Friday, September 18, 2015

මට සමා වෙන්න චූටි දුවේ...



ඉතින් දුවේ ඔයා හොඳින් ඉන්නව ද? දැන්වත් ඔයා හොඳින් ඉන්නවා කියල හිතනවා. අහසෙන් එන මාමා ඔයාට මේ ලියුම ලියන්න හිතුවෙ ගොඩක් මාමලා නැන්දලා ඔයාව දසදහස් වතාවක් මුල්ම සැරේ වගේ අපෙන් ඈත් කරපු නිසා. ඔයා ඔය ලෝකෙට ගියාට පස්සේ මෙහෙ ඉන්න ටී.වී, පත්තර, කොම්පියුටර් මාමලා නැන්දලා ඔයාව මරාගෙන කාපු නැති ටික විතරයි දුවේ. මේ මාමලා නැන්දලාට ඔයා අපිව දාල ගියාට පස්සේ සදාචාරය අමතක වෙලා ගියා. ඒ අය චූටි දුව ව විකුනුවා. ඒකෙන් එයාලා ප්‍රසිද්ද වුනා. සල්ලිත් ගොඩාක් හම්බෙන්න ඇති.

චූටි දුවේ, ඔයා අපිව දාලා යන්න කලින් යන්න එපා කියන්න අපිට බැරි වුනා. ඒකට ඔයා අපිට සමාව දෙන්න. කවුද හිතුවෙ ඔයා මෙහෙම ඉක්මනට ම අපිව දාලා යයි කියලා. දුවගෙ මොන්ටිසෝරියේ යාලුවොත් දුව ව හොයනවා ඇති.කමක්නෑ  දුවේ ඔයා ඒ නපුරු මාමා නැති දවසක ආයෙත් අපි ලඟට එන්න.
ඔයා ගියාට පස්සේ මෙහෙ ඉන්න අයගෙන් ඔයාව බේරගන්න අපිට බැරි වුනා. ඒකටත් ඔයා අපිට සමාව දෙනව නේද මගෙ දුවේ? ඔයාව හංගලා කියලා දැනගත්ත ගමන්ම අර රූප පෙට්ටි මාමලා නැන්දලා ඒක ඉක්මනින්ම රට ට ම කියලා සතුටක් ගන්න ඇති. ඊට පස්සෙත් මේ කට්ටිය දුව ව හොයාගන්නකල්ම පුදුම හදිසියක් තිබුනේ. දුවගෙ අම්මට, තාත්තට, ආච්චිට, සීයට නැති කැක්කුමක් මේ මාමල, නැන්දල ට තිබුනා. හොයාගෙන ඒකත් කලින්ම කිවුවා. ඔයාට මේව ඉවසන්න බැරි බව අපි දන්නව දුවේ. ඒත් මේවා ඔයත් දැනගෙන ආයේ මේ ලෝකෙට එනකොට එන්න. නැත්නම් අර නපුරු මාමා වගේ කෙනෙක් ආයේ ඔයාට මෙහෙ අපිත් එක්ක ඉන්න දෙන්නේ නැති වෙයි.
චූටි දුවේ ඔයා දන්නව ද මෙහෙ කට්ටිය ඔයා නිසා පාරවල් ගානේ රස්තියාදු වෙනවා කියලා. ඔයාව ඔය ලෝකෙට එවපු මාමවත් ආයේ ඔයා ඉන්න ලෝකෙට එවන්න කියලා කෑ ගහනවා. පාරවල් වල වැඩිපුරම නැන්දලා ඉන්නෙ. ඒවත් නතර කරන්න අපිට බෑනෙ දුවේ. ඔයා ඉන්න තැනකට ආයෙත් ඔය නපුරු මාම එනවට දූ කැමති නෑ කියලා දන්නවා. කමක් නෑ දුව ඉන්න තැනට ඒ මාමට එන්න බැරි වේවි. ඒ මාමා අපායෙ යනව ලු දුවේ. එතකොට ඔයා ආයෙත් අපි ලඟට එන්න.

ඉතින් චූටි දුවේ මට තව ඔයාට ලියලා එවන්න ගොඩක් දේ තියෙනවා. ඒවා දැනගත්තොත් ඔයා ආයේ අපිව බලන්න එන එකක් නෑ. ඒ කියන්නේ ඔයාගෙ තාත්තවත් මේ මාද්‍ය මාමලා ඔයාව ඔය ලෝකෙට එව්වා කියලා හැමෝට ම කියලා. අපේ රටේ අයට විතරක් නෙවෙයි, මුලු ලෝකෙට ම කියලා ඉවරයි. පුතාගෙ තාත්තව තවම උසාවියට යවලත් නෑ. ඊට කලින් මේ අය කියලා ඉවරයි. මෙහෙම කියන්න නම් අපිට උසාවි මොකට ද නේද දුවේ?
සේයා දුවේ අපිට සමාවෙන්න මේ එකකින්වත් ඔයාව බේරගන්න අපිට බැරි වුනා. ඔයා ආයෙ මෙහෙ එනකොටවත් මෙහෙම නොකරන්න කියලා අපි හැමෝට ම කියලා තියමු. එතකොට මෙහෙම වැඩ කරන බලු මාමලා නැති කරන්න කියලා අපි හැමෝට ම කියමු.අපිට ආයෙත් සමාව දීලා ඔයා අපි ලඟට එන්න.
ඔයාට නිවන් සුව ම ලැබේවා.
මීට අහසෙන් එන මාමා.

