වෙනුවෙන් ඔබ සැමට ස්තූතියි.
එදා දිනය ගැන ලියනවානම් විශේෂ ම ස්තුතිය ලැබිය යුත්තා වන්නේ කැලේ පිපුනු මල් ලියන වත්සලා අක්කායි. වැඩසටහන අතරතුර වේදිකාවේ සිදුවන දෑ ගැන අපෙන් යොමු වූ අටෝරාසියක් ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ බොහොම ඉවසීමෙනි. ඒ විතරක්නම් මදිය. ඇය විටින් විට තුන් හතර සැරයක්ම කැමරා කාචයන්ගෙන් බේරී එලියටත් ඇතුලටත් දුවමින් අපට කන්නටත් බොන්නටත් ගෙනවිත් දී ඒ සියලු පිඟන් කෝප්ප යලි ගෙනවිත් තැබීමට තරම් කාරුනික වූවාය. ඒ සියලු දේ වෙනුවෙන් ඔබටත් ස්තූතී. එතනට එක්ක ඇවිත් ඇය හඳුන්වා දුන් කමි අයියාටත් බොහොම ස්තූතී. එපමනක් නොව දිනය තුල කිසිඳු අඩුවක් නොදැනෙන්නට සහය දුන් අය මතක් නොකර බැරිය. වැවා අයියාටත් පසුගිය නෙලුම්යායේ මෙන් බ්ලුක්ස් තේරීමට පැමිනි සජ්ජාටත් දැන් මතකයේ නැතත් අනෙකුත් සියලු දෙනාටත් සහයෝගය දැක්වීම වෙනුවෙන් ද ස්තූතිවන්ත වෙමු.ඒ අතරේ හමු වූ, නිර්මානි නම් වශයෙන් මතක් කර  සහ නොකල සැමට ස්තූතිය සහ සියලු ජයග්‍රාහකයින්ට අපේ උනුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු..
 අවසානයේදී තවත් කාරනයක් කිව යුතු ය. ඒ ආරම්බයේ සිට අවසානය දක්වා ම පිරිස ශාලාවේ රඳවා ගැනීමට අසමත් වීමේ කනගාටුව ගැනයි. එය එසේ වූයේ සමහරවිට රෑ බෝවීම නිසා ද වන්නට ඇතිය. නමුත් ඉන් අවසාන සම්මානලාබීන් කිහිපදෙනාට සහ නාට්‍ය කන්ඩායමට යම් අසාදාරනයක් වූ බව මගේ හැඟීමයි. ඊට අමතරව යම් තාක්ශනික දුර්වලතාවක් හෝ අතපසු වීමක් නිසා හෝ සම්මාන සඳහා නිර්දේශිත නම් ප්‍රදර්ශනය පමා විය. සමහර තරඟ අන්ශ සඳහා එවැනි නිර්දේශ වූ බ්ලොග් සම්මාන ප්‍රදාන අවස්තාවේ ප්‍රදර්ශනය නොවුනු බවද දැනගන්නට ලැබිනි. එකී සුලු දෝශයන් නිවැරදිව සිදු වූවානම් තවත් ලස්සන වන්නට ඉඩ තිබුනා යැයි සිතේ.
ඊලඟ කාරනය නම් නිවේදක උන්නැහැලා පිස්සෙක්ව සේනක බිබිලේ නමින් නම් කිරීමයි. ඉන් සේනක බිබිලේ මහතාටත් අපහාසයක් සිදුවූ බව අප තරයේ විශ්වාස කරමු. අව්ශද ප්‍රතිපත්තියක් වෙනුවෙන් සේනක බිබිලේ කරපු හරියෙන් 1% හෝ මේ ගොබිලා නොකල බව අප සැම විශ්වාසයයි. එසේ හැඳින්වූයේ නිවේදකයන්ට හෝ නෙලුම් යායේ අයට උන්නැහැගේ උන බෝවී උන විකාරයෙන් විය යුතු ය.

