කොලඹ රත් කරවන හිරු ගෙන්
යම් පමණකට හෝ මිදීමට කුඩය ඉහලා ගත් පියුමී දිවා විවේකයේ දී මේ පිටවී යන්නේ නුගේගොඩ
නෝලිමිට් රෙදි සාප්පුව වෙතටයි. ඈ ගමන් කරන අතරේ ද අත් ඔරලෝසුව දෙස බලන්නේ
නොසන්සුන් ස්වභාවයකිනි. රෙදි සාප්පුවට ගොඩ වී කාන්තා ඇදුම් ඇති කොටසට ගිය ඈ රාත්‍රී
ඇදුමක් තේරුවේ ද වරින් වර තම ජංගම දුරකථනය දෙසත් බලමින්ම ය.
“බබා ඔයා කොහෙද?”
ලැබුණු කෙටි පණිවිඩය දුටු
ඇයගේ මුව ආලෝකමත් විය.
“මම නෝලිමිට් එකේ.”
“ඕකේ. තව විනාඩි 15 කින් මං ඔතන.”
“ඕකේ වස්තුවේ. මං බලන් ඉන්නවා.”
ජංගම දුරකථනයෙන් වූ ඒ සංවාදය
අතරේ ද ඈ තම කාර්ය ඉක්මන් කළාය. ජංගම දුරකතනය අත් බෑගයේ දැමුවත් ඇයට යලිත් කෙටි
පනිවිඩයක් ලැබුණු නාදය ඇසුනි.
“මගෙ සුදු නංගි ඔයා කෑවද. මං මේ කන්න
හදන්නේ.”
කිසිදු හැගීමක් ඇයගේ මුහුණ මත ඒ මොහොතේ පල නොවුණි. ඒ කෙටි
පණිවිඩයට ඇය කඩිනමින් පිළිතුරු යැවීය.
“ඔව් මගෙ අයියේ. ඔයා කන්න. ක්ලාස් අද
ඉක්මනින් ඉවර වෙනවා. මං යනකොට එස් එම් එස් කරන්නම්.”
ඇදුම තෝරා ගත් ඈ බිල්පත ද ගෙවා ඉක්මනින් නුගේගොඩ පාලම අසලට පැමිණියා
ය. ඈ ඈත මෑත බලමින් සොයන්නේ ඔහුගේ රුවයි.
“ආ මැඩම් මේ කවුරු එනකල් ද මග බලන්නේ?”
ඇය තිගැස්සුනේ නොසිතු ලෙස පිටුපසින් ඇසුණු පිරිමි හඬටයි. පිටුපස හැරී
බැලූ ඇය දුටුවේ නිල් ඩෙනිම් කලිසමකින් හා රතු ටීෂර්ට් එකකින් සැරසී සිටින කඩවසම්
පෙනුමකින් යුත් ඔහු ය.
“මං බය වුණු තරම්.”
“හොර වැඩ කරනකොට බය වෙනව තමයි.”
“ඔයානෙ මාව හොර වැඩවලට පුරුදු කලේ.”
කියමින් ඈ ගස්සාගෙන ඉවත බැලුවා ය.
“හරි හරි මං විහිලුවක්නෙ කලේ. දැන් අපි
යමුද?”
“අද අපි කොහෙද යන්නේ?”
“යන්කො. ඔයා කැමතිම තැනකට අද මං ඔයාව
එක්කන් යන්නේ.”
“ෂා ෂෝක්නේ. එහෙනම් අපි යමුද?”
“අම්මේ තියන හදිසිය.”
සිනාසුණු දෙදෙනා පැමිණි 163 බස් රථයකට ගොඩ උනහ.
බස් රථයේ අසුනකට බර වූ පියුමී මාස කීපයකට පෙර සිදු වූ තරංගගේ හමුවීම
සිහිපත් කළා ය.
