ඉන්දු ඔය මල්වලට වතුර දානකොට හරියට හෝස් එක අල්ලන්න. කරාමෙ හොඳට අරින්න. වතුර දාන්න ලෝබ වෙන්න එපා. අපිනෙ බිල් ගෙවන්නෙ උබ නෙවෙයිනෙ.”
ඉන්දු කරාමය තවත් වැඩි කර වතුර බටය මල් ගස්වලට යොමු කරේ තම ගමේ සිතුවමක්
සිත තුළ ඇඳ ගනිමින්. මෙහි ඇති ගස් වැල් ඇයට පෙනුනේ හොඳින් කාබී
වැඦබෙන තරබාරු මිනිසුන් සහ සුකොමාල ගැහැණුන් විදිහටයි. හැම ගසකම මල් පිපී ඇත. කොළ පාටින් අඩුවක් නැත. ඒ මදිවාට නෝනාගේ මල් වත්තේ නෙක නෙක පාට ගස් ද
ඇත.
“ඉන්දු ඔය වැඩේ ඉක්මනින් ඉවර වෙලා එන්න බල්ල
නාවන්නත් තියනවා. කාර් දෙක සෝදන්නත් ඕනේ.”
නිල් පැහැති කොට කලිසමකින් සහ ක්‍රීම් පාට අත්
කොට ටීශර්ට් එකකින් සැරසුණු මේධා කීවේ තම අත්වලට අත් ආවරණ දාගනිමින්මයි.
“හොඳයි නෝනා.”
මෙතෙක් තම ගම තුළ සිතින් ඇවිද ගිය ඉන්දු සපුමල්
මාවතේ පිහිටි සමන් පාය නිවසට යලිත් පැමිණියේ මේධාගේ විධානය ලැබුණු පසුයි.
මීළඟට ඈ උන්නේ විශාල ජර්මන්ශපට් වර්ගයේ බල්ලෙකු
නහවමින් ය. විනාඩි තිහකට ආසන්නව බල්ලා නැහැවීමෙන් කානුව දිගේ ගලා යන වතුර ප්‍රමානය
දුටු ඇයට ඉබේටම සුසුමක් හෙලුනා.
“මොකද බං ඔය කානුව දිහා බලන් ඉන්නේ. පිස්සුද? අර කාර් දෙක හෝදපන්.”
“නෑ නෝනා. මේ වතුර දකිනකොට මට මතක් උනේ අපේ ගම්වල මිනිස්සු
වතුර නැතුව විදින දුඛ.”
“ආ උබ දුක් වෙන්න එපා. ඊයේ අපේ කාන්තා සංවිධානෙන් බඩු එකතු කළා නියගේ
තියන පැතිවල මිනිස්සුන්ට බෙදන්න. මහත්තයාගේ ඔෆිස් එකෙනුත් බඩුයි වතුර බවුසරේකුයි යවනවාලු.”
“එහෙමද නෝනා.”
කියමින් ගලා යන වතුර දෙස ඉන්දු බලා උන්නෙ
සෝකයෙන්.
“ඔව් ඔව්. දැන් ගිහින් කාර් සෝදනවා.”
“වතුර බවුසරයක් යැවුවාට දවසකට මේ ගෙදර වතුර
බවුසර් කීයක්නම් පාවිච්චි කරනවා ඇද්ද” වචනයෙන් නොකීවත් ඉන්දූ එසේ සිතුවේ තම අවට වූ දෑ
දෙස කලකිරීමක් මුසු බැල්මක් හෙලමින්මයි.
කිරි පාට සහ සුදු පාට මෝටර් රථ හොඳින් ඔප වැටෙන
සේ සෝදා අවසන් කළ ඉන්දූ තවත් වතුර බාල්දියක් රැඟෙන නිවසට ආවේ ගෙබිම පිරිසිදු
කිරිමටයි. සෝපාව මත වූ මේධා තම දෙපා ද සෝපාව මතට ගෙන ඉන්දූ වැඩ කරන දෙස කිසිදු
හැඟීමකින් තොරව බලා උන්නා.
“නෝනා”
“ඇයි ඉන්දූ.”
“අවුරුද්දටත් තව සතියනේ නෝනා. මං මේ සතියේ අන්තිම ගෙදර ගිහින් එන්නද?”
“උබ ගිහාම මේ ගෙදර වැඩ කරන්නෙ කවුද?”
