Wednesday, May 9, 2018

කම්කරු දිනය කාගෙද? මොකටද?


1986 දී කම්කරුවන් විසින් වැඩවර්ජනයක් අරභනලද්දේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රෙය් ය....  කාර්මික විප්ලවයෙන් පසු කම්කරුවන් හාම්පුතුන් විසින් දැඩි තාඩන පීඩනවලට ලක් කිරීමට විරුද්ධව සහ ඔවුනගේ ඉල්ලීම් මුල් කරගත් විරෝධතාවක් ද එහි පැවැත්වී ඇත. ප්‍රධාන වශයෙන් ඔවුනගේ ඉල්ලීම වී ඇත්තේ සේවා මුරය පැය 8කට සීමා කිරීම ය. නමුත් එම වැඩවර්ජනය, විප්ලවය අවසන් වී ඇත්තේ ලේ හැලීමකින් ය. ලොව පොදු මූළදර්මය වන හාම්පුතුන්ගේ සහචරයන් වන පොලිසිය අවුත් මැයි මස දෙවන දින දින සිට කම්කරුවන්ට පහරදී ඇත. ඉන් කම්කරුවන් 4දෙනෙකු පළමුව මිය ගොස් ඇති අතර පසුව එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව අදටත් ප්‍රකාෂිත නැත. එහිදී පොලිස් නිලදාරීන් ද මියගොස් ඇත.
මෙය මෙසේ සිදු වන විට ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන විප්ලව නායකයින් පොලිස් අත් අඩංගුවට පත් විණි. පසුව ඔවුනට එරෙහිව පැවරුණු නඩු විභාග කොට ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණු අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් යන නායකයින් දෙදෙනාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම විය. ඒ අතරතුර ඉතිරි විප්ලවීය නායකයින් පස්දෙනා එල්ලා මරන්නට තීරණය කෙරුණේ වැඩ වසම් නීතියෙහි සාහසික භාවය මනාව පිළිබිඹු කරමිනි.
එම ශක්තිය හමුවේ විප්ලවයෙහි ‍තෙවන වසර සමරන 1889 වර්ෂයේ ජුනි මාසයේ, 'ෆෙඩ්‍රික් එංගල්ස්' ගේ නායකත්වය හමුවේ පැරීසියේදී පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි මස පළමු දින 'හේමාකට්' විරුවන් සැමරීමට තීරණය කෙරිණි.  
1890දී ප‍්‍රංශ නියෝජිත 'ලැව්ටනි' විසින් ජාත්‍යන්තර කම්කරු සමුවවේදී යෝජනා කළ 'ලෝක කම්කරු දිනය'ද සමුළු සාමාජිකයන් අතින් ඒකමතිකව සම්මත කොට ගත්තේ මැයි මස පළමු දිනට බැවින් ලොව ප්‍රථම කම්කරු දිනය එම වසරෙහිදීම පැවැත්විණි.
සිරිලකට මෙම ජාත්‍යන්තර රැල්ල ආගමනය වූයේ 1900න්ද පසුවය. ඒ අනුව අප රට තුල පැවති ප්‍රථම කම්කරු දින සැමරුම 1927 වර්ෂයේ දී එවකට කම්කරු නායකයකුව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැළියක් ද සහිතව පැවැත්විණි. තවද රැළිය අවසානයේ කම්කරුවනට ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් පැවැත් වීමත් එම උත්සවය මුළු මනින්ම මත්පැනින් තොර වීමත් සුවිශේෂී කරුණකි.
ඒ ආභාෂයෙන් ඇරඹි ලාංකීය කම්කරු ව්‍යාපාරයද 1947 පමණ විට ඉතා බල සම්පන්න වූ අතර වැඩ වර්ජන සහ උද්ගෝෂණ හමුවේ නෙරපූවහු කම්කරු නායකයින් බවට පත් වූහ. මැයි දිනයට අනන්‍ය වූ රතු වර්ණයට නිල් වර්ණය මුසු වූ ඉතිහාසයක්ද අප සතුව ඇත. ඒ 1956 දී අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිලිප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රථම කම්කරු දිනයයි. පක්ෂ දෙකෙහිම වර්ණයන් කැටිව පැවැත්වුණු මෙම කම්කරු දිනයත් සමඟ මැයි පළමු දින රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය. ඒ එවකට කම්කරු ඇමතිව සිටි ටී. බී. ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 1940 වර්ශයේදී විජයානන්ද දහනායක මහතා ගාල්ල නගර සභාවෙහි නගරාධිපතිව සිටියදී, මැයි පළමු දින ගාල්ල නගර සභාව තුල නගර සභා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් පැවැත් වූ කම්කරු දිනය වර්තමාන නිවාඩු දිනයෙහි පූර්වතම ආදර්ශය බැව්ද නිසැකවම කිව යුතුය. 1933 වර්ෂයේදී පැවැත්වූ කම්කරු දිනය ඉතිහාස ගත වූයේ මැයි පෙළ පාලියක් ගමන් කල ලංකාවේ ප්‍රථම කම්කරු දින සැමරුම ලෙසිනි. එය ගුණසිංහපුර ප්‍රයිඩ් පිටියෙන් ආරම්භ ව ගාලු මුවදොර පිටියෙන් අවසන් වූ තරමක් කුඩා පාගමනක් විය.  එසේම කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රාජ්‍යන්හී කම්කරු දිනය අදටත් සමරන්නේ සැත්තැම්බර් මස මුල් සඳුදා දිනයේදීය. එසේම තවත් බොහෝ රටවල් තම කම්කරු දිනය සමරනුයේ තම රටේ කම්කරු ව්‍යාපාරයට වැදගත් වූ සුවිශේෂ වූ දිනවලදී බවද සඳහන් වේ.
මේ මැයි දිනයේ ඉතිහාසයෙන් බිඳකි. නමුත් අද වන විට කම්කරු දිනය යනු කුමක්ද? කාගේ දිනයක් ද යන්න වග සියල්ලට අමතක වී ඇත.... හුදෙක්ම එය දේශපාලන බලය පෙන්වීමට ඇති දිනයක් බඳු ය. කම්කරුවන්ගේ සුභසෙත තකා මෙවර යම් යෝජනාවක් කලේ කුමන දේශපාලන කණ්ඩායම විසින්ද? කම්කරුවන් මුහුණපාන ගැටලු පිළිබඳව සෘජුව කතා කලේ කවුරුන්ද?නැත කිසිවෙක් නැත... සුපුරුදු පරිදි එකිනෙකාට ඇගිල්ල දික්කරමින්, තම දේශපාලන අබිමතාර්ථයන් එලි දැක්වීමක් පමණක් සෑම තැනකම සිදුවිය.
මෙහිදී මේවාට යන කම්කරුවන්ට තැලිය යුත්තේ මඩුවලිගයෙන් ය... රජයේ නිවාඩු දිනයක් ලෙස සැමරුවත් පසුව දින ගනණකට වැඩ වැඩි වෙන්නේ කම්කරුවන්ටම ය. විශේෂයෙන් දේශපාලන පක්ෂ තම මැයි දින රැලි පවත්වන ස්ථාන බාර කම්කරුවන්ට ය.
බත් පැකට්ටුවට, බෝතලේට යට වන කම්කරුවන් තම ආකල්ප වෙනස් කර මේ දේශපාලුවන්ට පාඩමක් උගන්වනවානම් මීට වඩා හොඳ ය.
මෙවර මැයි දිනට පසු දින වූ මැයි අට වනදා සිට වැඩවර්ජනයන් කිහිපයක්ම ආරම්භවීමට තිබුණු අතර මේ වන විට විදුලි ඉංජිනේරුවන් තම වැඩවර්ජනය අරභා ඇත. මෙය නියම දින සැමරුමක්දැයි උගහටය. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවට නම් දිනය වෙනස් කර හෝ කම්කරු දිනයක් අනවශ්‍ය වේ. දේශපාලන පක්ෂවල බලය විතැන් කර පෙන්වීමට සාමාන්‍ය ජනයා වන අප ඇයි උඩගෙඩි දෙන්නේ... රජයේ නිවාඩු දිනයක් පැවින් නිවසට වී සිටිම මේ දේශපාලුවන් පසුපස යනවාට වඩා යහපත් නොවේද?
රජය විසින් රජයේ සේවකයන්ගේ පඩි පතට දසදහසක මුදලත් එක්කළත් මේ වනතෙක් ඉතා දිලිඳු අගයක සිටිනා වතු කම්කරුවන්ට පඩි වැඩිවීමක්වූවාද? ඔවුනගේ ජීවන තලය මේ වනතුරු කොතෙක්දුරට වෙනස් වී ඇතිද? ඒ වගේම ඔවුනගේ ලයිම් නිවාස ගැටළු විසදි ඇතිද..?? නැත. නමුත් සුලු සුලු ලාබ අපේක්ෂාවන් නිසා කම්කරුවන් මේ සියල්ල අමතක කර දේශපාලුවන් පසුපස යෑම කනගාටුවට කරුණකි.
සරලවම මා හට හැගෙන්නේ නම් අද ලංකාවේ කම්කරු දිනයක් නැත. ඇත්තේ පක්ෂ සමිලු වැනි දිනයක් පමණි...

8 comments:

  1. කම්කරු දිනය පිළිබඳව පාඨක දැනුම ඔප්නංවන වැදගත්ලිපියක්. දිගටම ලියන්න.ජය වේවා !

    ReplyDelete
  2. ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගත්තට.

    ReplyDelete
  3. හරි වටින ලිපියක් නංගි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මට කතා කරන්නම ඕන ලංකාව තුළ දිනය සමරණ ආකාරය ගැනයි... හරයක් නෑ....
      ස්තුති අක්කටත්...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.