Monday, September 5, 2016

ලොව නොදකින දෑසක්, ලොව දැකීම


ඔබ, මම ජීවත් වන මේ ලෝතලය වරෙක සුන්දර ය.... තවත් විටක අසුන්දර ය... කෙසේ වුව ද ලෝකයේ සුන්දර හෝ අසුන්දර බව නිර්මාණය වී ඇත්තේ සුන්දර වර්ණ එක්වීමෙනි... ඒ වගේම විවිධ හැඩතල එක්වීමෙනි.... සෑම දේකටම පාටක් ඇත, හැඩයක් ඇත... ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වර්ණ හා හැඩ වල එකතුවකිනි.... එබැවින් මේ ලෝතලය සුන්දර නිර්මාණයකි... ඉතා සුන්දර යමක් දකින විට “අනේ මේව දකින්න අපි පින් කළානේ” ලෙස ඇතමුන්ගේ මුවෙන් පිට වන්නේ නිරායාසයෙනි.... අසුන්දර යමක් දුටු විට ඒ මුවින්ම පිට වන්නේ මීට වඩා හාත්පසින් වෙනස් දෙයකි.... “අනේ මේව බලන්න අපි පවු කළානේ”
පිනට හෝ වේවා පවට හෝ වේවා, මේ ලෝකය දෑසින් නො දැක මනසින් දකින පිරිසක් සිටින බව ඔබ දන්නවා ඇති... ඒ අය ලෝකය දකින්නේ කෙසේ ද යන්න ඔබට කුමන හෝ මොහොතක ගැටලුවක් වීමට පුලුවන. එසේ නැති නම් වී ඇතුවා විය හැකිය... ඒ අනුව  දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වර්ණ හඳුනා ගන්නේ කෙසේද? හැඩතල, ඇසට හසු වන දෑ ඔවුන් හඳුනා ගන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඇති වීමට පුලුවන. ඒ පිළිබඳව විමසුමක් කිරීමට අපේක්ෂා කරමි... ඒ සෑම දේකටම පෙර දෘෂ්‍යාබාධිත පුද්ගලයන් පිළිබඳව කෙටි විවරණයක් කරන්න කැමතී....
ප්‍රධාන වශයෙන් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ නොපෙනීමේ මට්ටම අනුව වර්ග කෙරේ.
1. B-3. පෙනීමේ සුලු අඩුපාඩුවක් ඇති විට මෙසේ හැඳින් වේ. වර්ණ. වස්තු හඳුනාගැනීමේ අපහසුතාවක් නැත. සමහරක් පුද්ගලයන්ට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
2. B-2. “puver Lowvision” සම්පූර්ණ පෙනීමෙන් අඩක් හෝ ඊට  අඩු ප්‍රමාණයක් පෙනෙණ පුද්ගලයන් මේ කොටසට අයත් වේ. වැඩි දුරක් නොපෙනීමට, අඩු පරාසයක් දැකීමට හැකි ය. මොවුන් තුළ ද ඇතැම්විට වර්ණ අන්ධ බව තිබිය හැකි ය.
3. B-1. පූර්ණ අන්ධ පිරිස මේ කොටසට අයත් වේ.මෙහි දී පූර්ණ දෘෂ්‍යාබාධිත බව කොටස් දෙකකට බෙදා හඳුනාගැනීම පසු පැහැදිලි කිරීම් සඳහා පහසු වේ. පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් ද ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදිය හැකි ය
උපතින් දෘෂ්‍යාබාධිත නො වී පසු කාලීනව දෘෂ්‍යාබාධිත වූ.
වයස අවුරුදු 3 4 වැනි කාලය පසු කර යමෙකු දෘෂ්යාබාධිත වේ නම් ඔව්නට වර්ණ, හැඩ හා වස්තු පිළිබඳව මතකයක් ඇති නම් එවන් දේ අවබෝධ කර ගැනීම අපහසු නො වේ. සරලවම කිවහොත් ඇසූ දුටු දෑ මතකයේ ඇති කාලයේ දී දෘෂ්‍යාබාධිත වීම තුළ වර්ණ හා වස්තු පිළිබඳව අද්දැකීමෙන් ලබා ගත් දැනුමක් පවතී.. රතු, කොළ, නිල්, තැබිලි කී විට එකිනෙකට වෙනස් වර්ණ සිතේ මැවේ. අහස, ගංගාවක් කී විට තමා පෙර දුටු දෑ සමග චිත්ත රූපයක් ඇද ගත හැකි ය. එසේම පෙර නො දුටු, නමුත් පසුව හඳුනාගත් වස්තුවක් වේ නම් එය පිළිබඳව ද චිත්ත රූපයක් ඇද ගැනීම පහසු උදාහරණයක් විදිහට වයස 2000 දී දෘෂ්‍යාබාධිත වූ අයෙකුගේ   එවිට වයස 12 කි..  ඔහු නෙලුම් පොකුණ රංග ශාලාව දැක නැත... නමුත් එය මෙසේ යැයි විස්තරයක් කී විට එය මෙබඳු යැයි සිතා ගත හැකි ය. එසේම මිනිස් රූප සම්බන්ධයෙන්  කතා කරන විට එය මෙසේ කිව හැකි ය... ඔබ හදුනන කෙනෙකු ගැන කතා කරයි නම් හෝ ඔබට යමෙකු සිහි වේ  නම් ඒ මොහොතේ ඔබ අසල ඔහු හෝ ඇය නැතත් ඒ පුද්ගලයාගේ රූපයක් සිතේ මැවෙනු ඇත.. පසු දෘෂ්‍යාබාධිත කෙනෙකුට ද තමා පෙර දුටු කෙනෙකු පිළිබඳව තම මතකය අනුව චිත්තරූපයක් මවා ගත හැකි ය. එසේම ඔබ පෙර ඡායා රූපයකින් හෝ නොදුටු කෙනෙකු ගැන කතා කරන විට හෝ සිහි කරන විට