“මං ඔක්කොම කරලා යන්නම් නෝනා. නෝනට කරන්න දෙයක් ඉතුරු කරන්නෑ නෝනා.”
“හරි හරි බලමුකෝ. වැඩ ඉවර උනොත් යන්න දෙන්නම්.”
“කියමින් මේධා ටීපෝව මත වූ පුවත්පත අතට ගත්තේ
හුදෙක්ම කියවීමේ අටියෙන් නොව. ඉන්දූගේ කතාව මගහැරීමට බව ඉන්දූට වැටහුනා. තම දෑස්
තෙත් වන බව ඉන්දූට දැනුනත් ඈ එය දරා ගැනීමට උත්සහ කළා. අම්මාගේත් මහලු පියාගේත් රූ ඇයගේ දෑස් මත ඇදුනේ
දෑස තව තවත් තෙත් කරමින්මයි. ඔවුන් යන්තන් කා බී සිටින්නේ
ඈ මේ නිවසේ වැඩ කර යවන පඩියෙන් බව ඈ හොඳින්ව දන්නා කාරණයක්. කන්න දෙකක් ඉඩෝරයෙන් විනාස වී ගිය බව ඈ දනී. වැවු පොකුණු සිදී ගොස් ඉරි තැලුණු පොලොව ඈ
ඉදිරිපිට දිස් උනේ ඉබේටමයි. සුදු පැහැ ටයිල් ඇල්ලූ පොලොව ඇයට පෙනුනේ හතරට පහට පැලුණු පොලොව
ලෙසයි. සමන්පාය මධ්‍යෙය් ඇද හැලෙන කෘතිම දිය ඇල්ලේ නඳ
ඇයට ඇසුනේ තම මව සහ පියා ඇතුලු ගැමියන්ගේ දෑසින් වැටෙන කඳුලු මුසු හැඬීමක් විදිහටයි.
ක්‍රීන්.. මේ අතරේ නිවසේ විදුලි සීනුවත් නාඳ උනා.
“ඉන්දූ කවුද බලන්න.”
මෙධා විධාන කලේ පුවත්පතින් ඔලුව නොඔසවාමයි.
දම් පැහැ කෙටි ගවුමක් ඇද ගත් මේධාගේ යෙහෙලියක්
විවර වූ ගේට්ටුවෙන් ඇතුලුවුයේ පාවහන්වල ටක් ටක් නාඳය සමගමයි.
“හෙලෝ මේධා.”
“හායි රෝසී.”
මේධා තම යෙහෙලිය සිප වැලඳ උණුසුම් විදිහට
පිළිගත්තා. ඉන්දූට නිවසට ආ මුල් දිනවල නම් මේවා අමුතු දර්ශන. ඒත්, දැන් ඇයට මේවා සාමාන්‍ය දේවෙලා ඉවරයි.
“අම්මෝ හරිම රස්නෙයි නේද?”
“ඔවු අනේ මේ කාලෙට කොහොමත් එහෙමනේ. ඉන්දූ, ගිහින් මේ නෝනට කූල් ග්‍රිංක් එකක් ගේන්න.”
තත්පරගානකින් ගැහැණුන් දෙදෙනාගේ කතාව ඉන්ග්‍රීසි
භාෂාවට මාරු උනා. අනුරාධපුරේ එහා කොනේ සිට රැකියාවක් සඳහා තම මාමා කෙනෙකු හා කොළඹට
පැමිණි ඉන්දූට මේ භාෂාව වැටහෙන්නේ නැත. ඈ දැන් දින කිහිපයක සිට නිවසේ සියලු වැඩ කරමින් ජීවත්වුවත් සිතින්
උන්නේ ඒ හද්ද පිටිසර ගම්මානේ. හරිහැටි කෑමක් බීමක් නැති ගම්මුන් සමග. ඈගේ මේ තත්ත්වයට හේතුවූයේ අම්මා එවූ ලියමනක්. ඒ ලියමනේ අකුරක් පාසා ලියා තිබුනේ ඔවුන්
විදිනා දුක් කම්කටොලු විස්තරයක්. අවුරුදු විස්සක් පමණ එම ගමේ
ජීවත් වූ ඇයට වසරක් තුළ ඒ දුක් අමතකවූයේ නැත. ඇයට ඒවා අමුතුවෙන් කීමට අවශ්‍යවූයේ ද නැත. ලියමනේ ලියා තිබුණු වේදනාව ඇයගේ ගත සහ සිත
පුරා දිව යන්නට උනා.
