Tuesday, April 7, 2020

පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව


ලොව උතුම් ම පදවිය මවු පදවියයි. ඒ උතුම් පදවිය දැරීමට සෑම කාන්තාවක් ම ආසා කරන්ණී ය. විවාහයෙන් පසුව කාන්තාවකගේ හීනය දරු පැටියෙක් ය. මීට මාස 5කට පෙර මම ද ඒ උතුම් පදවිය ලැබුවෙමි. දැන් මා කුඩා දැරියකගේ අම්මා ය. මා සිතන්නේ නම් මවකගේ අගය තව තවත් වැටහීමට නම් මවක් විය යුතුම ය.
ඒ අද්දැකීම නම් හරි අපූරු ය. මට දරුවා ලැබීමට උන් කාලය තුළ මගේ පවුලෙන් සහ මා සේවය කරන විශ්වවිද්‍යාල පරිසරයෙන්  විශාල සහයෝගයක් ලැබින. වෙනදටත් වඩා ලැබෙන ඒ සහය නිකන්ම නිකන් සහයෝගයක් නොව. මවක් වීමට අපේක්ෂාවෙන් සිටින අවස්තාවක් බැවින් එය හරි වෙනස්, අපූරු තත්ත්වයකි. මගේ සැමියා  ඇතුලු මව පියා, සහෝදරයා ආදී පවුලේ සාමාජිකයන් නිතර මම කන්න කැමති දැ, මගේ ප්‍රවේසම පිළිබඳව සැලකිලිමත් විය. වෙනත් ගර්භණී මවකට වඩා මම ප්‍රවේසම් විය යුතු විය. ඒ වගේම විශ්වවිද්‍යාලයේ මගේ මිතුරු පිරිස ඇතුලු කාර්ය මණ්ඩලය ද මම ගැන මටත් වඩා සැලකිලිමත් විය. අනතුරක් විය හැකි අවස්තා ඔවුන් ම දුර තියා දැක ඒවා ඉවත් කරමින් මගේ පරිස්සම පිළිබඳව සැලකිලිමත් විය.  ඒ වගේම මගේ නො සැලකිලිමත් අවස්තාවන්හී දී මට බැන වැදුනේ තරහකට නොව, මා පිළිබඳව වූ මගේ කුසේ වැඩෙන දරුවා පිළිබඳව වු සෙනෙහසින් බව ද මම දනිමි.
ආපසු හැරී කල්පනා කර බලන විට විවිධ අපහසුතා මැද ගත උවත් ගෙවී ගිය කාලය හැම අතින් ම සුන්දර ය. මා අවට උන් මගේ පිරිසත් මමත් අතර තව තවත් බැඳීම තහවුරු විය.
ඒ ලංකාවේ හැටි ය. අප ජීවත් වන සමාජ සංස්කෘතික වටපිටාව සැකසී ඇත්තේ ද එසේ ය. බැඳීම හැඟීම ගර්භණී කාලයේ දී විශාල ශක්තියකි.
දවසින් දවස කුස තුළ වැඩෙන දරුවාගේ වෙනස්කම් පිලිබඳව සැලකිලිමත් වී ම වෙනස්ම වූ අද්දැකීමකි. මෙතෙක් නො විඳි, තවමත් නො දුටු, නො ඇල්ලූ ජීවියෙක් පිළිබඳව සිහින දැකීම මවක් ලෙස විඳීම අකුරුවලට පෙරලිය නො හැකි තරම් ය.
ඒ වගේම මවක් වීමට පෙරුම් පුරණ වෙනත් දෘශ්‍යාබාධිත මවුවරුන් ලද අද්දැකීම් හා බලන විට මා වාසනාවන්ත ය. මන්ද බොහෝ දෘශ්‍යාබාධිත කාන්තාවන් ප්‍රකාෂ කර සිටියේ ඔවුන් දරු ප්‍රසූතියට සූදානම් වූ කාලයේ දී පවුල් සෞඛ්‍ය නිලදාරිණියන්ගේ ද විවිධ ගැරහුම්වලට ලක් වූ බවත්, විවිධාකාර ලෙස අවඥාවට ලක් වූ බවත් ය. නමුත් මට සහය දුන් පවුල් සෞඛ්‍ය නිලදාරිණිය සහ වේරහෑර ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සියළු නිලදාරිණියන් මට ලබා දුන් සහය අති මහත් ය. කිසි විටෙකත් මා අපහසුතාවයට පත් කිරීමක් හෝ සිත් රිදවීමක් කලේ නැත. ඒ වෙනුවට මට ඔවුන්ගෙන් ලැබුනේ සහයෝගයයි. සාමාන්‍ය මවකටත් වඩා මා පිළිබඳව ඔවුන් සැලකිල්ලෙන් කටයුතු කිරීම මට විශාල සහනයක් හා ශක්තියක් විය