බාහිර උපාධි පාඨමාලාව හදාරණ
ඈ සෑම සති අන්තයේ ම නුගේගොඩට පැමිනෙයි. ඒ එක් දිනක ඈ යලි නිවස බලා යන විට බස් රථයේ
දී හමු වූ තරංග වෙනත් අයෙකුට වඩා ඇයගේ සිත පැහැර ගන්නට සමත් විය. ඔහුගේ කතාබහ, සිනාව ඇයගේ පාලුවෙන්, කාන්සියෙන් පිරුණු සිතට සහනයක් ගෙන දෙන්නට
විය. පැය ගානකදී මිතුරු වී වෙන් වුවත් දෙදෙනා සිතින් බැදෙන්නට විය. ඔහු බස් රථයෙන්
බැස යන විට කොළ කැබැල්ලක ලියා දුන් දුරකථන අංකයට ඇමතීමට ඈ දෙවරක් නොසිතුවේ ද
එබැවින් ය. පියුමිත්, තරංගත්, පෙම්වතුන් වීමට ගත උනේ ඉතා කෙටි කාලයකි. පියුමී
පෙලූ පාලුව කාන්සිය ඇය ගෙන් ටිකෙන් ටික දුරස්වන්නට ද විය.
බාහිර උපාධි පන්ති පැමිනෙණ ඈ
තරංග හමු විම පුරුද්දක් කර ගත්තා ය. ඇතැම් විට දින දෙකක් පන්ති ඇති බව නිවසට පවසා
ඔහු සමග කොළඹ අහස යට ඒ රාත්‍රිය ගත කළා ය.
සුදු අයියා ගැන සිහි වන විට ඇයගේ සිතට දුකක් වේදනාවක් නො දැනුනා
නොවේ. බාහිර උපාධි පාටමාලාව කිරීමට පියුමි සුදු අයියා කැමති කර ගත්තේ ඉතා
අපහසුවෙන් ය. අවසානයේ ඔහු ඇයට අවසරය ලබා දුන්නේ ඈ පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින්
බව ඇය දනී. ඔහු දිවා රෑ නො බලා වෙහෙසෙන්නේ
තමාගේ සියලු අවශ්‍යතා සපුරාලීමට බව ඇය දනී. ඒ බව සිහි වන විට දුකක් දැනුනත් ඈ
නිවැරදි වීමට තම සිත සමග තර්ක කරන්නට විය.
ඈ සිතුවේ ඔහු දැන් පෙර මෙන් ඇයට ආදරය නැති බවයි. තමාට ඇති පාලුව කාන්සිය ගැන ඈ
පැවසුවත් ඔහු ඒ කිසිවක් ගනණකට නො ගනී. කාලය මුදල හා සසදන ඔහු නිවාඩු ගන්නේ ද නැති
තරම් ය. මුදලට ගැනීමට නො හැකි සතුට සැනසුම තරංග ලඟ ඇති බව ඇයට දැනෙන්නට විය. ඇයට
විශාලතම සහනයවූයේ පීඩාකාරී නිවසින් පිට වීම ය.
“මේ අපි මෙතනින් බහින්න ඕනේ.”
කියමින් තරංග ඇයගේ අතින් අදින විට ඇය පියවි තත්ත්වයට පැමිණියාය.
*****
කාමරයට ගිය පියුමීගේ සිත සතුටින් පිරෙන්නට විය. සඳලුතලේට ගිය විට
නිමක් නැති නිල් ජල කඳ ඇයගේ ඇසට හමුවේ. හමා එන සුලඟ ඇයගේ ගතත් සිතත් පිනවයි. ජංගම
දුරකථනයේ නාදයෙන් ඇයගේ දැහැන බිඳුණි. වහා කාමරයෙන් ඉවතට පැමිණි ඈ ඇමතුමට සම්බන්ධ
වූවා ය.
“හෙලෝ සුදු ඔයා ගියාද?”
“මගෙ අයියෙ දැන් මේ ආවේ. ෆෝන් එක අතට
ගත්ත විතරයි ඔයාට කියන්න.”
“ඕකේ. ඔයාගේ වැඩ ටික ඉක්මනින් ඉවර කර
ගන්න එහෙනම්.”