යම් රූපයක් සිතේ මැවෙනු ඇත. දෘෂ්යාබාධිත කෙනෙකු ද නොදුටු කෙනෙකු දකින්නේ එසේ ය. එසේම ඔබ නො දැක සිතේ ඇඳි රූපයක් ඇති කෙනෙකු ඔබට යම් දිනක හමු වූ විට තමා සිතා සිටි ආකාරය හා එම පුද්ගලයාගේ වෙනස්කම් හඳුනා ගත හැකිය.. ඒ අනුව දෘෂයාබාධිත අයෙකු පෙර නොදුටු පුද්ගලයෙකු හඳුනාගන්නේ එම පුද්ගලයාම හෝ තව කෙනෙකු ලබා දෙන විස්තරය අනුවය... සිතේ ඇඳි රූපය වෙනස් කර ගැනීමට දෘෂ්‍යාබාධිත පුද්ගලයාට ද හැකි ය.. එසේම අහස මුහුද, ක්ෂිතිජය වැනි ස්ථාන දැක ඇති නම් එවන් ඡායාරූපයක් පිළිබඳව වුව ද කී විට එහි චිත්‍රයක් සිතේ ඇඳ ගැනීම අපහසු නැත.
උපතින්ම හෝ ඉතා කුඩා කල දෘෂ්‍යාබාධිත වූ.
මෙවන් පුද්ගලයන් පිළිබඳව කතා කිරීමේ දී ඉහත තත්ත්වයට වඩා වෙනස් ය. ඔවුන් කිසි දා, එක් මොහොතකට හෝ වර්ණ දැක නැත. හැඩතල හෝ වස්තු දැක නැත. එසේ නම් ඔවුන් ඒවා දකින්නේ කෙසේද? සත්‍ය වශයෙන්ම මා හට ද එය ගැටලුවක් විය. සෑම වස්තුවකටම හැඩයක් පවතින නිසා ඕනෑම වස්තුවක් ස්පර්ෂයෙන් හඳුනා ගත හැකි ය. නමුත් වර්ණ හා අහස, තරු, දේදුන්න වැනි දෑ හඳුනා ගන්නේ, දකින්නේ කෙසේද? එය මෙසේ ය. වර්ණ යනු අසා දැන ගත් දේ මත ගොඩනගාගත් දැනුමකි. අවබෝධ කර ගත් තත්ත්වයකි. ඔවුන් සෑම කෙනෙකුටම නොදුටුවාවූ ද ඔවුන් සෑම කෙනෙකුටම කැමතිම වර්ණයක් ඇති බව කිව හොත් ඔබ පුදුමයට පත්වනු ඇත. නමුත් එය එසේ ය. ඒ සෑම කෙනෙකුටම ඔබ වගේම කැමතිම වර්ණයක් ඇත.. තව කෙනෙකු ලස්සන, සුන්දර ලෙස පවසන වර්ණ පිළිබඳව අද්දැකීම් රහිත අවබෝධයක්, දැනුමක් පවතී. ඒ අනුව වර්ණ යනු ඔවුනට එක්තරා සංකල්පයක් වැනි ය. එසේම මා හට හමු වූ උපතින් දෘෂ්‍යාබාධිත වූ තරුණියක් වර්ණ පිළිබඳව දැක්වුයේ සෙසු අයට වඩා වෙනත් ප්‍රතිචාරයකි. ඇයට සෑම වර්ණයක් ම දැනේ. සෑම වර්ණයක් ගැනම යම් අදහසක් ඇත. ඇය සිතන ලෙස සුදු වර්ණය යනු බොහෝ මෘදු මොලොක් හැඟීමක් දැනෙන දෙයකි. නිල් පාට යනු ද සෞම්‍ය දේකි. රතු, කළු හා දුබුරු වැනි වර්ණ ගැන ඇය සිතන්නේ රලු දෙයක් ලෙසටයි. මේ ඇයගේම වචන ය.
ඒ වගේම යම් යම් හැඩ හා වස්තු පිළිබඳව කතා කරන විට ස්පර්ෂයට ඇති වස්තු ඒ ඒ හැඩ අනුව ක්ෂණයෙන් හඳුනාගැනීමේ හැකියාවක් ඔවුන් සතු ය. එහෙත් සිය ස්පර්ෂයට හසු නො වන දෑ පිළිබඳව ඇත්තේ අන්‍යයන් කියනා දේ තුළින් ලබා ගත් දැනුමක් පමණි. ඒ තුළින් ඔවුනගේ සංතානයේ යම් අදහසක් පවතී. යම් යම් දේ පිළිබඳව ඔවුනගේ දැනුම පෝෂණය වී ඇත්තේ සාහිත්‍ය හා වෙනත් විග්‍රහ තුළින් බව පෙනී ගිය දේකි. ඇතැම් දේ පිළිබඳව ඔවුන් දන්නා දේ කියන අතර ඒ තුලින් තමා අවබෝධ  කර ගත් ප්‍රමාණය අනුව පමණින් පැහැදිලි කර ගැනීමක් ද ඇති බව වැටහේ. ඒ වගේම ඔවුන් කියන ලෙස තමා නො දුටු, ස්පර්ෂයට ද හසු නොවන දෑ පිළිබඳව ඔවුන් තුළ ඇති හැඟීම වචනයෙන් විස්තර කළ නො හැකි ය. ඒ අනුව වර්ණහා ස්පර්ෂයට හසු නොවන යම් යම් දෑ පිළිබඳව ඇත්තේ සංකල්පමය දැනුමකි. එසේම ඕනෑම වස්තුවක් හඳුනා ගැනීමේ හැකියාව පුද්ගල බද්ධ වේ. ඒ ඒ පුද්ගලයාගේ ඥාණ ශක්තිය, අවබෝධ හැකියාව මත සිදු වේ.
පුද්ගලයන් හඳුනා ගැනීම මදක් විශේෂ ය. ඔබ වරක් දුටු අයෙකු තවත් වරක හඳුනා ගන්නේ රූපයෙන් ය. ඇතමෙකුට එය ද නො හැකි වීමට ද පුලුවන. දෘෂ්‍යාබාධිත කෙනෙකු එක් වරක් හඳුනා ගත් අයෙකු තවත් විටක හඳුනා ගන්නේ කට හඬින් ය. බොහෝදෙනෙකුට කෙනෙකු අද හමු වී මීලඟ හමුවීම තව වසර ගනණාවකින් වුව ද හඳුනා ගැනීමේ හැකියාව පවති. එසේම නිතර නිතර හමුවන පුද්ගලයන්ගේ හඬට අමතරව හඳුනාගැනීමේ දී උපයෝගී කර ගන්නා කරුණු කීපයක් තිබේ. ඒ අතර පා ගැටෙන නද, ඒ ඒ පුද්ගලයාට ආවේනික ගන්ඳයක් වේ නම් එය,   අත ඇල්ලූ විට ද කවුරුන්  ද කිව හැකි ය. මේවා මා දකින්නේ විශේෂ හැකියා ලෙස නොවේ. එක් අඩුවක් ඇති