මගේ අද්දැකීම අනුව විය යුත්තේ එයයි. දෘශ්‍යාබාධිත හෝ වෙනත් ආබාධිත කාන්තාවක් මවක් වීමට සූදානම් නම් ඇය අපහසුතාවයට ලක් නොකර ඇයට සහයෝගයක්, සහනයක් විය යුතු ය.
මීළඟට මට විශාල සහයෝගයක් ලබා දුන්නේ කාසල් කාන්තා රෝහලේ  9 10 වාට්ටුවල සේවය කළ වෛද්‍යවරු, හෙද නිලදාරිණියන්, පවුල් සෞඛ්‍ය  නිලදාරිණියන් සහ වෙනත් සේවිකාවන් ය. ඔවුනගේ සහය නොවන්නට මට මානසික පීඩනය ද ඇතිවන්නට පුලුවන. දරුවා ලැබීමට පෙර සහ පසු බොහෝ මවුවරුන් තම අද්දැකීම කියන විට ඒ  සෑම අද්දැකීමක්ම පාහේ ඉතා කටුක අමිහිරි අද්දැකීම් විය. විශේෂයෙන් කාසල් රෝහලට යාම තුළ මට එවන් අද්දැකීමක් නො වු අතර ඒ පිළිබඳව ස්තුති කළ යුත්තේ මග පෙන්වූ බෝධිනී අක්කාට ය. දරුවා ලැබීමට සායනවලට ගිය කාලයේ සිට රෝහලෙන් විශාල සහයෝගයක් ලැබුණි. රෝහල  තුළ විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන්ට හොඳ සහයෝගයක් ලබාදෙන බව පෙනී ගිය තත්තවයයි. දරුවා ලැබීමට මම රෝහලේ නැවතුණු දා  සිට  එහි කාර්ය මන්ඩළය මා පිළිබඳව ඉතා කාරුණිකව වගේම සැලකිල්ලෙන් කටයුතු කිරීම මට මහත් සහනයක් විය. දරුවා ලැබීමෙන් පසුව මම මුහුණ දුන්නේ වෙනස්ම වූ තත්ත්වයකට ය. එහි දී මට සියළු දෑ අලුත් අද්දැකීමක් විය. දරුවාට කිරි දීම, දරුවා වඩාගැනීම ඇතුලු සියලු කාර්යන්ට මා අසළම සහයට මගේ මව විය. ඒ වගේම ඒ කාර්යන් තනිව කරගැනිමට මට මව වාගේම වාට්ටුවේ ඒ ඒ වේලාවට උන් සියලු හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලදරිණියන් සහය විය. ඇතමුන් සෘණාත්මකව මා පිළිබඳව දකින විට ඔවුන් මට ශක්තියක් විය. මා වෙනුවෙන් පෙනී සිටියහ. මා අසා ඇති පරිදි, කියවා ඇති පරිදි දරුවා ලැබීමේ මොහොත තුළ ඒ මවට ප්‍රසූතාගාරයේ සහයෝගය නැති තරම් ය. ඒ අද්දැකීම ඉතා කටුක ය. එහි සේවය කරන්නන් මවුවරුන්ට සලකන්නේ, කතා කරන්නේ ඉතා කටුක ලෙස ය. නමුත් මගේ අද්දැකීම ඊට වඩා වෙනස් විය. අසා ඇති කතා අනුව මම ද බිය වී සිටියත් එවන් අද්දැකීමකට මුහුණ දීමට මට නො වීම පෙර පිනකි. මට විශාල සහයෝගයක් ලබා දුන් ප්‍රසූතාගාර කාර්ය මණ්ඩලය මට විශාල සහනයක් විය. ඒ වගේම මට පමණක් නොව අනික් සියලු මවුවරුන්ට ද ඉතා කාරුණිකව සැලකූ අයුරු අසා ඇති කතා අනුව මට පුදුමයක් දනවන්නට විය.
තවත් විශේෂම කරුණක් නොකියා ම බැරිය. එනම් ප්‍රසූතාගාරයට ගර්භණී මවට තම මව හෝ වෙනත් තමා කැමති කාන්තාවක් ළඟ තබාගැනීමට හැකි වීම ය. සත්‍ය වශයෙන් ම ඒ මොහොත තුල තමාට ශක්තියක් වීමට, වතුර උගුරක් හෝ දීමට කවුරුන් හෝ ළඟ හිඳීම මහත් ශක්තියකි. එම ක්‍රියාවලිය සෙසු රෝහල්වල ප්‍රසූතාගාරවල ද අරනවා නම් ඉතා මැණවි. සත්‍ය වශයෙනම ඒ මොහොතේ මගේ මව මා ළඟ හිඳීම මට මහත් සහනයක් සහ ශක්තියක් විය.