“ඔව් දැන් මං වොෂ් එකක් දාලා ශානි එක්ක
එසයිමන්ට් එක පටන්ගන්න ලෑස්ති.”
“ආ මොකක්ද ඒ සද්දෙ? මුහුද නේද? ශානිගේ ගෙවල් හෝමාගම කියුව නේද?”
“ආ. නෑ. මේ. ගල්කිස්සෙ. මට වැරදිලා
අයියෙ. ඔයා දන්නවනෙ ඉතින් මට ටිකක් ඔය නම් ගම් පැටලෙනවනේ. මෙහෙ ශානිගෙ අම්මයි, සර්වන්ට් කෙනෙකුයි විතරයි ඉන්නේ. අනික
මෙහාට සිග්නල් අඩුයි. කෝල් එක ගන්න මං එලියට ආවා. ඒකයි ඔයාට මුහුදෙ සද්දෙ හොඳට
ඇහෙන්නේ. මෙහෙට මුහුද කිට්ටුයි අය්යේ.”
“ආ හරි. එහෙනම් ඔයාට පුලුවන් වෙලාවට මට කතා
කරන්නකෝ. මං ඔයාට ඩිස්ටර්බ් නොකර ඉන්නම්කෝ.”
“හරි පැටියෝ මං කතා කරන්නම්. අදම මේ
එසයිමන්ට් එක ඉවර කරන්න තමයි මං මේ බලන්නේ. එහෙනම්, ලවු යූ. බායි.”
“ඕකේ. ලව් යූ ටූ. බායි.”
පියුමීට සුදු අයියා ගැන දුකක් දැනුනත්, ඒ කතාබහ සිහි වී ඇයට සිනා පහළ වීම නතර කර ගත නො
හැකි විය.
“මොකද තනියෙන් හිනා වෙන්නේ?”
තරංග එසේ අසමින් අවුත් ඇයව තුරුලු කර ගත්තේ ය.
“ඔයාගෙ සුදු අයියා තව කීපාරක් කෝල්
කරයිද?”
“නෑ ආයෙ ගන්න එකක් නෑ. මං කියුවා තව
ටිකකින් මං එසයිමන්ට් එක පටන්ගන්නවා. අදම ඉවර කර ගන්න ඕනේ කියලා.”
ඒ ඇසූ තරංග කොක් හඬ දෙමින් සිනාසෙන්නට විය.
“හෙට කියන්න ඊයෙම ඒක ඉවර කර ගන්න
බැරිවුනා. ඒ නිසා තව දවසක් යන්න වෙයි කියන්න.”
කියමින් තරංග ඇයගේ මුහුණ සිප ගත්තේ ය.
*****
සුමේධ නුවරඑලියෙන් පිටත්වූයේ තම අපේක්ෂාවන් ඉටු වූ සතුට හිත දරා ගෙන
ය. ඔහුගේ මීලඟ බලාපොරොත්තුව වී ඇත්තේ තම බිරිඳ පුදුමයට පත් කර ඇයව සතුටු කිරීමයි.
වසර දෙකක පමණ ප්‍රේම සබඳතාවකින් පසුව තම ඇවැස්ස නෑනා වූ පියුමී විවහ කර ගත් සුමේධ
තම උපන් ගම ද හැර දා නුවරඑලියට පැමිණියේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමේ අභිලාශයෙනි.
වසරකටත් වැඩි කාලයක් ඔහු දිවා රෑ නොබලා, නුවරඑලියේ කාලය ගත කළේ පියුමීගෙත්, තමාගේත් ස්ථිර පදිංචිය සඳහා නිවහනක් තැනීමට ය.