“මේ ගර්ගෙ ගෙවල් කොහෙද මේධා.”
“ආ මෙයාද? මෙයා අනුරාධපුර පැත්තෙ. අපි මේ දන්න කෙනෙක්ට කියලා හොයා ගත්ත අනේ.”
ගැහැණුන් දෙදෙනා තොදොල් වෙමින් කතා කරමින් සිටි
අතරේ ඉන්දූ අම්මාගේ ලියමනට පිළිතුරු ලිපියක් ලිවීමට පටන්ගත්තා.
“අනුරාධපුර පැත්තේ නියගේලු නේද? මං ඊයේ නිවුස්වල දැක්කා.”
“ඔවු. මේ ඉන්දුලාගෙ ගමේ අයටත් වතුරවත් නෑලු.”
“හානේ ඇත්තද? පවු අනේ.”
මේධාගේ යෙහෙලිය ඉන්දූ දෙස මෘදු බැල්මක් හෙලුවත්
ලිපියට අවධානය යොමු කළ උන් ඉන්දූ එය දුටුවේ නැත.
“ඔව් අනේ. අපි ඊයෙ කාන්තා සංගමෙනුත් බඩු එකතු කලා නියගේ
තියන පැතිවලට යවන්න.”
“ඒක හොඳයි අනේ. ඒක නෙවෙයි, අපි නෙස්ට් වීක් නාච්චිමලේ යමුද?”
“මොකක්ද විශේෂෙ?”
“නාච්චිමලේ ශෝක් දොලක් තියනවා. වෝටර් තෙරපිවලට, එන්ජෝයි කරන්න හොඳ ප්ලේස් එක. ලස්සන තැන.”
“මං අහලා තියනවා. ඕකේ. එහෙනම් යමු. මං අපේ සුමේධටත් කියන්නම්. කොහොමත් නෙස්ට් වීක් නිවාඩුනේ. ප්‍රශ්නයක් නෑ. යන්න පුලුවන්.”
*****
ඒ ළිඳෙනුත් තව නම් වතුර ගන්ට බැරි වෙයි.’
වතුර පනිට්ටුව බිම තියනගමන් සීතා එහෙම කියුවා.
“දැන් අවුරුද්දකටත් වැඩී. එක වැහි කඳුලක් හරියට බිමට වැටුනෙනෑනෙ හැබෑට.”
නිකටේ අත ගසා ගෙන රත්නායක අහස දිහා බලාගෙන එහෙම කියුවේ සුසුමකුත් පිට
කරනගමන්.
“අවුරුද්දටත් තව දවස් කීයද? මේපාරත් අවුරුදු කාලා ඉවරයි වගේ.”
“ඉඩෝරෙට අහුවෙලා කුබුරත් පාලු උනා. මෙහෙන් බොන්න වතුර බිඳක් නෑ. යාන්තන් ඉහ ගහගෙන ඉන්නේ අර කෙල්ල කොළඹට වෙලා
කඹුරණ එකෙන්.”
“ඒක නම් මොකට කියනවාද? මට ඒක මතක් වෙනකොට උහුලන්නෑ. ඒ කෙල්ලට කියලා හම්බ කරන් කන්ට උනානෙ හැබෑට.”
“ඒකි නිසා තමයි අපි මෙහෙම හරි ඉන්නේ. බලාපන් ගමේ අනිත් උන් විදින බළු දුක්.”
දෙන්න දෙමහල්ලන්ගේ කතාව මදකට නැවතුනේ ගේ පැත්තට එන මුදියංසේ මාමා
දුටු නිසයි.
“මුදියංසෙ. මොකෝ මේ පැත්තෙ.”
“අමරපාලගෙ දරුවත් ඕන් ඉස්පිරිතාලෙට ඇරන් ගියා.”
“ඒ මොකෝ.”
“ඊයෙ රෑ තිස්සට දොට්ට යනවලු. මාත් ගියා දරුව බලන්ට. පොඩි එකා මලානික වෙලා.”
“කිරි අප්පේ. නොදරුවා.”