විට ඒ අඩුව මැකීමට ස්වභාව ධර්මයට අනුගත වීමක් ලෙස ය. පුද්ගලයන් හඳුනා ගැනිම උපතින් දෘෂ්‍යාබාධිත වූ සහ පසුව දෘෂ්යාබාධිත වූ දෙපිරිසටම පොදු ය. එසේම පුද්ගලයාගේ හඩ අනුව ද දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ගේ සිතේ රූපයක් මැවීමට ද පුලුවන. එය පුද්ගල බද්ධ සාධකයකි... එසේම ඉහත කී b-1සහ b-2 යන කාණ්ඩ දෙකට අයත් පුද්ගලයන්ගේ සවන්දීමේ හැකියාව ඉතා ඉහල ය. ඔවුනට කුඩා ශබ්ධයක් වුව ද ඇසේ. විශේෂයෙන් පූර්ණ දෘෂ්යාබාධිත පිරිසගේ ශ්‍රවනේන්ද්‍රිය ඉතා දියුනු තත්ත්වයේ පවතින අතර මතක ශක්තිය ද මේ දෙපිරිස අතර වැඩි ය.
ඒ වගේම පූර්ණ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සුදුසැරැටි ආධාරයෙන් මාර්ගයේ ගමන් කරනු  ඔබ දැක ඇත. එසේ නැති නම් ඒ ඒ පුද්ගලයන්ට හුරු ස්ථානයක් නම් ආධාරකයක් නොමැතිව තනිව ගමන් කරනු දැක තිබීමට ද පුලුවන. මේ කුමන ආකාරයකට වුව ද මොවුන් ගමන් කරන විට විශාල ශබ්ධ ඔවුනට බාධා ගෙන දේ. ඔවුන් පරිසරයට දැඩි ලෙස සංවේදී වේ. එවිට විශාල ශබ්ධ ඒ ගමනට බාධාවකි. නගරයක පවතින ගෝශාකාරී බව මින් අදහස් නොවේ. ගුවන් යානා නද හා එවන් දැඩි ශබ්ධ මෙහි දී දැක්විය හැකි ය.
දෘෂ්‍යාබාධිත අයෙකුගේ සිහින දැකීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
මා පෙර කී  පසු දෘෂ්යාබාධිත වූ අයෙකු නම් තමා දැක ඇති  පරිසරයක්, දුටු අයෙකු හෝ චිත්තයේ පවතින ලෙස සිහින දකී. සාමාන්‍ය ලෙස ඒ සිහිනයේ වර්ණ, වස්තු හැඩ පවතී. උපතින් දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන් ද සිහින දකී. සාමාන්‍ය පරිසරයක ඔවුන් ජීවත් වන විට හඬ හා ස්පර්ෂ ඒ සිහින තුළත් මූලිකවේ... අපි මෙසේ සිතමු.
ජනක උපතින් දෘෂ්‍යාබාධිත අයෙකි. ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග මුහුදු වෙරලේ ඇවිදිනවා සිහිනයෙන් දකී. ඔහු පහුවදා තමන් දුටු සිහිනය විස්තර කරයි. ඒ සිහිනය ඔහු දකින්නේ මෙසේ ය. මිනිස් රූ ගැන ඔහු දන්නා නිසා පවුලේ සාමාජිකයන් ඔහු අවට සිටිනා බව දැනේ. ඔවුනගේ හඬ ඇසේ. ස්පර්ශ ද දැනේ. මුහුදේ නද ඇසේ.. තවත් විදිහකට පැහැදිලි කලොත්,
සිහිනයක් දැකීම යනු ඔබ ගුවන්විදුලි නාට්‍යකට සවන් දෙනවා බඳු ය. ඔබ නොදුටු රූප සිතේ මවාගෙන නාට්‍යට සවන් දේ.. උපතින් පූර්ණ දෘෂ්‍යාබාධිත වූ පුද්ගලයන්ගේ සිහින දැකීම ද එබදු ය... සිතින් මවා ගත් රූ සහිත හඬ පමණක් මුසු ජවනිකාවකි.
ඒ වගේම රූපවාහිනිය නරඹනවා, චිත්‍රපටයක් බලනවා, කියුවොත් ඔබට පුදුම සිතෙනු ඇත. නමුත් ඔවුනට එය නැරඹිය හැකි ය. ඒ කෙසේ ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත.
රූප හඳුනා ගැනීම හා වර්ණ හඳුනා ගැනීම යන දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පවතින ගැටලු සඳහා මේ වන විට තාක්ෂණික මෙවලම් නිර්මාණය කර ඇත. එහෙත් ඒවා එතරම් සාර්ථක නැත. වර්ණ හඳුනාගැනීමට ඇති උපකරණය භාවිත කිරීමේ දී අවශ්‍ය යම් දේක වර්ණය දැන ගැනීමට අවශ්‍ය වුව ද එය වෙනත් දීප්තිමත් ආලෝකයට ප්‍රතික්‍රියා දැක්වීම තුළ ඉන් ඵලක් නැති වේ. ඒ වගේම මේ වන විට බහුලවම භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් තාක්සණය සහිත ජංගම දුරකථනවල ඡායාරූප ගැනීමට දෘෂ්‍යාබාධිත අයෙකුට හැකි ය. ඉන් අවට ඇති දේ කියවනු ලබයි. එසේම ඉන් වෙනත් ඡායාරූප ද කියවනු ලැබේ. නිදසුනක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු නිවසක් තුළ සිට ඡායා රූපයක් ගෙන මුහුණු පොතේ දමා ඇති නම් එය 2 people indoor ලෙස කියවයි.. එම පහසුකම ඇත්තේ ජංගම දුරකථනවල පමණි.
මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් ඇති වන්නට ඇතැයි සිතමි..