එලබෙන සඳුදා ඔවුනගේ දෙවන විවහ සංවත්සරය පැමිනෙයි. සුමේධට අවශ්‍ය එදිනට පියුමී
නුවරඑලියේ කැදවාගෙන ගොස් තමා ඇය වෙනුවෙන් තැනූ නිවහන පෙන්වා එදිනම එහි පදිංචි
වීමටයි. මාස ගනණක් තිස්සේ පියුමී සුමේධ හා රණ්ඩු කරන්නේ දින කිහිපයක් හෝ නිවසේ ගත
කිරීමට ඔහුගේ නොපැමිණීම සිහි කරමින් ය. නමුත් ඔවුනගේ අනාගතය වෙනුවෙන් සුමේධ
වෙහෙසෙන බව නොපැවසීමට සිතුවේ ටික දිනකින් මේ සියල්ල සම්පූර්ණ කර ඇයව පුදුමයටත්, සතුටටත් පත් කිරීම ඔහුගේ එකම අරමුණ වූ
නිසා ය. මේ වන විට සුමේධ අංග සම්පූර්ණ නිවසක් පියුමිගේ නමට තනා ඇත. ඇයට බාහිර
උපාධි පාඨමාලාව කිරීමට නුවරඑලි ප්‍රදේශයෙන් පන්ති ද සොයා අවසන් ය. දැන් ඉතිරිව
ඇත්තේ පියුමි කැටුව විත් නිවසේ පදිංචි වීම පමණි. මේ සියල්ල දැන ගත් පසු පියුමිගේ
වත මත ඇදෙන සිනාව සුමේධට මැවී පෙනෙන්නාක් මෙනි. පියුමි වෙනුවෙනුත්, විවහා සංවත්සරය වෙනුවෙනුත් කිරීමට තව
එක් කාර්යක් ඉතිරිව ඇත. ඔහු මේ කොළඹ යන්නේ ඒ කාර්ය ද අවසන් කර පියුමි හා නුවරඑලි
ඒමට ය.
*****
“තරංග ඔයාට කෝල් එකක් එනවා..”
පියුමී කාමරයේ සිට තරංගට එසේ කියයි.
“කවුද බබා?”
ඔහු නාන කාමරයේ සිටම එසේ අසයි.
“අම්මීගෙන්.”
“ආ ගේන්නකෝ.”
“හෙලෝ අම්මී මං දැන් ටිකක් වෙලා ඇවිත්.
මේ බාත්රූම් එකේ.”
“ආ මං බැලුවා තාම ඕෆ් වෙලා නැද්ද කියලා.”
“අද වැස්ස අනේ. වැස්සට අහුවුණු නිසා ආව
ගමන් නෑවා. කෝ චූටි බබී, ලොකු බබී.”
“මේ ඉන්නවා. ඔයාට කතා කරන්නත් ඕනෙ කිය
කිය දෙන්නම හිටියේ.”
“අනේ එයාලට කියන්න මං හෙට ගන්නම් කියලා.
මොකද මට දැන් මහන්සි. වොෂ් එකක් දාගෙන නිදාගන්න ඕනේ. ඔයාට තේරෙනවනේ.”
“ඔව්. මට තේරෙනවා. මං එයාලට කියන්නම්.
එහෙනම් බුදු සරණයි.”
“ඕකේ බුදු සරණයි. ,”
ඒ සංවාධය නිම වන තුරු පියුමී තරංග දෙස ඔරවාගෙන බලා සිටියා ය. ඇයට
ඇමතුමේ අනෙක් පසින් ඇසුණු ස්ත්‍රී හඬ නිසා ඊර්ෂියාවක් දැනෙන්නට විය.
“මොකද ඔරවන්නේ?”
පියුමිගේ නිකටින් අල්ලාගෙන තරංග ඇසුවේ ය.
“කවුද ඒ ගෑණු කෙනා.”
“අයියෝ ඒකද මේ. ඇයි දැක්කෙ නැද්ද අම්මී
කියල තිබුන.”
“එතකොට අර බබීලා කියුවෙ?”
“ඇයි මං ඔයාට කලිනුත් කියල තියෙන්නේ මගෙ
ලොකු නංගී, පොඩි නංගී. ඔයාට මාව ඔච්චරම සැකද ළමයෝ?”
“නෑ මට බය හිතුනා කවුද කියලා. දැන් හරි.
