මේ
මාතෘකාවෙ මම කැමතිම ගී කියල තිබුනට මේ තියෙන්නෙ මං කැමතිම ඒව නෙවෙයි. ඒ කියන්නෙ මං
කැමතිම ඒව අතරින් මේ වෙලාවෙ තෝරාගන්න පුලුවන් වෙච්ච කිහිපයක් විතරයි. වැඩේ හිතුවට
වඩා කල් ගියා. ඒකෙන් උනේ අවස්තාව පාවිච්චි කරල මේ බ්ලොග් එකේ අනිත් ලියන්නිය තමන්ගේ
ගීත දහසයේ අබියෝගෙ ජයගත්ත එකයි.
හරි.
ඒකෙන් කාරි නෑ. දැන් බලමු මං තෝරන ගීත දහසය. මේ මට මේ වෙලාවෙ මතකෙට එන ගීත අතරින්
කරපු තෝරාගැනීමක්.
1. සුදු පාට මල් පිපුනු-කරුනාරත්න දිවුල්ගනේ
මේ ගීතය අපි උසස් පෙල කරන කාලෙ කියපු ගීතයක්. ඒ
වගේම තවමත් මේ ගීතයට බොහොම මනාපයි. දිවුල්ගනේ ගෙ කැමති ගීත බොහොමයක් තිබුනත් අවසානයෙදි
මා තෝරාගන්නට පෙලඹුනේ මේ ගීතයයි.
2. සුදෝ සුදට පේවී-ශාලිකා සුමනසේකර
මට හිතෙන හැටියට ජාතික සමගිය වෙනුවෙන් හැදුනු
බොහොම සුන්දර ගීතයක්. ඒ වගේම මේ ගායිකාව සහ තනු නිර්මානකරු කියන දෙන්නාම මගේ ප්‍රියතමයන්.
3. හම්තාන සිහිනේ-උමාරියා-අමරදේව
මේ ගීතය අහපු මුල්ම දවසෙ ඉදන් මේ වෙනකල්ම මං ෙබෙහොම
ආසාවෙන් අහපු ගීතයක්. ඒ වගේම එදා සහ අද කියන පරම්පරා දෙකම මේ ගීතය නියෝජනය කරනවා. මේ
ගීතය උමාරියා තනියෙං රූපවාහිනියෙදි ගයපු අවස්තාවක් මේ. ඔර්ජිනල් එක මෙතනින් අහන්න.
4. හීන ගේන හැම රෑකම-අමරසිරි-නිරෝශා.
අමරසිරි පීරිස් කියන්නෙ මගෙ ප්‍රියතමයන් අතරින්
කෙනෙක්. ඒ වගේමයි නිරෝශා විරාජිනීටත්. මේ එකතුව සහ මේ ගීතය බොහොම රසවත්.
5. ඉවාල් පව්ලූෂා-අප්සරා ද සිල්වා.
මං බොහොම පොඩි කාලෙ අහපු මේ ගීතය බොහෝ දෙනා කැමති
ගීතයක්. ඒ කාලේ රේඩියෝවෙ මේ ගීතයයි කොලොන්තොටින් නැව් නැග්ගා කියන ප්‍රදීපා
දර්මදාසගෙ ගීතයයි බොහොම ජනප්‍රියයි. එදා වගේම අදත් මගේ ලිස්ට් එකේ මේ ගීතය උඩින්ම
තියෙනවා.
6. ආකාසයේ-ශෂිකා
ශෂිකා නිසන්සලා කියන්නෙ අපි හත අට වසරවල් වල ඉන්න
කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච ගායිකාවක්. තුරුනුෂක්ති වැඩසටහන ඉවර වෙච්ච අලුතම වගේ දීපිකා
ප්‍රියදර්ෂනී එක්ක අපේ ඉස්කෝලෙට ආව මට හොඳට මතකයි. ඒ කාලෙ තිබුනු ලස්සන හඬ දැන්
නැතත් මං ඊලඟට තෝරන්නෙ ඇයගේ අලුත් ගීතයක්. අලුත් කිව්වට ටිකක් විතර පරන ගීතයක්.
7. මේ පාලු සීත-චන්ද්‍රලේකා
චන්ද්‍රලේකා-රූකාන්ත කියන්නෙ පොඩි කාලෙ ඉඳලම මගෙ
ෆේවරිට් ලිස්ට් එකේ ඉන්න දෙන්නෙක්. ඉතින් මං දැනට රූකාන්ත ව ටිකකට පැත්තකින් තියල
චන්ද්‍රලේක තනියෙන් කියන මේ ගීතය තෝරාගන්නෙ රාත්‍රියකට ගැලපෙන තනුව, මදුර හඬ සහ පද
සංකල්පනාව වගේ ගොඩක් හේතු නිසයි.
8. ජීවිතය ඔබෙන් දැන-දයාන් විතාරන
දෙදාහ-දෙදහස් එක වගේ කාලෙ සංගීත ලෝකෙට ආපු කැමරා
ෂිල්පියා මොහුයි. ඔහුගේ ගී අතරින් මං කැමති ම ගීත කිහිපයෙන් එකක් විදිහට මේ ගීතය
හඳුන්වා දෙන්න කැමතියි. බොහොම ප්‍රේමනීය ගීතයක් වෙච්ච මේ ගීතයට ඔබත් බොහොම කැමති
ඇති.