ප-ලි. මේ කෙටි විස්තරයෙන් ඔබට යම් පැහැදිලි වීමක් වන්නට ඇතැයි සිතමි. ඒ වගේම ඔබට මා පුංචි යෝජනාවක් ද කරන්නට කැමති... ඔබගේ බ්ලොග් අඩවියේ පලකරන පෝස්ටුවල ඡායාරූප අන්තර්ගත වේ නම් එම ඡායාරූපය කෙටියෙන් හදුන්වන්න උත්සහ කරන්න... අන්තර්ජාලය ඇසුරින් ලබා ගත් ඡායාරූප වේ නම් බොහෝ විට එම ඡායාරූපය නම් කර ඇති නිසා අනවශ්‍ය වේ.. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ අජිත් අයියා මෙය අත්හදා බලා ඇත. මෙය යෝජනාවක් ම පමණි...

ඵ/ඵ/ලි.(කසුන්)
ඔබ ඵල කරන පින්තූර සඳහා විස්තරයක් කිරීම ඔබේ සටහන සඳහා බාදාවක් නම් පින්තූරයට ඕල්ටනේටිව් ටෙක්ස්ට් ලෙස හෝ මෙහි ඇත්තේ මොනවාද යන්න ලියා තැබීමට කාරුනික වන්න. නිර්මාණි ඉහතින් කියා ඇති පරිදී ඔබටද උපතින් පූර්න දෘශ්‍යාබාධිතයෙකුගේ අද්දැකීම ලැබී ඇත. උදා- ඔබ ගුවන් විදුලිය ඇසීමේදී නිවේදකයාගේ හඪ මත පදනම්ව ඔහුගේ උස, පැහැය, ඇඳුම් පැලඳුම් ආදිය පිලිබඳව අදහසක් ඇති කර ගනී. එවැනි අදහසක් හරි හෝ වැරදි වීමේ සම්බාවිතාවක් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ බව 2016-08-07 සිහිනයකි රෑ වැඩසටහනේ එක් අවස්තාවකින් එය නැරඹූ ඔබට ද පැහැදිලි වනු ඇත.

Thursday, July 14, 2016

විශේෂ දවසක්, සමරන්න සෙට් වෙනවද?

 ඕන් දැන් අපි අහසෙන් ඇවිත් මේ ඔක්කොටම හැම දේම සෙට් කොරල තියෙන්නෙ...
කැමති දේකින් සප්පායන් වෙමු... හරි හරි අටමෝ, කමියෝ, කටුස්සෝ ඔය
තියෙන්නේ, බයිට් ද බෝතල් ද ඕනැ එකක්... හරි හරි බන්... උඹල ඔක්කොටම
තමයි... ඉස්ත්‍රී පාර්ෂවේටත් ඔය තියෙන්නේ ස්මැක්, මිරින්ඩ ගන්න ගන්න ඔනැ
එකක්... මොකද අහසෙන් ඇවිල්ලා අදට අවුරුද්දයිනේ... ඔයාල තමයි මේ අවුරුද්ද
පුරාටම අපි එක්ක හිටියේ.... හොඳ දේ හොඳටම අගයලා... අඩුපාඩු තියන තැන්
හරිගස්ස ගන්න පෙන්නලා, අලුත් අදහස් දීලා මේ අවුරුද්දම එකට හිටියනේ...
ඒ විතරක්ද, වෙඩින්වලට, පාටි වලට, සෙට් උනේ... මතකද? ඇයි නෙලුම් යාය
සම්මාන උළළට ගියා, පොත් එලි දැක්වීම් වලට අපි සෙට්වුනේ.....
අහසෙන් එනකොට තව වෙච්ච විශේෂම දෙයක් තමයි, සමස්ථ ආබාධිත පිරිස ගැනත්,
දෘෂ්‍යාබාධිත අය වෙනුවෙනුත් ඔයාලා දැනුවත් කරන්න ලැබුන එක...  ඒ වගේම
අහසෙන් එන අපි එක්ක සෙට් වුණු ඔයාලට අපිට තියන පොත් කියවා ගැනීමේ
අපහසුතාවය පෙන්වා දීලා, ඒ වෙනුවෙන් ඔබේ සහයත් ලබා ගන්න හැකි වුනා... මේක
තමයි විශේෂම දේ... ඉතින් මේ හැම දේම පුලුවන් උන අහසෙන් එන අපිට ඔයාලා
දුන්න සහයෝගය නිසයි... අපි දැන් සවුදිය පුරමු...