ඔයා ඉක්මනට එන්න”
කියා පියුමි ගොස් ඇද මත හාන්සි විය. නානකාමරයේ සිටි තරංග කැඩපතින් තම
පිළිබිඹුවට සිනාසුනේ ය. මේ සිනාව පහළ වූයේ තමා වෙනුවෙන්ද, එහෙමත් නැත්නම් පියුමී හෝ ධනංජි
වෙනුවෙන් දැයි ඔහුට සිතා ගත නො හැකි විය. එහෙත් ලොකු බබීගේ හා චූටි බබීගේ මුහුනු
මැවී පෙනුණ නිසා ඒ සිනාව ඉක්මනින් වියැකුනි.
*****
සුමේධ තම වැඩ කටයුතු නිමා කර ගල්කිස්සට එන විට රාත්‍රිය උදා වෙමින්
තිබුණි. දැඩි කුසගින්නක් දැනුණ නිසා අවන්හලකට ඔහු පිවිසුනේ ය. ආහාර ගන්නා අතරේ
මෙහිම නවාතැන් ගත හැකි බව ඔහු දුටුවේ ය. පියුමීට නොකියා ලැගුම්හලේ රාත්‍රිය ගත
කිරීම සුදුසුදැයි ඔහු කල්පනා කරන්නට විය. තමා ගල්කිස්සට ආ බවක් පියුමීට නොකීවේ ද
පසුදා උදෑසන ඇය සිටින තැන අසා කැදවාගෙන යාමට පහසු නිසා ය. ඇය පුදුම කිරීමේ
අපේක්ෂාව සිත තුළ වූ නිසා ඔහු ආ බවක් ද ඇයට කීමට නො හැකි විය. මේ පිළිබඳව කල්පනාවේ
නිමග්නව සිටින විට සුමේධගේ පිටට යමෙකු තට්ටු කරනවා දැනුනේ ය.
“සුමේධ, කොහොමද මචන්? උඹ කොහෙද මේ?”
“තරංගයා, මං මේ වැඩ වගේකට කොළඹ ආව ගමන්. ඉතින් උඹ මොකද
මෙතන? උඹගෙ වෙඩිමෙදි හම්බුනාට පස්සෙ මේ
හම්බුනාමද කොහෙද?”
“ඔව‍්. අවුරුදු පහකින් හයකින් විතර.”
“ඉතින් දැන් බබාලත් ඇති නේද? ධනංජි හොඳින්ද?”
“ඔව් බං කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.
ටුයින්ස්ලා. ධනන්ජිත් හොඳින්. ඉතින් උඹ තාම බැන්දෙ නැද්ද බං?”
“මං බැන්ද. හෙටට අවුරුදු දෙකයි. වෙඩිම
වැඩිය කාටවත් කියුවෙ නෑ බං.”
“හරි හරි බං. ඒ කියන්නේ හෙට ඇනවසරිය නේද? එහෙනම් ඒකට විෂ් කරනවා.”
“තෑන්ස් මචන්. ඉතින් මාත් ආවේ මේ කාල
යන්න. වරෙන් මොනව හරි කමු.”
“බෑ බං දැන්. අපි මේ බීච් එකේ ඇවිදින්න
යන්න හැදුවෙ. ඇවිත්ම කනවා.”
“අපි? පවුලම මෙහෙද?”
“පිස්සුද බං. මේ වෙන එකක්.”
“ම්ම්. උඹ මැරි කරලවත් වෙනස් වෙලා නෑ
එහෙනම්.”
“කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු
වෙනවද බං. “
“ඒ උනාට හිතපන් උඹ මැරි කරලා. කෙල්ලො
දෙන්නෙක් ඉන්නේ. දැන් මෙහෙ ඉන්න කෙල්ලට කවදහරි මොකද වෙන්නේ?”
“මචන් තව ටිකකින් ඒකි මෙතනට එයි. ඒකි
දන්නෑ මං බැදල කියලා. උඹ ගම කන්න එහෙම එපා. ඒකිත් බැදපු ගෑණියක් බං. ඒකි මං බලෙන් උස්සන් ආවෙ නෑ.”