9. අප්පච්චී-කසුන් කල්හාර
පියෙකු වෙනුවෙන් පුතෙකුගේ හඬින් ගැයෙන මේ ගීතයට
බොහෝ දෙනෙක් ආසා කරනවා. මමත් මේ ගීතය අහපු මුල්ම දවසේ ඉඳල අහනව. බොහොම ආසාවෙන්.
වචන, තනුව කියන දෙකට තමා මං බොහොම කැමති. ඒ කියන්නෙ ගිටාරය, බටනලාව වගේ බාන්ඩ
එකතුවකට මං බොහොම මනාපයි.
10. සීත රෑක මදුසමේ-සමිතා මුදුන්කොටුව
රාත්‍රිය, ස්රුංගාරය පිරුනු සුන්දර ගීතයක්.
සමිතගෙ ගීත අතරින් මං තෝරන්නෙ මේ ගීතය. මම කැමති වෙනත් ගීත ගොන්නක් තිබුනත් මේ
වෙලාවෙ සමිතගෙ මේ සින්දුව තෝරන්න කියලයි මගෙ හිත මට කියන්නෙ. ඒ අනිත් ගීතවලට තියෙන
අකමැත්තක්නිසා නෙවෙයි. මේ වෙලාවෙ හැටියට මේ ගීතයයි උඩින් ඉන්නෙ.
11. සුදු රුවනි-ජගත් වික්‍රමසිංහ
මේ සින්දුවත් ආවෙ මගෙ හිතේ එම් එන්ටටේට්මන්ට් එකෙන්
ගහපු සීඩී එකක. ඒ කාලෙ මං බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් යාලුවෙකුට කියල මේ සීඩී එක
ගෙන්නගෙන වෙන තැනකට අරං ගිහින් කොපියක් දාගෙන දුන්න. ඒ වගේ එක සින්දුවක් වෙනුවෙන්ම
ඇල්බමයක්ම ගත්ත අවස්තා එමට තියෙයි. උදාහරනයක් විදිහට කසුන්ගෙ ඇරඹුම ම කඳුලක් නිසා ඇල්බමයම
ගත්ත. දිවුල්ගනේගෙ බැබලීම වගෙම බැස යාම කියන ගීතය නිසා ඒ ඇල්බමයම ගත්ත.ඒ වගේ මේ
ගීතය නිසාමයි ඒ කාලෙ ඒතරම් මහන්සි වෙලා ඒ ගීත ඇල්බමයෙ කොපියක් අරගෙන තියාගත්තෙ.
12. ලිහිනි-ඉන්දිකා උපමාලි
බොහොම දක්ෂ ගායිකාවක් වෙච්ච ඉන්දිකා උපමාලි මේ
ගීතයට උපරිම සාදාරනයක් කරනව කියලයි මට හිතෙන්නෙ. මේ ගීතයේ සංගීත බාවිතාවත් විෂිශ්ටයි.
මගෙ හිතේ මේ ගීතය දෙදහස් දහතුනේ හෝ දාහතරෙ රාජ්‍ය සම්මානයටත් නිර්දේෂ උනා. සම්මාන
ගත්ත කියලත් පොඩි මතකයක් තියෙයි.
13. දමා යන්නට නොහැකි මිහි මත-සෝමතිලක ජයමහ.
සෝමතිලක ජයමහ කියන්නෙ අපි හැමෝම බොහොම කැමති
ගායකයෙක්. ඔහුගේ වැඩිය ඇහෙන්නෙ නැති, නමුත් මං බොහොම ප්‍රිය කරන මේ ගීතය තමා මං
ඊලඟට තෝරා ගන්නෙ.
14. ස්නේහ වර්ෂා-සමන් ලෙනින්.
තාත්තල විතරක් නෙවෙයි. තාත්තල නොවෙච්ච අපි හැමෝම
ආසාවෙන් අහන ගීතයක්. හැබැයි මේක තාත්තලාට විශේෂයි.
15. සිතුම් පැතුම්-මිල්ටන් මල්ලවාරච්චි.
මේ ගීතය මං මුලින්ම
අහන්නෙ කොලඹ එන බස් එකකදි. ඒ මීට අව්රුදු දහතුනකට විතර කලින්. ගිටාරයක් සමග ඔහු
ගැයූ ඒ ගීතය මගේ හිත තදින්ම පැහැරගත්තා. තවමත් මට ඒ හඬ මතකයි. මං හිතන්නේ ඒ ගීතය
මිල්ටන්ටත් වඩා ඔහුට ගැලපෙනව කියලයි. එදා ඉඳන් මේ ගීතයටත් බොහොම මනාපයි
16. යසෝදරාවත-රන්වල බලකාය
බලන්න මේ කවි ගායනය කොයිතරම් අපූරුද කියල. ඇයගේ
හඬ, සංගීත බාවිතාව නිසා මං මේ ගීතයටත් බොහොම කැමතියි.
එහෙනම් ඔන්න මමත් ගී 16 අබියෝගෙ ජය ගත්ත.