ආ තව එකක්.. මේ   තියෙන්නේ අහසෙන් ආව අපි එක්ක මුල ඉදලා එකතු උණු
පිළිවෙල... මුලින්ම  සවුදිය පුරන්න ඕනේ අටම්පහුර ලියන අටමා...
අම්බලන්ගොඩ කතා ලියන අම්බලන්ගොඩයා.. මුන් දෙන්නා තමයි අහසෙන් එන පැත්තට
මුලින්ම ගොඩවුනේ....
 ඔන්න ඊට පස්සේ කස්ටිය මෙහෙමයි ආවේ... කුරුටුගෑ ගී පවුරේ
හැමෝම...රසිකොලොජිස්ට් ලියන රසික සූරිය ආරච්චි...කොළඹ ගමයා ලියන අජිත්
ධර්මකීර්ති... ලොකු පුතා... වර්ණ කුලකය ලියන සංජීව... සිංදු
ඇනෝ...මදුමාධවී... කැමරාවෙන් එහාලෝකය ලියන Yashyantha, රූපේ... සබරෙ ඇනෝ....
ඉවාන් පවුලූශා... බස්සිගෙ නවාතැන ලියන බස්සි... සිතුවිලි සිත්තමට නැගෙනා
කවි පොත ලියන සිත්තමී... වර්ණ හැඬ කරන දිනේශ්.. එලද බ්‍රා මෙන්ඩා...
තෙලිදිය වාඩිය... ගස්ලබ්බා... දේශකයා.. ඉකොනො මැට්ටාගේ බොජුන් හල ලියන
ඉකොනො මැට්ටා.... පැතුම් හේරත්... ප්‍රාජේ... සමකය වටා ලියන නලීන්
දිල්රුක්ශ...  තිලක සිත ලියන තිලකෙ අයියා... මනෝ මන්දිර... සඳවියමන් ලියන
සදා... දිල්ශාන්... ඉෂාණි රණසිංහ.. නිහින්සා... අවංක ආර්යන්.. විභීෂණගෙ
අඩවිය ලියන විභීෂණයා... ඇවිද්ද පය ලියන සුදීක... අජිත් කුමාර... අශාන්
රවිදු... හන්සි... ඉයන්...  අසමි දකිමි ලියන විචාරක... බණ්ඩා...
වාසනාවන්ත කාලකන්නියා...  ග්‍රැකීගෙ අඩවිය ලියන ග්‍රැකී... කම්මලයා...
හැලප කඩේ හැලපෙ අයියා...  පුංචි කැකුලු ලියන තුශාණී... මහේශ් රත්නායක...
තරුරසී ලියන තරු, සත් පොත්... කළු සහ සුදු... Kaushi Ariyabandu,
ගාබ... කල්යාන මිත්‍ර නොහොත් සුමිත් කලනසිරි.
ඒ වගේම විල් තෙරේ කිඹුලී.. අනුත්තරා ඉරුගල් බණ්ඩාර... පත්තර මල්ලි...
මනෝජ් ෆනාන්ඩු... පොඩි කුමාරිහාමි අක්කා... ප්‍රියන්ති හන්සමාලි... මහේශ්
සමන්ත කුමාර... සී.ජේ. විධාන පතිරණ- විධානයා... ඇස්... වැසි දැරිය ලියන
වර්ශා.... නොකී කතා ලියන Hendry අයියා...කටුසු හදවත ලියන
කටුස්සා....ගිම්මිගේ කොළම කරන ගිම්මී....සජ්ජාගේ පඩංගුව අයිති සජ්ජා....
කුකුළගෙ කොටුවේ ගම් කුකුලා.....රංගන සහෝදරයා......යාංහෑල්ලේ
සුරන්ග...සලිත රජමුණි
...සිංහල බ්ලොග් ගලේ ලලිත් පෙරේරා....ඇනෝපිලිස්...මනාගෙ පිංතාරුව..ඩුඩ්
අය්යා...සොමියා...ඔමාගේ සිහින සාප්පුව දකින ඔමායා....සංජය ශ්‍රීකාන්ත්...
සිතූගෙ සිතුවිලි ලියන සිතූ....මෙතූ...ලේපාට හීන...තිලාන්...මාතලන්
ලියන්නා ප්‍රියන්ත...මලියා...නිම්නයක තනි වී හීන දකින්නී වන චතූ...යශිත්
ගමගේ...රන්දුළා..රාජ්ගෙ නවා තැනේ ඉන්න රාජ්...කවිඳු
ජයසිංහ...රොටියබාබ...අරුණ පෙරේරා...අනිත් කොන ලියන බෝදිනී අක්කා...
 හා හා පොඩ්ඩක් ඉන්න තව ඉන්නවා... එතකොට,
රසික ගුණවර්ධන...පොකුරු වැහි...දුමින්ද අබේසේකර...වසන්තයට පෙර...අලු
සුලඟ..චතුරංග ප්‍රියසාද්- ප්‍රියා...රොහාන් දනන්ජය...
 ආ.... කොමෙන්ට් කරුවන්ගේ සභාපති ප්‍රසන්න....සරසතුමා...සිරාගෙ කාමරේ
අරින සිරා කොලුවා.... ලිකිතා... Ishani සහ සියලු ඇනෝවරුන්... කොමෙන්ට් නොකළත්
කිය වූ හැමෝම....
එකතු වෙලා සවුදිය පුරමු...