“අනේ මන්ද බං.”
“ඉතින් ඒක අමතක කරපන්කෝ. කොහොමද උඹේ
ලයිෆ් එක.”
“මං නුවරඑලියේ බිස්නස් එකක් පටන්ගත්තා.
ගොඩක් හොඳයි බං. නුවරඑලියේ ගේකුත් හැදුවා.
ඇනවසරි එකටම පදිංචියට යන්න ඉන්නේ.”
“ෂක් හොඳයිනේ.”
“උඹට පේනවද අර කොළ පාටට හුරු කාර් එක. “
සුමේධගේ දබරැගිල්ල යොමු වූ දෙස බැලූ තරංගගේ දෑසට නවීනපන්නයේ මෝටර්
රථයක් දැක ගන්නට ලැබුනි.
“ඕක ගන්න තමයි මං අද කොළඹ ආවේ. ඕක ගත්තේ
මගෙ වයිෆ්ගෙ නමට. එයා තාම දන්නෑ බං මං එයාට ගෙයක් හදලා, කාර් එකක් ගත්තා කියලා.”
“උඹමාරයිනෙ මචන්. එහෙම තමා හොඳ
ස්වාමියෝ.”
කියමින් තරංග කට කොනකින් සිනාසුනේ ය.
“මට ඕනේ එයාව සර්ප්‍රයිස් කරන්න. එයා අද
කොළඹ ක්ලාස් ආවා. හෙට මේ ඔක්කොම එයාට පෙන්නනවා.”
“එහෙනම් මචන් මං උඹට විෂ් කරනවා.”
“උඹේ ඔය අලුත් පවුල මට පෙන්නන්නැද්ද?”
“හිටපන්කෝ. හැබැයි ඒකි දැක්කම උඹෙත් හිත
වෙනස් වෙයිද දන්නෑ. මොකද ඒකි ඇත්තටම ලස්සනයි. මං ඒකිට කැමති උනෙත් ඒකයි.”
“පිස්සුද බං. මට උඹට වගේ පිස්සුවක් නෑ.”
“ඔන්න එනවා. හැබැයි කියපු දේ මතකනේ. මං
අන් මැරීඩ් කොල්ලෙක් හරී.”
“කෝ ඉතින් පෙන්නපන්කෝ.”
“ආ අර පඩිපෙළ බැහැගෙන එන්නේ.”
“කෝ කොයි එක්කනාද?”
“අර තැබිලි පාට ගවුමක් ඇදගෙන එන්නේ.
ඔන්න දැන් නතර වෙලා මේ පැත්ත බලාගෙන ඉන‍්නවා.”
ඒ මොහොතේ ඔහුගේත්, ඇයගේත් ඇස් හමුවිය. දෙදෙනාගේම දෑස්වල පුදුමය සටහන් විය.
“පියුමී.”
සුමේධට කියවුනේ ය.
“ඔව් එයා තමයි. උඹ පියුමිව මීට කලින්
දන්නවාද?”
නිමි....
ඇඩ්රස් නෑ !!
ReplyDelete:D...
Deleteනවාතැනින් ඇය යනවා
ReplyDeleteවරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ ...
භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම් බැඳි
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්
ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිතුම්...
මතක රුවන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ
සිල්ප සතර දැන එන තුරු
කල්ප කාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්...
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ...
සිංදුවට ස්තුතී පත්තරේ....
Deleteටොප් කතාව. "සංවාදය" කියල හදන්න.
ReplyDeleteවරද පෙන්නුවාටත්, අගය කළාටත් ස්තුතී අයියේ...
Deleteපුදුමෙනුත් පුදුමයක්. කතාවේ අදහස අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
මේ වගේ දේවල් ඇත්තටම පුදුම දේවල් තමයි නේද....
Deleteස්තුතී දුමින්ද....ජයවේවා...
ගෑනු මිනිස්සු පුදුමයි .. බැලුවම අපි සෑහෙන්න හොඳයි ..