22 comments:

  1. ඇයට නිවන් සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ඒ හැර වෙන මොනවා කරන්නද නලින් අයියේ.

      Delete
  2. මේ ගැන කමෙන්ටුවක්වත් කොටන්න බෑ බං

    ReplyDelete
    Replies
    1. මේකත් ලියාගත්තෙ හරිම අමාරුවෙන්.

      Delete
  3. මම දැන් ඒ පුංචි පැටියා ගැන පලවෙන පුවත් කියවන්නැ මචං,ආයේ ආයෙත් තදටම හිත පෑරෙනවා,ඊයේ තවත් එකක් වෙලා කියලා යාලුවෙක් කීවා,‍වෙීදනාව වැඩි වෙන හින්දම මම ඒ ගැන අහන්න හොයන්න ගියේ නැ,පුදුම කලකිරිමක් ඇතිවෙන්නේ,හැම දේම එපාවෙනව මචං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝ. මමත් මේ සිද්දිය කියන පෝස්ට් මගහැරියා. ගොඩක් ඒවා කියෙව්වෙම නෑ.

      Delete
  4. තව සතියයි බං ඕක මතක තියෙන්නෙ. තව මොකක් හරි කුණුගොඩක් හම්බුනු ගමන් එතන ඉඳන් ඒක විකුනං කනවා. වැඩක් නෑ මචෝ. ඔක්කොටෝම කලින් රට කරන උන් හොඳ වෙන්න ඕනෙ. ඊට පස්සෙ උන් දැන ගන්න ඕනෙ රටේ ඉන්න උන්ව හොඳ කරන හැටි. හොඳින් බැරිනම් නරකින් හරි. හැමදාම බණ කියලම හරියන්නෙ නෑ. එහෙනම් මේක ලෝකෙන්ම උතුම් රට වෙන්න ඕනෙ. දශ්ඨ කරන්න ඕනෙ නෑ. ටිකක් පෙනේ පුප්පලා ඉන්නවා නම් මේවා නැති කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු ලඟ විනයක් හදන්න ඕනෙ. ඒවා කරන්න ඉන්න උන් ලඟ විනයක් නැති කොට ත්ව මොන කතාද.

    ReplyDelete
  5. මේ ගැන තවත් කියවන්න හිතෙන්නේ නෑ කසුවෝ

    ReplyDelete
    Replies
    1. මේ අවසාන වතාව ඉවාන්. මේකනම් හෙට විතර පස්සට දානවා. ඒ කියන්නෙ හෙට අලුත් එකක් දානවා.

      Delete
  6. වෙලාව ආවාම ඔහෙම තමයි කියලා ශේප් වෙනවා ඇරෙන්ඩ වෙන මොනා කරන්ඩද?

    ReplyDelete
  7. අර ගොසිප් සයිට් වල ඒ ළමයාගේ මිනිය විකුණන හැටි දැක්කම හරිම කලකිරීමක් එන්නෙ .අනේ මන්ද මම කියවන මුහුණු පොතේ බ්ලොග් සම්බන්ද group එකකත් ඔය විස්තර පුරෝලා කොච්චර පෝස්ට් මැකුවත් තව තව මතුවෙනව හිතට එන තරහ නම් එමටයි ..පව් අර ලමය

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම ට මාද්‍ය ප්‍රචාරය නොලැබිය යුතු විදිහට ලැබුනා. ඒ හිතේ අමාරුවට ම ලියවුනු එකක්. මේකත් වැරදි ප්‍රචාරනයක්.

      Delete
  8. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම ආයේ මේ වගේ දේවල් අහන්න දකින්න නොලැබෙන්න කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ් අපි හැමෝම එහෙම හිතමු. එතකොටවත් මේ දරුවට හොඳ ලෝකෙක හොඳින් ඉන්න පුලුවන් වේවි.

      Delete
  9. ආහ්... දිනේෂ් කියන එකම තමා කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ප්‍රාර්තනය මෙය ම වේවා මදු.

      Delete
  10. මේ ලිපිය එහේ ඉන්න සමස්ථ ළමා පරපුරටම යොමු වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  11. ඇයට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  12. දැන්වත් ඒ දරුවා පිලිබඳ සාධාරණය ඉටු වේවි.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.