අර කලින් කියුව වගේ හොඳ දේ හොඳටම අගයලා, අඩුපාඩු ඇති තැන් පෙන්වලා, අලුත්
අදහස් ගෙනාව මේ හැමෝටම අපේ ස්තුතිය... ආ ඒ විතරක් නෙවෙයි, ඇනෝ ආව අයත්
අමතක නෑ... ඒ අයටත්, මෙතෙක් කල් කොමෙට් නොකළත්, කිය වූ හැමෝටම,
ස්තුතී.....
 ඒ වගේම අදින් පස්සෙත්, , ගුණ දොස් විචාරන්නත්, අලුත් අදහස් එකතු
කරන්නත්, අහසෙන් එන අපි එක්ක එකතු වෙන ඔයාලට පුලුවන්.... එහෙනම් ආයෙ
වතාවක්... ඔබ සියලු දෙනාට ස්තූතිය....

Sunday, April 3, 2016

සිතන්න, ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කල හැකි ද?



මේ ගම්පහ දිස්ත්‍රීක්කයයි. වසර 2016යි. දිනය ලෝක කාන්තා දිනය හෙවත් මාර්තු අට වෙනිදායි. ස්තානය පොලීසියයි.කතාව කෙටියෙන් මෙහෙමයි.

ඇය ඉතා දුකසේ ජීවත් වන තරුනියකි. තමන්ගේ වසර 21 ක ජීවිතය තුල එකඳු වචනයක් හෝ කතා කිරීම ට ඇය අසමත් වූවාය. නමුත් ඇය යම් අධ්‍යාපන මට්ටමක් කරා ලඟා වූවා ය. පොහොර කවර ගැසූ නිවසක ජීවත් වෙමින් තම මවගේ ඉතා සුලු ආදායමින් ජීවත් වූ ඇයට සිහින ජීවිතයේ නොතිබුනා නොවේ. ඇය විවාහ වී දරුවන් හදමින්, තම සැමියාට හොඳ බිරිඳක, දරුවනට හොඳ මවක වන්නට සිහින දකින්නට ඇත. එහෙත් ඒ සිහින සියල්ල මේ සිදුවීම නිසා බොඳ වූ බව දැන් අමුතුවෙන් කිව යුතු නැත.

තම මවගේ ඉතා සුලු ආදායමින් ලබාගත් මුදලින් තමන් සාමාජිකත්වය දරන සංවිධානයක වාර්ශික සාමාජික මුදල් ගෙවා තම සාමාජිකත්වය යාවත්කාලීන කරගැනීම සඳහා ඇය මාර්තු හත් වෙනිදා නිවසින් පිට වූවාය. අදාල මුදල් ගෙවා දැමීමෙන් පසු ඇය නිවස ට පැමිනෙමින් සිටියා ය. මේ අතරතුරයි ඇයගේ ජීවිතය බිඳ දමන ඒ පාපතර සිදුවීම සිදු වන්නේ.

මොටෝ බෛසිකලයකින් පැමිනි යම් පුද්ගලයෙක් ඇයගේ අතින් අල්ලාගෙන ඇදගෙන යනවා. මේ මොහොතේ ලඟපාතක වෙන කිසිවකු හෝ නැතිනම් ඔබ හැකි වෙර යොදා කෑ ගසා උදවු ඉල්ලා සිටිනවා. නමුත් ඇය? දැන් ඇයගේ තත්ත්වය ඔබට වටහා ගත හැකි වේවි. මේ ලිපිය කියවන කාන්තාවකට විෂේශයෙන් මේ ගැන දැනේවි. ඒ මොහොතේ ඇයට කර කියාගත හැකි කිසිවක් තිබුනේ නැහැ.

එලෙස වෙලක් ලඟට ඇදගෙන ගිය ඇයව වෙනත් පුද්ගලයෙකුට බාර දී රූ.2000 ක් ලබා ගත් බව ඇය පවසනවා. දෙවැනි පුද්ගලයා විසින් ඇය ව ඇදගෙන යන්නේ වෙල එහා කොනේ තියෙන යමක් සඳහා බාවිතා කල තැනිතලා කොංක්‍රීට් වැනි බිමකටයි. එතැනදී ඇය ඒ තිරිසන් මිනිසා අතින් දූෂනය වනවා. නමුත් මේ සිදුවීමෙන් නොනැවතුනු මේ තිරිසනුන් යලි කලින් ඇය රැගෙන ආ පුද්ගලයා ගෙන්වාගෙන ඇයව බලහත්කාරයෙන් පාලු නිවසකට ගෙන යනවා.

එහිදී ඇය විෂාල පීඩා රැසක ට මුහුන දෙනවා. එක් අයෙකු වෙනුවට සිව් දෙනෙක් අතින් අතවරයට ලක් වන මේ තරුනිය එදා රාත්‍රිය නිදි වර්ජිතව ගත කරනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. මිනිස් වෙස් ගත් අදම තිරිසනුන් සිව්දෙනෙකුගේ කාම පිපාසාව සන්සිඳුවීම සඳහායි. මේ සිව්දෙනා විටින්විට ඇයව කෙලෙසන අතරතුර විවිද තාඩන පීඩන කරමින් ඇයගෙන් තම විකුර්ති කාම ආෂාවන් ද සන්තර්පනය කර ගන්නවා. එක් අවස්තාවකදී ඇයව දෑතෙන් ඔසවා දෙපතුල් බිම වදින සේ වැරෙන් පොලවේ ගැසූ බව ද ඇය පොලිසිය හමුවේ කියා තිබුනා. ඒ අවස්තාවේ දරා ගත නොහැකි වේදනාවක් කොන්දේ ඇති වූ බවත් ඇය විසින් කියා තිබෙනවා.