විශේෂ අවශ්‍යතා සහිත මවුවරුන්ට ඉතා හොඳ සහනශීලී සහයෝගයක් කාසල් රෝහල් කාර්ය මණ්ඩලය ලබා දෙන බව මා ප්‍රකාෂ කර සිටින්නේ බොහෝ විශේෂ අවශ්‍යතා සහිත ගර්භණී වුවරුන්ට යලිත් ඒ අද්දැකීමට මුහුණ දීම නො විය යුත්තක් බැවිනි.
ඉදින් විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවක් වූ විට එහි වෙනත් විශේෂත්වයක් නැත. සාමාන්‍ය සමාජයේ මිනිසුන්ට ලැබෙන සියළු අයිතීන් ඔවුන්ට ද හිමි විය යුතු ය. විවහ වීමට, දරුවන් හැදීමට පවා ඔවුනට හැකි නම් ඊට අවශ්‍ය සහය දෙනවා විනා ඔවුහු අපහසුතාවට අවඥාවට පත් කළ යුතු නැත. පවුලෙන් වගේම සෙසු සහයෝගී අවස්තාවන්හී දී ද ඒ සහය, ශක්තිය ලබාදීම විය යුත්ත වේ. නමුත් අප රටේ මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය ඉතා මංදගාමී බැවින් විවිධ අමිහිරි අද්දැකීම්වලට මුහුණ දෙන්නේ අපේ මවුවරුන් ය.
ඉදින් වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමියට සිහිපත් කිරීමට යමක් ඇත. එනම්, කාසල් රෝහලේ ප්‍රසූතාඝාරයේ මෙන් සෙසු රෝහල්වල ප්‍රසූතාඝාරවලට ද ගර්භණී මවගේ මව හෝ වෙනත් හිතෛශී කාන්තාවක් කැටුව යාමට අවස්තාව හිමි කර දීම. ඒ වගේම සියළු වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්, හෙදියන් වගේම සුළු සේවක සේවිකාවන් පවා විශේෂ අවශ්‍යතා පුද්ගලයන්ට සහය දීම පිළිබඳව දැනුවත් කිරීම. එය පුහුණුවක් මගින් හෝ කරනවා නම් ඉතා මැණවි.
ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ද මා කියන්නේ සෑම අතින්ම තම පෞරුෂය ශක්තිමත් කර ගත යුතු ය. එවිට කිසිවකුටත් ඔබ දෙස අවඥාවෙන් බැලීමට හෝ නොහැකිවනු ඇත. අවසයේ ද සටහන් කරන්නේ දරුවන් මග දමා යන, දරුවන් පිළිබඳව හැඟීමක් නැති මවු පියන්ට මදක් සිතීමට පමණි.
මගේ දියණිය කුසට ආ දා සිට සිත පුරා ඇත්තේ අපණ සතුටකි. එහෙත් සිත කොනක වේදනාවක් විය. සෑම විටම මම ශක්තිමත් විය. එහත් දියණිය ඉපිද මා අතට දුන් විට සිත කොනක වූ වේදනාව සිත පුරා දෝරෙ ගලන්නට විය. මදක් සිතා බලන්න,  කුසින් වන දරුවාගේ මුහුණවත් නො බලා කාට හෝ මුදලට විකුනණ මවුවරු, මහ මග දමා යන, හෝ දරුවා උපන් විටම මරා දමන ස්ත්‍රීන් පුරුෂයින් ඕනෑතරම් සිටිති. ඒ සිගිති මුහුණ දුටුවත් සිතට සතුටක් ඇති වනවා නොවේද? එහෙත් මා දුක්වන්නේ ඒ සිගිති මුහුණ දැකීමට නො හැකි වීම පිළිබඳව ය. එහෙත් දැන් මා ඈ සිතින් දැක තුටු වෙමි. ඉහත කී ආකාරයේ ස්ත්‍රීන් පුරුෂයින් පිළිබඳව ඇත්තේ පිළිකුලකි. ඔබ ඔබට ඇති දේ ඇති වටිනාකම පිළිබඳව කවමදාක හෝ කල්පනා කර ඇතිද? නැත. නැත. මවක් ලෙස ඔබ මා යැයි සිතා කල්පනා කර බලන්න. එවිට ඔබට අපමණ දේ දැනෙණු, හැඟෙණු ඇත.