සීතා චීත්ත පොටින් දෑස පිස ගත්තේ විස්සෝපයෙන් වගේම පහුගිය සතියෙත්
පාචනය වැලදී මිය ගිය සෝමාගේ දරුවා ද සිහි
වු නිසයි. එවන් දෙයක් යලිත් අසන්න නොලැබේවායි ඈ සිතින් ගම්බාර දෙයියන්ට
මිමිනුවේ වේදනාවෙන් වගේම දෙවියන් කෙරේ වූ භක්තියෙන්.
“වැවේ මඩ මිරිකලා වතුර ඩිංගක් ගන්ට වෙලා තියෙන්නේ. එහෙමත් නැත්තන් ලිදක තියන අඩිය හූරන්ට වෙලා
තියෙන්නේ. මේකනම් දේව කෝපයක්ද මන්ද බං.”
“මාත් ඕක හිතුව රත්නායක. අපි ඊළඟ හෙනහුරාදට ගලේ දේවාලෙට ගොහින් දෙයියන්ට කන්නලවු කරලා පොල්
ගහලවත් බලමු.”
“හොඳා හොඳා. ඒකත් කරලා බලමු. ගමේ කට්ටියත් එකතු කරන් යමන්කො එහෙනම්.”
“පංසලේ හාමුදුරුවෝ කීවා මේ පෝයට වැහි පිරිත දේසනා කරනවයි කියලා.”
සීතා තමන් දන්නා දේත් ඊට එකතු කළා.
“අපිට හැකි හැම දේම කරලා බලමුකෝ.”
කියූ මුදියන්සේ පිටත් උනේ තවත් කළ හැකි දෙයක් ඇද්දැයි සිතමින්මයි.
අවුරුද්දක් පුරාවට
පලාතටම එක වැහි පොදක් වැටුනේ නැත. කුබුරු වේලී ගොස් ඇත. හේන් දැවී ගොස් ඇත්තේ තමන්ටත් තවත් දරා ගත නොහැකි බව කියන්නාක් ලෙසයි. පොලොව පැලී ඇත්තේ තම කෝපය පෙන්වීමට වගේයි. වැවු පොකුණු පීරා දිය සොයනා ගැමියෝ මඩ, වැලි මිරිකමින් දිය සෙවීම ඉතා දුක්කදායක
තත්වයක්. ගස්වැල් ද කනාටු වී ඇත්තේ ගැමියන් සමගම දුක බෙදා ගන්නට මෙනි. සතාසීපාවා පවා පිපාසයෙන් පෙලෙන අතර ගැමියෝ තමන්
ලද දිය දෝතින් දිය කඳුලක් හෝ සතුන්ට ද දුන්නේ ලෝබකමකින් තොරවමයි.
“හෙට වතුර බවුසරයක් කොළඹින් එවනවා කියන්නේ.”
වැවේ කොනක කුඩා වළක් සාධාගෙන පොල් කට්ටට දිය බිඳ බිද එකතු කරනගමන්
සීතා සෙසු ගැහැණුන්ට කීවේ ඒ අලුත් ආරන්චියෙන් සියල්ලන්ගේ සිතේ වූ පිපාසය නිවීම
සඳහායි.
“ආරන්චී සීතෝ. තව ඔය හාල්, පොල්, පරිප්පු වගේ වියලි සලාකත් දෙනවයි කියන්නෙ.”
“වතුර නම් කොච්චර ලැබුනත් මදි බං.”
“අපි මෙහෙ වතුර නැතුව බලු දුක් විදිනවා. අපේ කෙල්ල එවන ලියුම් කඩදහිවල තියන දේවල්
දැක්කම දුකේ බෑ. මේ වගේ රටකද අපි ඉන්නෙ කියලා හිතාගන්ට බෑ.”
“ඇයි කෙල්ල මොකද කියන්නෙ සීතෝ?”
“ඒකි ඔය වැඩ කරන බංගලාවෙ මල් පැලවලට විතරක් දවසට දෙපාරක් වතුර දානවාලු. ගෙදර ඉන්න බල්ලට නාන්ට මිනිහෙක් නාන වතුර
කන්දරාවට වඩා යනවලු. දවසකට සැරයක් ගේ හෝදන්ට ඕනෙලු. තව ඔය ගෙයි බඩු බාණ්ඩ හෝදන්ටම දවසකට සෑහෙන වතුර
කන්දරාවක් යනවලු. ඉතින් කෙල්ලට දුකේ බෑලු ඒ විදිහට වතුර දකිනකොට. වැඩිමනක්ම අපි මෙහෙ වතුර කඳුලක් නැතුව විදින
දුඛ ඒකි දන්නවානේ බං.