පසුවදා කාන්තා දිනය උදා වන උදයේ තම වගකීම කාන්තාවක් වෙනුවෙන් ඉටු කල මේ පාපතරයින් ඇයව නිවෙස අසල තැනක හැර දමා පලා යනවා. ගෙදර ගොස් මවට මේ සිදුවීම කියන ඇය මව සමග පොලිසියේ පැමිනිල්ලක් ද දැමීමට තරම් නුවනැති වනවා.

දැන් සිදුවීම පිලිබඳ පොලිස් පරීක්ෂන ක්‍රියාත්මකයි. අදිකරන ක්‍රියාමාර්ගයන් සඳහා යොමුවී ඇතිද යන්න මා නොදැන සිටියත් නිසැක වශයෙන්ම ඒ සඳහා යොමු වේවි. නමුත් පොහොරකවරයෙන් වැසූ නිවෙසක සිටින ඇය ට යුක්තිය ඉටු කර ගත හැකි වේවි ද? සියලු දේ හමුවේ මුදල් නමැති බාදකය ඇයගේ යුක්තිය වෙනුවෙන් හරස් වේදැයි මට සිතේ.

එහෙත් කාන්තා දිනයේ ඇය වෙනුවෙන් සමාජය දුන් දායාදය කොයි තරම් අපූරු ද? යෝජිත විවාහයකින් තම ජීවිතයේ සිහින සැබෑ කරගන්නට පෙරුම් පිරූ ඇයට දැන් මේ විවාහ සිහිනය ද අහිමි වී ඇති බවටයි ආරන්චි ලැබෙන්නේ. ආබාධ සහිත වූවන් සඳහා වන කිසිඳු කතා බහකින්, සමුලුවකින්, නීතියකින්, පෙලපාලියකින්, ලේ වැගිරීමකින් ඇය වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු කල හැකි ද? සමාජ යුක්තිය යනු මෙය ද?

Monday, March 28, 2016

යායේ පිපුනු නෙලුම් සුවඳ






මේ දවස්වල බ්ලොග් කියවන අයට කියවන්න වෙන්නේ නෙලුම් යාය ගැන තමා. තවම උනුසුම රැඳුනු නෙලුම් යාය සම්මාන උළෙල ගැන එක එක අය තමන්ගේ ක්‍රමය ට, තමන්ගේ නිර්මාණෂීලී බව පෙන්වමින් සටහනක් තියන්න අමතක කරන්නේ නෑ. ඒ අතර තමන්ට ලැබුනු සම්මානෙ ගැන කියන්නත්, ඒ වෙනුවෙන් කෘතගුන දැක්වීමක් වශයෙන් ස්තූති කරන්නත් හැම කෙනාම අමතක කරලා නෑ. ‘‘සම්මාන ලැබුනත් නැතත් බොහෝ අය හමුවී නිදහසේ කතා කරන්න, ටිකක් විනෝද වෙන්න ලැබීම ගැනනම් ඉතින් බොහොම සතුටුයි.‘‘ මේ මගේ විතරක් නෙවෙයි එදා හිටපු හැමෝගෙම වගේ අදහස මෙය විය යුතුයි.

මේ අතරේ නෙලුම් යාය සම්මාන උත්සවයේ තිබුනු දේෂනය ගැන කට්ටිය එහෙන් මෙහෙන් කතා වෙනවත් ඇහුනා. මම හිතුවා නෙලුම්යාය ගැන මොකුත්ම නොකියා එදා තිබුනු ප්‍රධාන සංවාදය ඔබට ඉදිරිපත් කරන්න. මා මුලින් සිතා සිටියේ මෙය යතුරු ලියනය කර මෙහි පල කිරීම වුවත් ඒ අදහස අතහරින්න වුනේ තරමක් ධීර්ග බව දැනුනු නිසයි. ඒ නිසා මගේ පටිගතකිරීම් යන්ත්‍රයේ සටහන් වුනු සාකච්ඡාව ඒ විදිහට ම ඔබට අහන්න දෙන්න තීරනය කලා. මෙය එදා එන්න බැරි වුනු බ්ලොග් කියවන, ලියන හැමෝටම වැදගත් වේවි.

මේ හඬ පිටපතක් පමනයි. වීඩියෝ පිටපත් ගැනනම් මගෙන් අහන්නෙපා. අර කමිය, නෙලුම් අජිය එහෙම ඉන්නෙ ඒ අයගෙන්ම අහන්ඩලා. මේ ඒ සාකච්ඡාවේ සංස්කරනය නොකල පිටපතක්. එදා හිටපු අයටත් මේ විදිහටනෙ අහන්න ලැබුනෙ.

73MB විතර ලොකු ප්‍රමානයක් තිබීම ගැනනම් මට දොස් කියල වැඩක් නෑ. අර ඉවානය තමා ඒකට වගකියන්න ඕනේ.

හරි එහෙනම් මෙන්න ලිංක් එක.
වෙන පෝස්ට් එකකින් එනකල් මේක අහල තියාගන්නකො එහෙනම්.

ප/ලි.
එදා නෙලුම් යායේ සාර්තකත්වය පිටුපස සිටි සැමට මගේ ප්‍රනාමය. ඒ වගේම සම්මාන ලැබූ සියලු බ්ලොග්කරුවන්ට මගේ උනුසුම් සුභ පැතුම්!