පසු සටහන
මෙය මා මීට මාස කිහිපයකට පෙර ලවේ රස පුවත්පතේ ඉල්ලීම පරිදි ය. එහෙත් මෙය පල කිරීමට පෙර පුවත්පත වසා දමන ලදි. එබැවින් දියනිය ඉපිද මාස 5ක් ගිය තැන මෙතෙක් කල් නො ලියූ බ්ලොග් අඩවියේ පල කමට සිතුවා.
දැනට වසර 2කට ආසන්නව මෙහි යමක් පල කර නැත. එබැවින් මෙය ආරම්භයක් කර ගන්නට සිතමි.


9 comments:

  1. හොඳ ආරම්භයකි. ඔබේ සටහන අලංකාර වගේම සංවේදීය. මා හට මේ අත්දැකිම නැතත් මගේ නැගණිය ගැබිණියක් විම තුළින් මම මේවා දැක්කෙමි. දැන් ඇගේ දියනිය අපේ පවුලේ එකම බලාපොරෝතතුව වී ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
  2. අඩෝ කසුන් තාත්තා ගේ හැඟීම් ගැනත් ලියපන්

    ReplyDelete
  3. මුල් හරිය පැන්න ගමන් තමයි වැටහුනේ දෘෂ්‍යාබාධිත බව. එතකොට නම්, හිවුඩු පිපුනා... මට හිතෙන්නේ ඊට පස්සේ තමා සැබෑම සටන පටන් ගන්නේ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කසුන් හමු වී ඇත. ඒ 2016 මාර්තු 26 දින ය. ඔබ හමු වී නැත.
    දෙමව්පිය යුවලට සුබ පැතුම්!

    ReplyDelete
  6. වසර ගණනකින් බ්ලොග් පැත්ත පලාතෙ නොපැමිණි මටත් බොහෝ නමුත් අමතක වී ඇති සෙයක්. පුංචි තරහවක් ආව දෘෂ්‍යාබාධිත වෙනත් අය හා සසදන කල ඔබ වාසනාවන්තයි කියපු නිසා...අවසානයේ ඔයාගෙ නම දැක්කට පස්සෙ තමා විස්තරේ තේරුණේ.....මගේ සුභ පැතුම් නිර්මාණි නංගී....කසුන් මල්ලිටත් එක්ක

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.