Wednesday, October 7, 2015

ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරීමේදී හිතකර වචන භාවිතා කරන ලෙස ඉල්ලීම




ඉතිහාසයේ සිටම අප සියලූ දෙනා විසින් ආබාධ සහිත පුද්ගලයින්ව උපමා කථා සදහා යොදා ගෙන ඇති අතර විවිධ කරුණු ඉදිරිපත් කිරිමේදි මේවා භාවිතා කරනු ලබයි. කථා පැවැත්වීමේදී, දේශනවලදී, ධර්ම දේශනා සහ වෙනත් උත්සව අවස්ථාවලදී විවිධ මාතෘකා ඔස්සේ මෙම උපමා කථාවන් යොදා ගැනේ.  උදාහරණ - අන්ධයා කිරි කෑ හැටි, අන්ධයා අලියාගේ හැඩරුව දැක් වූ හැටි යනාදි කථා පෙන්වා දිය හැකිය.
ආබාධ සහිත තැනැත්තන්ගේ ආත්ම අභිමානයට සහ ගෞරවයට හානියක් වන ආකාරයේ වචන මෙම උපමා සදහා භාවිතා කිරීම සිදුවේ. යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ සිදු වී ඇති වෙනසක් පාදක කරගනිමින් කරනු ලබන මෙවැනි කථා බහ වර්තමාන සමාජයට කිසිසේත් නොගැලපෙන්නකි.  එම නිසා ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරීමේදී ඔවුනගේ ගෞරවයට සහ ආත්ම අභිමානයට හානියක් නොවන ආකාරයේ වචන භාවිතා කිරීම අප සියලූ දෙනාගේම වගකීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.  
මෙම තත්වය වෙනස් කිරීම සදහා ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරිමේදී පහත සදහන් හිතකර වචන භාවිතා කරන මෙන් ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු. 
ආබාධ සහිත පුද්ගලයන් සදහා හිතකර වචන
·              ආබාධ සහිත පුද්ගලයින් 
·              ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයින්
·              දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්
·              ශාරිරික ආබාධ සහිත පුද්ගලයින්
·              මානසික ආබාධ සහිත පුද්ගලයින්
·              බුද්ධි ඌනතා සහිත පුද්ගලයින්
·              රෝද පුටු භාවිතා කරන්නන්
·              බහු ආබාධ සහිත පුද්ගලයන්
·              සුදු සැරයටි භාවිතා කරන්නන්

එසේම මිනිස් වර්ගයාට නොගැලපෙන, අපහාසත්මක සහ අවමානයක් ඇති කර වන පහත සදහන් වචන භාවිතා කිරීම නතර කරන මෙන් ද ඔබෙන් ඉල්ලා සිටිමු. 
භාවිතා කිරීම නතර කළ යුතු වචන
අන්ධයා
කණා
එකැස් කණා
පොට්ටයා

අබ්බගාතයා
අබාධිතයා
අංගවිකල
කොටා
කොරා
අත කොට
බෙල්ල ඇදයා
බෙල්ල කොට
කුදා

මන්ද බුද්ධිකයා / මන්ද බුද්ධික

බීරා
ගොලුවා

කිසියම් රෝගී තත්වයක් නිසා හෝ වෙනයම් අනපේක්ෂිත අනතුරක් නිසා ඔබ හෝ ඔබගේ පවුලේ අයෙකු ද ආබාධ සහිත පුද්ගලයෙකු බවට පත් විය හැකිය.  එවිට ඔබට ද මෙම අවමානයට මුහුණ පෑමට සිදු වනු ඇති බැවින් සැම විටම ආබාධ සහිත පුද්ගලයින් සදහා හිතකර වචන භාවිතා කරන්න.   කිසියම් අවස්ථාවක ඔබගේ හිතවතෙකු හෝ ඔබ අසල සිටින අයෙකු මෙවැනි අහිතකර වචන භාවිතා කරන්නේ නම් ඔහුව හෝ ඇයව නිවැරදි කිරීමට උත්සාහ කරන්න. 
ඔබත් ආබාධ සහිත පුද්ගලයින් සදහා හිතකර වචන භාවිතා කරන පුද්ගලයෙකු බවට පත් වන්න.  ඒ සදහා අන් අයව උනන්දු කරවිමට සහාය වන්න.

පසු සටහන:
මෙම සටහන මෛරයිට් ශ්‍රී ලංකා සංවිධානය විසින් ක්‍රියාත්මක කල මාද්‍ය වැඩසටහනක් වෙනුවෙන් සැකසුනකි. මේ සටහන ඵල කිරීම සඳහා අවසරය සහ අදාල මෘදු පිටපත ලබාදුන් මෛරයිට් ශ්‍රී ලංකා සංවිධානයේ සම්බන්දීකාරක අසංග රුවන් පෙරේරා මහතාට ස්තුතිවන්ත වන අතර මේ පිලිබඳව ඔබේ නව අදහස් ද බලාපොරොත්තු වෙමි. එම අදහස්ද සැලකිල්ලට ගෙන මෙම සටහන තවත් ගුනාත්මක සටහනක් බවට පත් කෙරෙනු ඇත