ReplyDelete+++++++++++++++++++++++++++
Deleteහුටා අනාතයි ,
ReplyDeleteසුපිරි අවසානය .. නියමයි නිර්මානි
අැගයීමට ස්තුතී ඉවාන්.....
Deleteඅනේ දෙයියනේ...
ReplyDeleteපියුමිට එහෙම හිතෙන්න ඇති රන්දුළා :D...
Deleteහප්පච්චියේ!
ReplyDeleteලස්සනට ලියපු කතාවක් නංගි. ඇත්තටම ඊට පස්සෙ මොනවා වෙන්න ඇද්ද කියලා හිතන්න පෙළඹෙන තරමට තාත්විකව ලියලා තියෙනවා. :)
බොහොම ස්තුතී අක්කේ... මේ වචන මටගොඩක් වටිනවා....
Deleteකෙළල තියෙන්නෙ තාප්පෙටම. හැක්..
ReplyDeleteනියමයි.
විස්කෝතුයි.....
Deleteසභාපතිතුමා පරක්කුවෙලානේ:D.....
හාමිනේ ලොක්කගෙ ඩේට ලිමිට් කරල. දැන් හැමතැනටම යන්නෙ පරක්කු වෙලා. එහෙම නැත්නම් පාවිච්චිය සීමා කරල ඇති. නෝන නැති වෙනකල් ඉඳල ඇවිත් ඔය කොමෙන්ට් එක හරි කොටල යනවැත්තෙ.
Deleteඇත්තටම නොවෙන සිද්ධි නෙමෙයි..
ReplyDeleteඅපූරුවට ගලපලා තියනවා නිර්මාණි.
ජයවේවා..!!
ඔව් ගස්... මේ වගේ සිද්ධි ඕනෑ තරම් වෙනවා....
Deleteස්තුතී... ජය වේවා...
ලස්සන නිර්මාණයක් වගේම සමාජයේ හිඟ නැති හොඳ වස්තු බීජයක් නිර්මාණි.
ReplyDeleteඔහොම දේවල් හැබෑවටමත් ඕනි තරං වෙනවා ඇති. එක එක්කෙනා ජීවිතය දකින්නෙ සහ විදින්නෙ එක එක විදිහටනෙ.ඒවා ගැන අඹුසැමියන් අතර හොඳ සංවාදයක් ඇති නොවෙන තැන්වල ජීවිත මීටත් වඩා පැටලෙන අවස්ථා ඇති
ඔව් අක්කේ... පවුල් ජීවිතේ ගැන හොඳ සංවාදයක් නැතිකම, අනවබෝධය මේ වගේ තත්වයන්ට බලපාන්න පුලුවන්... මේ වගේ සිද්ධි කොච්චර නම් වෙනව ඇද්ද...
Deleteස්තුතී අක්කේ..
අපූරුයි නිර්මාණි.. ඉතින් ඊට පස්සේ.
ReplyDeleteඅනේ මන්ද චතු.... ඉතින් ඊට පස්සේ?????
Deleteස්තුතී ඔයාටත්...
කතාව රහ විඳලා ගියාට, රහයි කියල කියන්න බැරි උනා කියල මතක් වුනේ පස්සේ...
ReplyDeleteමේ සමාජයේ තවත් එක් පැතිකඩක්...ඔයා බොහොම අපූරුවට ඒ දේ ගලපලා තියනවා...මිනිස්සු එකිනෙකාගේ බැඳීම් මනින්න යොදා ගන්නේ බොහොම සරල මිනුම් දඬු...ඒකයි මේකට හේතුව...
ඒක ඇත්ත... ලබා ගන්න මිනුමක් සාර්ථක බවටත්, අසාර්ථක බවටත් හේතු වෙන්න පුලුවන්... හැගීම් වලටත් එහෙමයි... මනින්න බරි ආදරේ මනින්න යනවාට වඩා දකිනවා නම් කොච්චර හොඳද....
Deleteරස කියන්න ආවට ස්තුතී අක්කේ...
හෆොයි!
ReplyDeleteඒ තුන්දෙනාටත් ඔහොම කියවෙන්නැති නේද:D....
Delete