“දෙයියොම බලාගන්ට ඕනෙ බං මේවා. ඔය මිනිස්සු ටෙලිවිසොන් එකෙන්වත් අපි මේ වතුර
නැතුව විදින දුක දකින්නැද්ද බං.”
“දුක දැක්කට විදින දුක් දැනෙන්නෑ . වනේ වේදනාව දන්නෙ වනේ තියන මිනිහනේ.”
ගැහැණු සියල්ලගෙන් සුසුමක් වාතයට මුසුවුනේ කියා ගත නොහැකි තවත් බොහෝ
දෑ හදවතේ කොනක සඟවාගෙනමයි.
+++++++++++
ReplyDelete++++++++++
DeleteThis comment has been removed by the author.
Deleteඔව් නිර්මාණී. කතා කළයුතු, කතා කරන, තාම ස්ථිර පිළියම් යොදා නැති, ඡන්දෙ කාලෙට උණුහුම්වන මාතෘකාවක් තමයි මේ. ලියමන රහයි. එත් සිද්දිය දුක්බරයි. ඇති සහ නැති පරතරය!!!
ReplyDeleteජයවේවා!!!
ඒක ඇත්ත දුමී... අවස්ථාවාදී දේශපාලනයේ තවත් මාතෘකාවක්... නියගේට මැදි වෙලා වතුර නැතුව එක මිනිස්සු කොටසක් දුක්විදිනකොට තවත් මිනිස්සු කොටසක් අසීමිත විදිහට ජලය පාවිච්චිකරනවා දැක්කම හිතුනු දෙයක්..
Deleteස්තුතී... ජයවේවා...
කාගෙද වරද?
ReplyDeleteහම්බ කරපු එකා වතුර පාවිච්චි කරන්නෙ උගෙ සල්ලි වලින් (නාස්ති කරල ඉවර කරන්න බැරි තරම් වතුර ලංකාවෙ අපිට තියවෙට මම හිතන්නෙ)
ගමේ වතුර නැති එකට වැරදි කාරයා සල්ලි තියන කොළඹ එකා නෙමෙයි.
මේක ඇති, නැති පරතරේ ගැන ඇති ගැටලුවකට වඩා මිනිස්සුන්ට පවතින දෑ අසීමිත විදිහට භාවිත කිරීම ගැනයි කියන්නේ...විශේෂයෙන්ම මේ වගේ කාරනා ගැන අපි මානුශීය වෙන්න ඕනේ... අපිට වතුර තිබුනට වතුර පොදක් නැති කොයිතරම් මිනිස්සු මේ රටේම ඉන්නවාද මද්දෝ...
Deleteවැස්ස නැති එකට අපි හැමෝම එක පැත්තකින් වග කියන්ඩ ඕනා. අනික ගමට වතුර නැත්තන් ඒකට පිලියමක් ගම තුලින්ම එන්ඩ ඕනා. ඊට පස්සේ ඒ පිලියමට ආදාර උපකාර හතර ව්ටින්ම ගලාගෙන එනවා. එහෙම නැතුව ඉතින් වටේට හීල්ලුවට වැඩක් නෑ..
ReplyDeleteඒක ඇත්ත වතුර නැති එකට සමස්ථ සමාජයම වග කියන්න ඕනා...
Deleteනියමයි අක්කේ - සමාජ ප්‍රශ්න ගැන වැල්වටාරම් ගහනවට වඩා කොච්චර ප්‍රබල විදියට ඒවා සමාජගත කරන්න පුලුවන්ද මෙහෙම කතාවකින්!
ReplyDeleteප.ලි_
අපි ඇවිල්ලා අවුස්සලා ගන්නම ඕන නේද මෙයාට කතාවක් ලියන්න!
හරියටම හරි නංගි... පැය ගනන් දවස් ගනන් කතා කරන දේවල් මේ දිහිහට අපිට කැටි කරන්න පුලුවන් නේද? විශේෂයෙන් මේ වගේ කතා කළ යුතු මාතෘකා...
Deleteඒකනෙ අප්පා...
ආ ඒක නෙවෙයි.. සාහිත්‍යයි කළාවයි එකතුවෙන තැනක් නේද:D