Monday, September 7, 2015

පුංචි පුතා අපෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද නේ...

මම මොන්ටිසෝරි ගියේ නැත. ඒ වෙනුවට පාසලේ පුංචිම සිසුවා ලෙස වසර 5 දී පාසලේ 1 වසරට ඇතුළත් වූයේ සුමනා පතිරණ ගුරු මාතාවට මගේ මුන්ටිසෝරි සමය ද කවර් කරන්නට අවස්ථාව ලබා දෙමිනි.

අන් ළමුන් පාසැල් ගොස් ගෙදර පැමිණෙද්දී මට සිදු වූයේ පාසැල නිම වී වදකාගාරය නොහොත් නර්සරියට පැමිණීමට ය. එකී වදකාගාරය ගැන පසුවට ලියමි.

මා මුලින්ම පාසැල් එන්නේ වසර 4 දී ය. එවකට සිටි විදුහල්පති වරයා වූ මෙන්ඩිස් මහතා මා යළි ගෙදර යවන්නේ එවකට ඉතා කුදා ළමයෙකු වූ බැවිනි. වසරක ඇවෑමෙන් මා යළි පැමිණියේ 1995 ජනවාරි 4 හෝ 5 විය යුතුය. මා පැමිණි දවසේ මුලින් පොඩි කණගාටුවක් ඇති වුවද පසුව එය යථා තත්වයට පත්විය. එදා ඉරිදාවක් විය යුතුය. සවස රෑ කෑම කන්නට ලැබුණි. මා ගෙදර පුරුද්දට කෑම කන්නට පටන්ගත් විට “ඒයි ඔහොම ද කන්නේ? ඔය ඔක්කොම අනාගන්නවා.“ යනුවෙන් කෑගසන හඩින් මම බය වීමි. ඒ නේවාසිකාගාරයේ මෙට්‍රන් කෙනෙකි. ඇය ද්‍රවිඩ කාන්තාවකි. වයස්ගත ය. මම බත් කට අනා “අනේ ඔයා දන්න පුකක් බැරියැයි“ කියමින් එලෙසම කෑවෙමි.

පසුවදා උදා වූයේ මගේ සිත තුළ අමුතුම විදිහේ කණගාටුවක් සමග ය. උදෑසනින්ම නැගිටීමත්, බුරුසුවට දත් බෙහෙත් ගෙන පෝලිමේ මූණ සේදීමට යාමත් මට නුහුරු ය. ඒ මදිවාට 25 දෙනෙකුට පමණ තිබුණේ එක් වැසිකිළියක් පමණි. ඒනම් කම් නැත. ඉවසීමට නොහැකි වූයේ එයට ද පෝලිමේ සිටීමට සිදු වීම ය. කෙසේ හෝ එයද හමාර කළ මට එන්න එන්න ම කනගාටුව වැඩි වන්නට විය. ඒ එතැන තිබූ වාතාවරණය නිසා යැයි මට සිතේ. පොඩි දේට ද බනිති, කෑ ගසති, පහර දෙති. ඇරත් උදෑසන ආහාරයෙන් පසුව මා පන්තියකට ද නොගිය බැවින් මම බොහෝ සෙයින් කලබල වීමි.

ඔය ආකාරයට උදෑසන 9.00 පමණ වන්නට ඇත. මගේ සීමාව ඉක්මවා යන්නට ඇත. හඬන්නට පටන් ගත්තෙමි. මා වටා ළමුන් එකා දෙන්නා එකතු විය. විවිධ සැනසිලි වදන් කියන්නට විය. විවිධ සෙල්ලම් බඩු මා අත තබන්නට විය. නැත මා නැවතුණේ නැත..... කෙනෙක් ගොස් මේට්‍රන් ට ද කියා තිබුණි. ඇය ද පැමිණ වචනයක් දෙකක් කියා නැවත යන්නට ගියා ය. දහවල ගැන මතකයක් නැතත් හවස නම් සෙල්ලම් කිරීමට ළමුන් මා කැටුව ගිය මොහොතේ මා ඇඟේ චූ කරගෙන මේට්‍රන්ගෙන් ගුටි කෑවානම් මතකය. එම සිදුවීම පසුවදා දක්වා මගේ ඇඬීම කරන්නට මට ශක්තිය දුන් බව අලුතෙන් කිව යුතු නැත. එලෙස දින දෙකක් හෝ තුනක් දිගට ම ඇඬූ බවක් පමණක් මට මතක ය. පසුවදා සිට පන්තියට ගියේ මහා සැනසීමක් සමග ය. එය එතැන් සිට වසර තුනක් දක්වාම මගේ ඉරණම වේයැයි එදා මට සිතුණා නම්.....

ඒ කතා සියල්ල පසුව ලියමි. අද පටන් මගේ ඉස්කෝලේ කාලේ කතා කියන්නට සිතුණේ ඒ තුළ අනේක විද පීඩා සහ රස මුසු තැන් ද ඇති නිසා ය. අනෙක් හේතුව නම් (ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා) නමින් ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ඉන්ජිනේරු මහතා ගේ පොත කියවීමෙන් ලැබුණු උත්තේජනය නිසා ය.

අදින් ඇරඹි මේ ලිපි පෙළ ද කියවීමට මා ඔබට ආරාධනා කරන්නේ ගෞරවයෙනි. එසේ එන ඔබ මෙහි ඇති අක්ෂර දෝෂ පිළිබඳ නොසළකන්න.

දිගට ම කියවන්න!