ගමේ උතුම් ඉස්තිරියකි නැංදා සීලා
දනට පිනට හැම මොහොතෙම ඇත පේ වීලා
ලෝබ දෝෂ මෝහ නැතේ පවසාලා
නැංදා උන්නි සැදැහැ සිතින් වැජඹීලා
අව්ව සැරයි මේ කාලේ පිච්චෙන්ට
වතුර නැතේ පිපාසයට බීගන්ට
ගස් තිබුනත් කොළ ගෙඩි නෑ සත්තුන්ට
මේ හැම දේම හිමි පිංවත් දනන් හට
සීලවතී හට මේ කිසි ප්‍රශ්න නැතී
නිල් කැටේට උතුරණ එක් ළිඳක් ඇතී
සාරෙට හැදුණු පලබර වුණු ගස් ද ඇතී
දේව බැල්ම ඈ හට හිමි බව කියතී
අඹ දඹ පේර කොස් දෙල් හැම අතු පතරා
මැස්සෙකුටවත් යනු බෑ එහි ඇයට හොරා
මාර සුනක කැළ සරතී මෙබිම අරා
සීලවතී බැලුම් හෙලයි වත්ත පුරා
බොන්නට දිය බිදක් නැති ගම්
වැසියන්ට
දෙන්නට බැරිය එක දිය කඳුලක් ඇයට
නිල් කැටේට උතුරා යන ළිඳ වෙතට
යන්නට බැරිය කාටත් ඒ අහලකට
පනිට්ටුවත් සගවා ළිඳ සුරකින්ණී
කටු කම්බියෙන් පවුරක් බැඳ
සැනසෙන්ණී
මුලු ලෝකයට වචනෙන් දන් පින්
දෙන්නී
ධායක සභාවේ
මුලසුන හොබවන්ණී
ගහේ වැලේ හැම දේ හිමි දෙවියන්ට
අතු අග පිපෙන මල් පුද දේ බුදු
පුදට
සාදු නාද දේ හැම විට හැමදේට
සීලවතී සීලෙ රකී මේ ලෙසට
ප.ලි.
මේ වැසි සමයේ ආරම්බයට පෙර මා විසින් ලියූ කවියකි.